නවකයන් ක්ෂේත්‍රයට එනකොට අපිට ටිකක් පැත්තකට වෙන්න වෙනවා - රුවංගි රත්නායක

Wednesday, March 24, 2021 , 0 Comments

 



රුවංගි රත්නායක කියන්නේ ප්‍රේක්ෂක ඔබේ ආදරයට පාත්‍ර වන ජනප්‍රිය රංගන  ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයට සාපේක්‍ෂව ඈ මේ දිනවල පුංචි තිරයේ දක්නට ලැබෙන්නේ සීමිත නිර්මාණ ප්‍රමාණයක් පමණයි. ප්‍රේක්‍ෂකයන් ආදරය කළ ඇය මෙසේ නිර්මාණවල දකින්නට අඩු ඇයි කියලා ඇය පුවත්පතට මෙලෙස විස්තර තියා තිබුනා.


මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු මොනවාද රුවංගි?

මේ දවස්වල ගොඩක් කාර්ය බහුල නම් නැහැ. ජාතික රූපවාහිනි නාළිකාවේ සතියේ දිනවල රාත්‍රි 8.30ට විකාශය වන නෑනලා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුවලට පමණයි සම්බන්ධ වෙලා ඉන්නේ.


නැනලා ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කියමු?

"චරිතා" කියන චරිතය තමයි මම කරන්නේ. පවුලක් ඇතුළේ නෑනලා, මස්සිනාලා අතර තියන ගැටලු, පවුලේ එකිනෙකා අතර තිබෙන බැඳීම්, කලකෝලාහලවලට පිළිතුරු හොයන විදිය මේ වගේ අපේ සමාජයේ ගොඩක් පවුල්වල තිබෙන දේවල්, සම්බන්ධතා වටා තමයි මගේ චරිතය සහ කතාව ගොඩනැඟිලි තියෙන්නේ.



මේ දවස්වල ඔබ නිර්මාණවල දකින්න අඩු ඇයි?

ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ වගේ දැන් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. අලුතින් ක්ෂේත්‍රයට ගොඩක් අය එනවා. ඒ වගේම යම් තෝරා ගැනීමක් එක්ක තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙත්.



විවාහයත් එක්ක රංගනයට සීමා පනවා ගෙනද?

විවාහය වෙනකම් මම නිර්මාණවලින් ටිකක් අවෑත් වුණා. නමුත් විවාහයෙන් පසුව එහෙම නැහැ. කලාවෙන් අවෑත් වීමක් වෙලත් නැහැ. මගේ යම් සීමාවන් ටිකක් තියෙනවා. ඒවා එක්ක බලලා තමයි අලුත් නිර්මාණ තෝරා ගන්නේ.


ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ තියෙනවද?

වැඩ කරලා තියෙන නිර්මාණ එන්න තියෙනවා. නමුත් ඒවා විකාශය වන කාල වකවානු තාම හරියටම කියන්න බැහැ.


ඔබ රංගනයෙන් දායක වුණු තිරගත වීමට නියමිත චිත්‍රපට තිබෙනවාද?

එන්න නියමිත චිත්‍රපට නම් නැහැ.


නිර්මාණවලට අඩුවෙන් සම්බන්ධ විම රුවංගිට ආදරය කළ ප්‍රේක්‍ෂකයන්ට කරන අසාධාරණයක් නෙමේද? 

එහෙම නැහැ. මොකද මම උත්සාහ කරනවා එක් හොඳ නිර්මාණයකින් හරි ප්‍රේක්‍ෂකයෝ අතර ඉන්න. මුල් කාලේ එකවර මම සම්බන්ධ වුණු නිර්මාණ 4ක් 5ක් වගේ එකවර විකාශය වුණා. නමුත් එක කාලෙක එක ටෙලි නාට්‍යයකින් හරි ප්‍රේක්‍ෂකයෝ අතර ඉන්න තමා මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මගේ නිර්මාණ බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ.


නවක රංගන ශිල්පීන් ක්ෂේත්‍රයට පිවිසි පමණින් ඔවුන්ටම අවස්ථාව ලබාදී මෙසේ නිර්මාණ කටයුතුවලින් ඇත්ව සිටීම සුදුසුද?

අද කාලේ හතු පිපෙනවා වගේ නිර්මාණ බිහි වෙන්නෙත් නැහැ. අලුත් නිර්මාණ කරනවා අඩුයි. ටෙලි නාට්‍ය ගත්තත් අද වෙනකොට එක ටෙලි නාට්‍යයක් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් විකාශය වෙනවා. ඒ නිසා අවස්ථා අඩුයි. හැබැයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න නළු නිළියෝ ගොඩක් ඉන්නවා. එහෙම නැතුව නවකයගෙන් අවෑත් වීමක් හෝ අලුත් අය එක්ක වැඩ කරන්නේ නැහැ කියලා එකක් නොවෙයි. අපි ක්‍ෂේත්‍රයට එනකොට ඒ වෙනකොට හැමදාම නිර්මාණවල සිටි රංගන ශිල්පීන්  ශිල්පිනියන් නිර්මාණවල දකින්න අඩු වුණා. නවකයන් ක්‍ෂේත්‍රයට එනකොට අපිට ටිකක් පැත්තකට වෙන්න වෙනවා. ඉදිරියේදී තවත් අලුතින් ශිල්පීන් ශිල්පිනියන් ක්‍ෂේත්‍රයට එනකොට දැන් වැඩිපුර නිර්මාණවල ඉන්න අයට ටිකක් පැත්තකට වෙන්න වෙනවා. ඒක ස්වභාවය. එහෙම නැතුව කලාවෙන් අත් වීමක් නොවෙයි වෙන්නේ.


චරිත තෝරාගනිදී ඔබත් විවිධත්වයට මුල් තැන දෙනවාද?

ඔව්. මම විවිධ චරිත සහ චරිතය ඇතුළේ රඟපාන්න දෙයක් තිබෙන චරිත තමයි කරන්න කැමැති. හොඳ නිර්මාණ තිබෙනවා. නමුත් මෑත කාලේදී මට ලැබුණු චරිත ගැන මම සතුටු වෙන්නේ නැහැ.


 ඒ කියන්නේ තවමත් ඔබේ හැකියාවන් නිසි ලෙස අධ්‍යක්‍ෂවරුන් හඳුනාගෙන නැත්ද?

එහෙම දෙයක් නොවෙයි. මම හොඳ නිර්මාණවල හොඳ චරිත කරලා තියෙනවා. මම කියන්නේ මට අලුතින් රඟපාන්න ලැබුණු නිර්මාණ පිළිබඳවයි.


කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු?

එදා වගේම අදත් වෙනසක් නැතුව මගේ කලා ක්‍ෂේත්‍රයේ සෑම කටයුත්තකටම මගේ පවුලෙන් ලොකු සහායක් මට ලැබෙනවා.