තමන්ගේ ගමන පාඩුවේ යනවා නම් එන බාධක පුස්සක් විත­රයි - උමාරියා සිංහවංශ

Wednesday, March 03, 2021 , 0 Comments




නූතන ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ අපූරු සලකුණක් තැබූ ඇය, උමාරියා සිංහවංශ යි. සිය හැකියාවෙන් පියවරෙන් පියවර ඉදිරියට ආ උමාරියා, ඒ ගමනේදී හමුවූ බාධක, අභියෝග පවා දුටුවේ සාර්ථක කඩඉම් ලෙසය.  ඒ ගැන ඇය මෙන්න මේ විදියට පුවත්පතකට කියා තිබුනා.


 උමාරියා කොහොමද ?

පවුල එක්ක යාළුවන් එක්ක වැඩිපුර කාලය ගත කරමින්, සංගීත කටයුතුවල නියැළෙමින් ගොඩක් සතුටින් දවස් ගත වෙනවා.


 

ඒ සතුට නැති කරන්න උත්සාහ කළ සිදුවීමකටත් ඔබට මුහුණ දෙන්න සිදු වුණා?

මම ඒවා නොසලකා හැර කටයුතු කරනවා. මගේ ආදරණීය රසික පිරිස දන්නවා මම කවුද කියලා. ඒ නිසා මට කිසිම බයක් නැහැ. අනවශ්‍ය දේවල්වලට මගේ අවධානය නොදී මගේ ගමන මම පාඩුවේ යනවා.


 

හැබැයි ඒ මඩ ප්‍රචාරයකට නොසැලී මුහුණ දෙන්න පහසු වෙන්නේ නැතුව ඇති?

ගැහැනුන්ට කොහොමත් මඩගහනවා වැඩියි. හොඳ පවුල් පසුබිමක් තියෙන නිසා මට මගේ ගමන යන්න හරිම පහසුයි. සමහර අවස්ථාවල සමහර දේවල් දරාගන්න අපහසු වූ අවස්ථා නැතුව නෙවෙයි. හැබැයි මම වැටිලා ඉන්නේ නෑ. ආපහු නැගිටලා මුල ඉඳන් හැමදේම වුණත් පටන් ගන්නවා.


 

වට්ටන්න උත්සාහ කරන තැන්වලදී නොවැටී ඉන්න ඔබට මඟ පෙන්වන්නේ කවුද?

ඒක මට කියලා දුන්නේ මගේ අම්මයි තාත්තයි. විශේෂයෙන්ම අම්මා. ඇය තමයි මගෙයි අක්කාගෙයි හෙවණැල්ල වුණේ. පරෙස්සම ගැන, දරාගැනීම ගැන අම්මා අපට කියලා දුන්නා. කලා ක්ෂේත්‍රය ඇතුළෙත් මම දැන් කලෙක ඉඳන් ඉන්න නිසා ඒ ලබන අත්දැකීම් එක්ක දැන් ඕනෑම දෙයක් දරාගන්න පුරුදුයි.


 

ඔබට හිතෙන විදිහට ඔබේ චරිතයට හානියක් කරන්න ඕන වුණේ කාටද?

මම ඒකට අදහස් දක්වන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර අයට මම ඇත්තටම අනුකම්පා කරනවා. ඒ ඒ අය හැදිච්ච විදිහයි ඔවුන් කරන දේවල්වලින් පෙන්නුම් කරන්නෙ. ඔවුන් පහත් කුහක වැඩ කරන්නේ තමන්ගේ හැදියාවේ ප්‍රශ්නයක් නිසා. මම හිතනවා ඒ අය ඉදිරියෙදිවත් හැදෙයි කියලා.


 


මේ ප්‍රශ්නෙදී ඔබේ සැමියා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වූවේ?

ඔහු මට කිව්වේ “ඔයාගේ ගමන තව ඉහළට යද්දි ඔයාගේ කකුලෙන් අදින්න තව මිනිස්සු ඉදයි. ඒවට කලබල වෙන්න එපා කියලයි. ඔහුට තිබෙන ඒ අවබෝධයම මට ගොඩක් වටිනවා. ඔහු හොඳ තේරුම් ගැනීමක් සහිතව හොඳ සහයෝගයක් දක්වන මං ගැන ආඩම්බර වෙන සැමියෙක්.


 

පවුල කියන්නේ කෙනකුගේ ජීවිතයේ ලොකු බැම්මක් ?

හොඳ පවුල් පසුබිමක් කියන දේ කාන්තාවකට ගොඩක් වටිනවා. විශේෂයෙන්ම අපේ වගේ රටක. මම හරි වාසනාවන්තයි ඒ වගේ පවුලක් ලැබීම ගැන. මගේ පවුල වගේම මගේ සැමියාගේ පවුලේ අය මට පුදුම ශක්තියක්. මං වටා ඉන්නේ බොහොම ධනාත්මකව හිතන හොඳ පිරිසක්.



ඔබේ නිර්දෝශී බව රකින්න බොහෝ රසික පිරිසක් පෙළ ගැහුණා ?


මට ආදරය කරන රසික පිරිස නිසයි මට නොවැටී කෙළින් හිටගෙන ඉන්න හැකියාව ලැබුණේ. මම හරි යමක් කරලා තියෙනවා කියලා රසික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. මට ආදරය කරන රසික පිරිස මං වෙනුවෙන් සටන් කරනවා කියන්නේ පුදුම ජයග්‍රහණයක්.


ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව ලෙස සම්මාමනාප දිනා ගැනීමේ තරගයකට මෙවැනි ප්‍රචාරණයක් ඔබ සැලසුම් කළා යැයි චෝදනා කරන පිරිසකුත් ඉන්නවා?


අපි හැදියාවක් තියෙන මිනිස්සු. මගේ මවුපියෝ මාව හදලා තියෙන්නේ එහෙම පහත් මට්ටමින් දේවල් කරන්න නෙමෙයි. පහත් වැඩක් කරලා මනාප ගන්න හරි මගේ නිර්මාණයක් ජනප්‍රිය කරගන්න හරි මම නූගත් බුද්ධියක් නැති ගැහැනියක් නෙමෙයි. ඔය සම්මානය ලබන්න මනාප පළකරන්න තියෙන සියලුම දෙනා කාන්තාවෝ. ඒ සම්මානය කාට ලැබුණත් ඒක කාන්තාවක් ලෙස කාටත් ජයග්‍රහණයක්.


 

ඔබට මුහුණ දෙන්න වුණු පළමු අභියෝගය මෙය නෙවෙයි?


අපි හැමෝගෙම ජීවිතවලට අභියෝග එනවා. වෙනසකට තියෙන්නෙ ඒ අභියෝගවලට මුහුණ දෙන විදිහයි. පොඩි කාලේ ඉදන් විවිධ අභියෝගවලට මුහුණ දීලා තමයි අද මම මේ තැනට ඇවිත් ඉන්නේ. මම මහජන පෞරෂයක්. මම විඳින දේවල් සමහර කාන්තාවෝ නිහඬව විඳගෙන ඇති. කාන්තාවෝ හරි බයයි එළියට ඇවිත් කතා කරන්න. අසාධාරණයන් වෙද්දි එළියට ඇවිත් කතා කරන්න මම ඔවුන්ට මඟ පෙන්වනවා. අනෙක් කාන්තාවන්ටත් හයියක් වෙන්න අපි කතා කරන්න ඕනේ.


 

ජනප්‍රිය නොවී හිටියා නම් හොඳයි කියලා හිතිලා නැද්ද?

කොහෙත්ම නැහැ. අපි ගැන දෙවියන්ගේ සැලැස්මක් තියෙනවා. අපිට වෙන හැම දෙයක්ම වෙන්නේ හොඳකට කියලා මම හිතන්නේ.


 

ජීවිතයට මේතාක් ලබාගත් දේවල් ගැන සතුටු වෙනවාද?


හැම දෙයක්ම මගේ මහන්සිය නිසා හරි විදිහට මට ලැබුණ දේවල්. මම බොහෝ දේවල් පසුපස හඹායන කෙනෙක් නෙමෙයි. සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන ගමන් මගේ ජීවිතෙට ලැබුණ හැමදේම ගැනම මම සතුටු වෙනවා.


 

හිතු මතේ සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවට ඔබ මොන වගේ පණිවුඩයක්ද දෙන්නේ?


සමාජ මාධ්‍ය භාවිත කරනවා නම් එය හොඳ දේකට පාවිච්චි කරන්න. වැරැදි නොකළත් සමාජ මාධ්‍යවලින් මිනිසුන්ට මඩ ගහනවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මිනිස්සු වුණාම අනෙක් අයට කරුණාවන්ත වෙන්න, ගරු කරන්න ඉගෙන ගන්න. ඒ පුරුද්ද ගෙදරින්ම පටන් ගත්තොත් හොඳයි.


 

අලුත් නිර්මාණ කටයුතු මොනවද ?


‘The voice‘ වැඩසටහනේ කෝච් භූමිකාව එක්ක මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ඒ වගේම අලුත් ගීතයක වීඩියෝවක් මේ දවස්වල සැලසුම් කරනවා.