මෙච්චර ලොකු ආදරයක් මට ලැබීම වෙලාවකට අදහාගන්න බෑ -නිම්මි මනෝහාරී

Monday, March 15, 2021 , 0 Comments

 



මේ දිනවල පුංචි තිරයේ දිගහැරෙන ‘නාඩගම්කාරයො‘ ටෙලි වෘතාන්තය කාගේත් සිත් ගත් ලක්වෙන අපූරු ටෙලි නාට්‍යක්. එහි ‘පොඩ්ඩි‘ නැතිනම් ‘අංජලීගේ‘ චරිතයත් මේ වන විට ආකර්ෂණීය චරිතයක් වී තිබෙනවා. ‘අංජලී‘ ට පණ පොවන නිම්මි මනෝහාරී ගේ කුලුඳුල් රංගනය වන ‘නාඩගම්කාරයො‘ මේ වන විට ඇයට නැවුම් අත්දැකීම් රැසක් එක් කර තිබෙනවා. ඉතිං ඇය ඇගේ ඒ  අත්දැකීම් ගැන පුවත්පතට මෙලෙස කියා තිබුනා.


 

විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් මෙවැනි නිර්මාණයකට කුලුඳුල්


රංගනයෙන් එක් වීමට ලැබීම කොහොමද දැනෙන්නේ ?


‘නාඩගම්කාරයො‘ මගේ පළවෙනි ටෙලි නාට්‍ය සහ කැමරාවට මුහුණ දුන් දෙවන අවස්ථාව. ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. හරිම අහම්බයක්. කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න, රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.


කොහොමද ඒ අහම්බය සිද්ධ වෙන්නේ ?


මම වෙනත් වෘත්තීයක නියැළෙන කෙනෙක්. නමුත් කලාව රස විඳිනවා. මගේ අම්මා තමයි මම රංගන ශිල්පිනියක් වෙනවා දකින්න බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒ බලාපොරොත්තුව ඉටු වුණේ මගේ සහෝදරියකගේ මාර්ගයෙන්. ඇය මාර්ගයෙන් මෙහි නිෂ්පාදකවරයාව හඳුනා ගන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි ‘නාඩගම්කාරයො‘ නිර්මාණය සඳහා මාව තෝරා ගන්නේ.


‘පොඩ්ඩි‘ ට ප්‍රතිචාර හොඳ බව ආරංචියි ?


හිතා ගන්න බැරි ප්‍රතිචාර ලැබෙනවා. නොහිතපු විදිහට ලැබෙන මේ ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි. මෙච්චර ලොකු ආදරයක් මට ලැබීම වෙලාවකට අදහාගන්න බෑ.


ලැබුණු ඒ ප්‍රතිචාර අතර නොහිතපු උපදෙසකුත් තිබුණලු නේද ?


සජිත අනුත්තර අයියගෙන් මට ලස්සන උපදෙසක් ලැබුණා. දවසක් අපි ෂූටින් ඉවර වෙලා යද්දි සජිත අයියා කියනවා "අපි රඟපාන එක ඔළුවේ තියාගෙන රගපෑවොත් හා කැමරාවක් තියෙනවා කියලා හිතාගෙන රඟපෑවොත් අපිට ඒක කරන්න අමාරුයි. කැමරාවක් නෑ කියලා හිතාගෙන රඟපාන්නත් අමාරුයි. අපි සමාජයේ ඉන්න සියලුම චරිත අධ්‍යයනය කරන්න ඕනේ. කෙනෙක්ගෙන් ගන්න තියෙන දෙයක් අරගෙන ඔළුවට දා ගන්න ඕනේ. ඒක තමයි මේ ක්ෂේත්‍රයේ අපි හැමෝටම ලබා ගන්න පුළුවන් අධ්‍යාපනය " කියලා. ඒ තමයි මට ලැබුණු වටිනම උපදෙස.


ඒ කියන්නෙ නිම්මිත් දැන් ජනප්‍රිය චරිතයක් ?


ජනප්‍රියද ප්‍රසිද්ධද කියන්න මම දන්නෙ නැහැ. නමුත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා වගේම පාරක දැක්කත් හඳුනාගෙන කතා කරනවා. සමහර අය මේ තැන හදා ගන්න කියලා අඩුපාඩු පෙන්නනවා. බහුතරයකගේ ආදරය මට ලැබෙනවා.ඒ හැමදේම මගේ ගමනට ලොකු ශක්තියක්.




සැබෑ ජීවිතේ පොඩ්ඩි සහ නිම්මිගේ ගති පැවතුම් සමානයිලු නේද?


පොඩ්ඩි කියන්නෙ දඟකාර, කටකාර සැහැල්ලු චරිතයක්. හැබෑ ජීවිතෙත් මමත් ටිකක් කටකාර දඟකාර චරිතයක්. නමුත් මගේ වැඩේ කරලා පැත්තකට වෙන කෙනෙක්. එහෙම බැලුවම චරිත දෙකම ටිකක් සමානයි.


රූ ගත කිරීම්වලදී සහෝදර ශිල්පින්ගෙන් සහ ප්‍රවීණ ශිල්පින්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයක් ද ?


මීනා අක්කා, ප්‍රසන්නජිත් සර්, සොනාලි අක්කා ,සජිත අයියා , ප්‍රභූ අයියා, කෝකිල අයියා, අධයක්ෂවරයා සහා නිෂ්පාදකවරයා ඇතුළු නිර්මාණ කණ්ඩායමෙන් ම ලැබෙන සහය වචනවලට පවා පෙරළන්න අමාරුයි. මම මේ ෆීල්ඩ් එකට අලුත්. මගෙන් වෙන අඩුපාඩු වැඩියි. නමුත් ඔවුන් සියලු දෙනාම පුදුම ඉවසීමෙන් “ආයේ අපි මේක ගමු“ කියන තැනට එනවා. ආධුනිකයෙක් විදිහට මට ඔවුන්ගෙන් ලැබෙන ඒ සහාය පුදුම විදිහට වටිනවා.


අහම්බෙන් රංගනයට ආ නිම්මි ඉදිරියේදී පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් වේවි ද ?


ඒ දේ අනාගතයටම තමයි භාර දෙන්න වෙන්නෙ. සමහරවිට රංගනය මගේ වෘත්තීය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ලැබෙන නිර්මාණ හා චරිත අනුවයි ඒක තීරණය වෙන්නෙ. දැනට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමූහ හෝටලයක උත්සව ශාලා සම්බන්ධීකාරකවරියක් ලෙස මම සේවය කරනවා. දැනට මේ වෘත්තියයි රංගනයයි සමබරව කරගෙන යෑමයි මගේ බලාපොරොත්තුව.


දැන් බොහෝ අය මෙගාවලට නම් එතරම් කැමැත්තක් නැහැ ?


මෙගා ද සම්භාව්‍ය ද කියලා තෝරා ගැනීමේ වෙනසක් මට නැහැ. ලැබෙන පිටපත හොඳයි නම් ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන් නම්, මම භාර ගන්නවා. මගේ සීමා ඇතුළේ ප්‍රේක්ෂකයන්ගේ හිතේ රැඳෙන රංගනයකට මම වඩා කැමති .


මේ තරම් දුරක් එන්න නිම්මිගෙ පසුපසින් සිටි අය මතක් කරමු ?


අම්මගෙ උනන්දුව තමා මුලින්ම. මීට කලිනුත් මට අවස්ථාව ලැබුණා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. අම්මා තාත්තා මල්ලි රෑ නමය හමාර වෙනකොට දැන් ටී. වී එක ළඟ. එයාලත් මම තරම් උනන්දුයි. ‘නාඩගම්කාරයෝ‘ මුළු නිර්මාණ කණ්ඩායමෙන්ම මට ලැබෙන සහයෝගය තමයි මේ ගමන යන්න ලොකුම ආශිර්වාදය.