මම රඟපානට මගේ පවුලේ අයගෙන් කිසිම බලපෑමක් නැහැ - ශිරෝෂි රොමේෂිකා

Tuesday, February 16, 2021 , 0 Comments




ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුකාලීනව චිත්‍රපටවල අපට දැකගන්නට ලැබුණේ නැහැ. ඉන්පසු ඇය යන ගමන්මඟ වෙනස් කරමින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඉතින් කාගෙත් ආදරය දිනාගත් ශිරෝෂි රොමේෂිකා දිගු නිහැඬියාවකට පසු බියුලා ලෙසින් නැවත රඟපෑමට ඇවිත්. ඇය දිගු කාලයක් රඟපෑමෙන් ඈත්වෙලා හිටියේ ඇයිදැයි කියා ඇය පුවත්පතකට මෙලෙස කියා තිබුනා.



ශිරෝෂි බස් එකෙන් පටන්ගෙන දිගු නිහැඬියාවකට පසු බස් එකෙන්ම නැවත රඟපෑම පටන්ගත්තා නේද?

‘කොටඋඩ මන්දිර’ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය. ඒ ටෙලිනාට්‍ය කරනකොටත් මට ජගත් චමිල හමුවුණා. දිගු නිහැඬියාවකට පස් බස් එකේ ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා මම රඟපෑමට සම්බන්ධ වෙනවා. මේ ටෙලි නාට්‍යයෙත් මට ජගත් චමිල හමුවෙනවා.


කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

එය ගැන නම් ගොඩක් සතුටුයි. මොකද මම මේ ක්ෂේත්‍රයේ සිටිය යුතු හොඳම කාලේ තමයි කලාවෙන් සමුගත්තේ. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ මට දරුවා 

ලැබෙන්න ඉන්න නිසා මම හිතුවා විවේකයක් ගත්තානම් හොඳයි කියලා.


ඔබ දැන් මවක් නිසා බියුලා චරිතය නිරූපණය කිරීමට පහසුවක් දැනෙන්නට ඇති?

බියුලා කියන්නේ දෙදරු මවකගේ චරිතයක්. සරලවම පැවසුවොත් මම කාලයක් නිහඬව ඉඳලා රඟපෑමට ආව කියලා මට කිසිම වෙනසක් දැනුණේ නැහැ. බියුලාට දැනෙන හැඟීම් දැනීම් මගේ සැබෑ ජීවිතයේදීත් දැනුණ නිසා ලොකු පහසුවක් දැනුණා මට රඟපෑමෙදි.


නිහඬව ගෙදරට වෙලා ඉන්න කාලයේ කලාවට සම්බන්ධ වුණා නම් හොඳයි කියලා හිතුණේ නැද්ද?

හිතුණු වාර අනන්තයි. හැබැයි ඒ හැමදෙයටම වඩා මට මගේ දරුවා වටිනවා. ඒ නිසාමයි මම මෙච්චර කාලයක් ගෙදරට වෙලා හිටියේ. කලාවට සම්බන්ධ වෙන්න පුළුවන් කාලේ තමයි මම නැවත රඟපෑමට සම්බන්ධ වෙන්න හිතුවේ දුවත් දැන් ලොකු නිසා.


ඔබ ඩාන්සින් ස්ටාර් සිනමා නිර්මාණය හරහා තමයි එළියට එන්නේ?

ඔව්. මාව ගොඩදෙනෙක් දැන හඳුන ගත්තේ ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය හරහා තමයි. ඒත් පසුකාලීනව මට සිනමාවේ ලොකු ඉඩක් තිබුණේ නැහැ. පස්සේ මම ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කළා.


 ඔබව නැඟී එන නිළියටත් නිර්දේශ වුණා නේද?

‘මොනර කඩදාසි’, ‘කළු අරලිය’ ටෙලිනාට්‍ය දෙකම මම නිරූපණය කළ චරිත දෙකටම මාව නිර්දේශ වුණා. හැබැයි සම්මානයක් ගන්න තරම් මම ලොකු කාලයක් රැඳිලා හිටියේ නැහැ. මම ඒ ආපු ගමන දිගටම ආවා නම් බොහෝදුරට මටද සම්මානයක් හිමිකර ගන්න තිබුණා.


මේ ක්ෂේත්‍රයේ දැන් තිබෙන තරගකාරීත්වයත් එක්ක චරිත බලාගෙන ඉන්නත් බැහැ නේද?

ඉස්සරට වඩා දැන් නළු නිළියන් ගොඩාක් බිහිවෙලා ඉන්නවා. ඉතින් එහෙම චරිත තෝරා බේරාගෙන රඟපාන්න බැහැ. අනික රංගන ශිල්පිනියක් වුණාට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනා.


දැන් ආපු ගමන දිගටම රැඳෙන්නද අදහස?

ඔව්. මට මගේ පවුලේ අයගෙන් කිසිම බලපෑමක් නැහැ. සැමියාගෙන් වුණත් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මගේ දුව මරිසා අමානි පෙරේරා. දුව පොඩි වුණත් මගේ රඟපෑම ගැන අගේ කරනවා. ආරාධනා ලැබුණොත් මම දිගටම රඟපානවා.


වසන්ත විතාරණගේ