සුදු නංගි හින්දා මම ගොඩක් දේවල් නැතිකර ගත්තා

Thursday, February 18, 2021 , 0 Comments




 ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා කාගෙත් ආදරය දිනාගත් ‘සුදු නංගීව’ ඔබට මතක ඇති. ඇය තමයි අයෝමි ශානිකා. දිගු නිහඬියාවකට පසු ඔබ ආදරය කළ ඒ සුදු නංගී නැවැත රඟපෑමට ඇවිත්. ඉතින් කාලෙකට පස්සේ සුදු නංගි පවුත්පතකට මේ ගැන විස්තර මෙලෙස කියා තිබෙනවා.


 ‘සුදු නංගි’ කොහොමද ඉතින්?

හොඳින් ජීවිතය ගලාගෙන යනවා.


 ඔබව ගොඩදෙනෙක් දැන හඳුනගත්තේ ‘සුදු නංගි’ ලෙසට නේද?

‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා තමයි ‘සුදු නංගී’ව ගොඩදෙනෙක් හඳුන ගත්තේ. එදා ඒ හඳුනගත්ත ‘සුදු නංගී’ ලෙසට තමයි අදටත් මට කතා කරන්නේ. ‘සුදු නංගි’ට ගෞරවාන්විතව ආදරය කළා. ඒ ආදරයට මමත් ආදරය කළා. මම හිතන්නේ මගේ ජීවිතයට ලැබුණු වාසනාවක් ‘සුදු නංගී’ව.


 ඔබට මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට මේ ක්‍ෂේත්‍රයේ සිටින හිරෝ කෙනෙක්ගෙන් සහායක් ලැබුණා නේද?

ඔබ ඔය කියන්නේ පුබුදු චතුරංග ගැන වෙන්න ඇති. අපි දෙන්නා හොඳ මිතුරන්. ඒ කාලේ මම රූපවාහිනීවල නිවේදිකාවක් ලෙසට කටයුතු කළා. ඔය අතර තමයි පුබුදු කිව්වේ වෙනසකටත් එක්ක රඟපෑමට සම්බන්ධ වෙන්න කියලා. අලුත් ටෙලිනාට්‍යයකට රංගන ශිල්පිනියක් තෝරනවා කියලා. ඔහු මම ගැන රවින්ද්‍ර විජේරත්න අයියාට කියලා. ඔය විදියට තමයි මම ‘සුදු නංගි’ වුණේ.


 දිගු නිහැඬියාවකට පසු ඔබ නැවැත ‘ඕෂා’ ලෙසින් රඟපෑමට සම්බන්ධ වෙනවා නේද?

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වන්නේ අවුරුදු පහකට විතර පස්සේ තමයි. ඒ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් තමයි විකාශ වෙන්නේ. ‘රෑනගල වලව්ව’ වෙනස්ම විදිහේ නිර්මාණයක් ලෙසට තමයි මගේ හිතට දැනුණේ. මම රඟපාපු පරණ ටෙලිනාට්‍ය කිහිපයක්ම තිබෙනවා විකාශය වීමට. ඒවා කවදා විකාශ වෙයිද කියලා දන්නේ නැහැ.


 ‘සුදු නංගි’ චරිතය වගේ ‘ඕෂා’ ජනප්‍රිය වෙයි කියලා හිතනවද?

ඒ කාලේ මම හිතුවේ නැහැ ‘සුදු නංගි’ මේ තරම් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙයි කියලා. අපි නොහිතන දේවල් තමයි සිදුවන්නේ. ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ මම ලොකු චරිතයක් නිරූපණය කළේ නැහැ. නමුත් අහවල් ටෙලිනාට්‍යයේ හිටියා නේද කියලා ප්‍රේක්‍ෂකයන් මගෙන් අහනවා. එය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයන් තමයි.


 ඉන්දියාවට යෑමට තිබුණු අවස්ථාවක් ප්‍රතික්‍ෂේප කළේ ‘සුදු නංගි’ නිසාමද?

මගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමිවුණා. මම එයත් ප්‍රතික්‍ෂේප කළේ ‘සුදු නංගි’ නිසාමයි. ඒකට නම් මට ගොඩදෙනෙක් බැන්න මම කරගත්තු ලොකුම මෝඩකමක් කියලා. හැබැයි මම එදා තීරණය වෙනස් කරලා ඉන්දියාවට ගියා නම් මම කලා ක්‍ෂේත්‍රයට කවදාවත් සම්බන්ධ වෙන්නැති වෙයි.


 ඕනෑම කෙනෙක්ගෙ සිහිනයක් තිබෙනවානේ, ඔබේ හිතේ තිබුණු ආශාවක්ද මේ?

පුංචි කාලේ ඉඳලා මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා රංගන ශිල්පිනියක් වීමට වගේම වෛiවරියක් වීමට. ඉතින් මම ‘සුදු නංගි’ ලෙසට කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම මගේ අනෙක් සිහිනය සැබෑ කරගන්නට මහන්සි වුණා.


 ඒ නිසාමද ඔබ කලා ක්‍ෂේත්‍රයෙන් දුරස්වෙලා හිටියේ?

ඔව්… මගේ අධ්‍යාපන කටයුතුවලට මහන්සි වෙලා කටයුතු කරන්න ඕන නිසා මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ මහන්සියෙත් ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. නුවර – පන්විල ආයුර්වේද රෝහලේ වෛද්‍යවරියක් විදියට මම දැන් කටයුතු කරනවා


 ඔබේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක නැවැත ඔබ හිටිගමන් අතුරුදන් වෙයිද නිර්මාණවලින්?

දැන් නම් එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. මම  වෛද්‍යවරියක් වගේම දරුවො දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ හැම වගකීමක්ම මම අකුරට කළ යුතුයි. ඒ වැඩකටයුතු කරන අතර හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

වසන්ත විතාරණගේ