චතුරංග කොඩිතුවක්කු තමයි මගේ පෙම්වතා - මියසි සංදීපනී

Tuesday, March 23, 2021 , 0 Comments




මේ දිනවල ආදරණීය මවක් විදියට ඔබ වෙත සමීප වෙන ඇය දැන් සැබෑ ජීවිතයේ පෙම්වතියෙක් වෙලා. ඒ අලුත් පෙම්පලහිලව්ව ගැන මියසි සංදීපනී  පුවත්පකකට මෙලෙසින් විස්තර කියා තිබුනා.


 ඔබව අපි දැක්කේ නපුරු චරිත හරහා, නමුත් ‘මිහී’ ටෙලිනාට්‍ය හරහා ආදරණීය මවක් බවට පත්වෙලා. කොහොමද ඔබට දැනුණු වෙනස?

ඒ වෙනස මට තදින්ම දැනුණා. ‘මිහී’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ප්‍රාර්ථනාගේ චරිතයට ගොඩදෙනෙක් ආදරය කරනවා වගේම හොඳ කියනවා. ප්‍රාර්ථනාගේ තරුණ කාලේ ගෙවිලා ඇයට දැන් අවුරුදු 5ක දුවෙකුත් ඉන්නවා. නපුරු චරිත කරලා මම හෙම්බත් වෙලා හිටියේ. ඒ විතරක් නෙවේ නපුරු චරිත කළාම ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් සුබවාදී නැහැ.


 ඔබ මවක් ලෙසට මෙයට පෙර චරිත නිරූපණය කරලා නැහැ නේද?

මම අම්මා කෙනෙක්ගේ චරිතය කරන පළමු අවස්ථාව මෙයයි. එය මට අභියෝගාත්මක චරිතයක් වුණා. ඉතින් මෙවැනි චරිතයක් මට ලබාදී වෙනස් රූපරාමුවකට මගේ හැකියාවන් ප්‍රතිනිර්මාණය කිරීමට ‘මිහි’ ටෙලිනාට්‍ය තුෂාර තෙන්නකෝන් ඇතුළු සියලුම ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබුණා.


 තවම දෙයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණේ නැහැ කියලා හිතෙනවද?

විවිධ චරිත නිරූපණය කිරීමේ ලොකු ආශාවක් මට තියෙනවා. මම හිතනවා දැන් නපුරුකමින් මිදිලා වෙනස් චරිත සඳහා මටත් ආරාධනා ලැබෙයි කියලා. මට ලැබුණු හැම චරිතයක්ම මට විශේෂත්වයක් දැනුණා. නමුත් එකම රාමුවකට කොටු නොවී වෙනසකට මුහුණ දෙන්න මමත් ගොඩාක් කැමැතියි. ඒ හරහා අපේ දක්‍ෂතාවය තවත් වැඩිදියුණු වෙනවා.


‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයෙන් පස්සේ ඔබව සිනමාවෙන් දැකගන්නට ලැබුණේ නැහැ?

චිත්‍රපට තුනකට ආරාධනා ලැබුණා. නමුත් නිෂ්පාදකවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ඒ චිත්‍රපට නිර්මාණය කළේ නැහැ. හොඳ චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වෙන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබෙනවා.


මේ දවස්වල ජනප්‍රිය නළුවෙක්ගේ ආරක්‍ෂාවකුත් ලැබෙනවා කියලා ආරංචියි?

ඔව්… ඉතින් ඔහු මගේ පෙම්වතා නිසා ඔහුත් මම ගැන නිරන්තරයෙන් හොයා බලනවා. ඔහුට පුළුවන් වෙලාවක මාත් එක්ක මගේ වැඩකටයුතුවලට යනවා. ඔහුගේ ඒ හයියත් මට වටිනවා.


‘හදවතේ කතාවේ’ නිමෙෂ් තව කෙනෙක්ට ආදර කරද්දි ඔහු ඔබගේ හදවතට ළංවුණු ඒ සොඳුරු ආදර කතාව දැනගන්නට කැමැතියි?

චතුරංග කොඩිතුවක්කු තමයි මගේ පෙම්වතා. ඔහු තමයි ‘හදවතේ කතාවේ’ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මට චතුරංගව හමුවන්නේ එක්තරා මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වුණු අවස්ථාවකදී. එතනින් පසු අප අතර හොඳ මිතුදමක් බැඳුණා. කාලයත් එක්කම අපි දැන් පෙම්වතුන් බවට පත්වෙලා.


චතුරංගගේ ඔබ දැකපු සුවිශේෂී ගතිගුණ කොයිවගේද?

ඔහුගේ තිබෙන හොඳ ගතිගුණ මම තවත් පිරිමි ළමයකුගෙන් දැකලා නැහැ. ඒ තරමට ඔහු මට විශේෂ කෙනෙක් වුණා.


 චතුරංග පෙම් ජවනිකා නිරූපණය කරන කොට ඔබට පොඩි දුකකුත් ඇති නේද?

ඇයි මම දුක්වෙන්නේ. ඔහු කරන්නේ රඟපෑමක් කියලා මම දන්නවානේ. අනෙක මමත් මේ ක්‍ෂේත්‍රයේ වැඩකරන නිසා අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධ විශ්වාසයකින් තමයි ඉන්නේ. අනෙක මමත් කැමැතියි ඔහු තැනකට එනවාට. ඉතින් ඔහුට මම උපරිම නිදහස දීලා මම උදවු කරනවා.


 දෙන්නාගේ ආදර කතාව එක වහලයක් යට විඳින්න සූදානමක් නැද්ද?

දැන්ම විවාහය ගැන හිතලා නැහැ. ලබන අවුරුද්දේ අපි විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. බලමු එතකොට.


වසන්ත විතාරණගේ