එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරැදිවලට හැමෝම පලි නෑ - මදුෂාණි පෙරේරා

Wednesday, March 24, 2021 , 0 Comments




 මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක ආදරවන්තියක් ලෙස ඔබ හමුවට එන සුන්දර රුවැත්තියක් තමයි ඇය. ඇයව ‘ජානු’ ලෙසත්, තවත් සමහරු ඇයව ‘කුකුල් බබා’ ලෙසටත් හඳුන්වනවා. ඇත්තටම කවුද මේ කුකුල් බබා. මේ තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රඟන මදුෂාණි පෙරේරා. ඉතිං ඇය ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


මදුෂාණි, ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිරූපිකාවක් විදියටයි. නමුත් ඔබ අද පියවරක් තබමින් ඉදිරියට ඇවිත්. ඒ ආපු ගමන ගැන සඳහන් කළොත්?

මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වසර හතරක ඉඳලා වැඩකටයුතු කරගෙන යනවා. ඒත් මම හිතුවේ නැහැ රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. මම නිළියක් වුණේ අහම්බෙන්. මොකද මම රඟපෑමට සම්බන්ධ වීමට කලින් මේ ක්‍ෂේත්‍රය ගැන මට ගොඩාක් ඉගෙන ගැනීමට තිබෙන නිසා, මම ටිකක් ප්‍රමාද වෙලා එන්න හිතුවේ ඒකයි.


ඒත් ඔබ කොහොමින් කොහොම හරි එක රැයකින් ජනප්‍රිය නිළියක් බවට පත්වෙලා හමාරයි. ඔබ මුලින්ම රඟපෑවේ ඓතිහාසික ටෙලි නිර්මාණයක නේද?

මම මුලින්ම රඟපෑවේ ‘රාවණ-2’ ටෙලිනාට්‍යයේ. රාවණගේ, කුමාරිකාව ලෙසට. ඒ චරිතය තුළ ලොකු ගැඹුරක් තිබුණා. ඒ වගේම රඟපෑමේදී දෙබස්වල පවා ලොකු වෙනසක් තිබුණා. ඉදිරියේදී ‘රාවණ-3’ ටෙලිනාට්‍යයටත් මම සම්බන්ධ වීමට නියමිතයි.


 නමුත් ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘නාඩගම්කාරයෝ’ හරහා?

‘රාවණා’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළේ සුවිශේෂී චරිතයක්. නමුත් එයටත් වඩා ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘ජානු’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද ඒ තරම්ම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් වැළඳ ගත්ත නිසා.


 ‘නාඩගම්කාරයෝ’හි ‘ජානු,’ ‘කුකුල් බබා’ වීමේ විශේෂත්වය ගැන කිව්වොත්?

මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයිනුත් විවිධ නම්වලින් කතා කරලා මේ ඉන්නේ අහවල් ටෙලිනාට්‍යයේ අහවල් කෙනා නේද කියලා කියනවා. ‘කුකුල් බබා’ කීමට නම් ඉතින් විශේෂත්වය තමයි මේ ටෙලිනාට්‍යයේ මගේ තාත්තා උළු කර්මාන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් තාත්තාගේ උළුවලට සලකුණු තියලා තියෙන්නේ කුකුළාගේ සලකුණක්. ඒ නිසා මට කුකුල් බබා කියනවා.


 ඔය ලස්සන පෙනුමත් එක්ක ළඟදීම සිනමාවට සම්බන්ධ වෙයි නේද?

මම මුලදී කිව්ව පරිදි එහෙම මේ ක්‍ෂේත්‍රයට එන්න ප්ලෑනින් එකක් තිබුණේ නැහැ. මොකද දෙයක් නොදැන අතරමන් වෙනවාට වඩා දැනගෙන ආපුවම වටිනාකම දැනෙයි කියලා මම හිතුවා.


 නිරූපණ ක්‍ෂේත්‍රයේ කරන වැඩ වගේ චරිතයක් නිරූපණය කරනවා කියන එක හිතන තරම් පහසු නැහැ නේද?

අම්මෝ එය බැරෑරුම් වැඩක්. නිරූපණ ක්‍ෂේත්‍රයේ ඇඳුමක් ඇඳගෙන එය නිරූපණය කරනවා අලුත් විලාසිතාවක් ලෙසට. නමුත් රඟපෑමේදී චරිතයක් නිරූපණය කරන එක එයට වඩා හාත්පසින්ම වෙනස්. මට එය අභියෝගයක් වුණා චරිත ග්‍රහණය කරගැනීමේදී.


නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන අයට නම් හොඳ ප්‍රතිචාරයක් අහන්න ලැබෙන්නේ නැහැ?

ඒක ඉතින් මේ ක්‍ෂේත්‍රයේ හැමෝටම පොදු දෙයක්. මොකද ශිල්පීන් ජනප්‍රිය වුණාම ඔවුන්ගේ වැරැදි තමයි හොයන්නේ. නමුත් ඕනෑම වෘත්තියක වැරැදි කරන අය ඉන්නවා. ඉතින් මම කියන්නේ එක්කෙනෙක්, දෙන්නෙක් කරන වැරැදිවලට හැමෝම ඒ මට්ටමින් මනින්න එපා කියලා. තමන් හරියට මේ ගමන ගියොත් කාගෙන්වත් ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ.


වසන්ත විතාරණගේ