මම කාටවත් ණයත් නැහැ; බයත් නැහැ - ජෙහාන් අප්පුහාමි

Wednesday, February 03, 2021 , 0 Comments

 



ජෙහාන් අප්පුහාමි වේදිකාව, පුංචි තිරය සේම සිනමාවට ද එක ලෙස පෑහුණ රංගන ශිල්පියෙක්. නිර්මාණයක් තුළ අපූරු ප්‍රකාශනයක් සිදු කරන්නට සමත්වන නිසාම ඔහු බොහො දෙනා හඳුන ගන්නේ රාමුවකට සිර නොවුණ රංගන ශිල්පියෙක් විදිහට. මේ දවස්වලත් ඔහු රාමුගත නළුවෙක් නොවන වග නිර්මාණ කිහිපයකින් ඔප්පු කරමිනුයි ඉන්නේ. ඉතිං ඔහුගේ මේ අලුත් තොරතුරු ගැන ඔහු පුවත්පතකට විස්තර කියා තිබුනේ මෙලෙසිනි.


ජෙහාන් ආලේ කොරෝනා එක්ක සිනමා ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් නේද?


ඔව්. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන උදාර පල්ලියගුරු නිෂ්පාදනය කරන ආලේ කොරෝනා චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ආලේ කොරෝනා කියන්නේ මම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන දෙවැනි චිත්‍රපටය. මිනිස්සු එළියේ සමාජයට ගියාම කරන බොරුව, බොරුව යාවත්කාලීන කරන්න මිනිස්සු මහන්සි වෙන විදිහ එක්ක මිනිස්සුන්ට ආපස්සට හැරිලා බලද්දි හරි අපූරු පාඩම් ටිකක් ඉගෙන ගන්න ලැබුණා. කොරෝනා කාලේ සිද්ධ වුණ කෝටියක් සිද්ධි අතරින් එක සිද්ධියක් තමයි මේ චිත්‍රපටය තුළ පෙන්වන්නේ. මෙය බැලැක් කොමඩි චිත්‍රපටයක්. මේකත් මට වෙනම අභියෝගයක් තිබුණ චිත්‍රපටයක්.


මොනවද ඔබට තිබුණ කිව්ව අභියෝග?


දින හතළිස් ගණනක් එකට ගත කරන යුවළකගේ කතාවක්නේ මේ චිත්‍රපටය තුළ තිබෙන්නේ. මමයි ඩිෂ්නියි තමයි එහි ප්‍රධාන චරිත රඟපාන්නේ. දින කිහිපයකදි රූගත කිරීම් කළාට දින ගෙවෙන විදිහ අපේ රංගනය තුළින් පෙන්වන්න පහසු නැහැ. දවස් හතළිස් ගාණනක වෙච්ච දේවල් පැය එකහමාරකින් පෙන්වන එක ලොකු අභියෝගයක්.


මේ නිර්මාණයේ ප්‍රධාන චරිතයට මුලින්ම ආරාධනා ලැබුණෙත් ඔබට නෙමෙයි නේද?


මේ චරිතය කරන්න වෙනත් නළුවෝ කිහිප දෙනෙක්ට කතා කරලා තිබ්බා. ඒ සමහර නළුවෝ ඒ චරිතය ප්‍රතික්ෂේප කළාට පස්සේ ඒ චරිතයට තෝරගත්ත අය බෑ කිව්වට පස්සේ තමයි මට මේ අවස්ථාව ලැබුණේ. කවුරු හරි කරන්න බෑ කිව්ව චරිතයක් මම කරන්නේ නෑ කියලා දෙයක් නෑ. මම එය කැමැත්තෙන් කළා.


පුංචි තිරයෙනුත් නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ ගැනත් කතා කරමු?


මම සම්බන්ධ වුණ නාට්‍යවලින් පාවෙන යකඩ ටෙලි නාට්‍ය තමයි මුලින්ම විකාශය වෙන්න පටන් ගත්තේ. ජනක අයියා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මත්කුඩුවලට ඇබ්බැහි වුණ තරුණයෙකුගේ චරිතයක් තමයි මම ඒ නාට්‍යයේ රඟපාන්නේ. සේනක එදිරිසිංහ අයියා අධ්‍යක්ෂණය කරන ගමනේ යා ටෙලි නාට්‍යයේ හමුදා සෙබළෙකුගේ චරිතයක් මම කරන්නේ. නිමල් රත්නායක අධ්‍යක්ෂණය කරන මැටි කඩුලු ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ගුරුවරයෙකුගේ චරිතයක්. එකකට එකක් වෙනස් චරිත ත්‍රිත්වයක් එක්ක පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබිලා තියෙනවා.


ජෙහාන්ව සාමාන්‍යයෙන් නිර්මාණ ගොඩකින් එක සැරේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් මෙදාපාර ඒ තත්ත්වය වෙනස් වෙලා නේද?


මේ සමහර නිර්මාණ කාලයකට කලින් කළ නිර්මාණ. නාට්‍ය තුනම මේ කාලේ විකාශය කරන්න තමයි අවසර ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ නිර්මාණ තුනේම ඉතිරි රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් මම සාමාන්‍යයෙන් ගොඩ බදාගත්තා වගේ හැමදේම බදාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි.


නාට්‍ය තුනේ ඔබේ ස්වරූපයන් එකිනෙකට වෙනස්. එය එක එක නිර්මාණවල රූගත කීරිම්වලට බාධාවක් නෙමෙයිද?


පාවෙන යකඩ ටෙලි නාට්‍යයේ මම කොණ්ඩය වවලා ඉන්නේ. ගමනේ යා ටෙලි නාට්‍යයේ මම කොණ්ඩය කොටටම කපලා ඉන්නේ. මැටි කඩුලු නාට්‍යයේ කොණ්ඩය සාමාන්‍ය තරමින් තියෙනවා. මම මේ නිර්මාණ තුනේම අධ්‍යක්ෂවරුන් එක්ක කතාබහ කරලා කිසිම නිර්මාණයකට හානියක් නොවෙන්න ඉදිරි රූගත කිරීම්වලට දින වකවානු බෙදා ගත්තා. නිර්මාණ තුනේම අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ශිල්පීන් මට අවශ්‍ය සහය ලබා දෙනවා.


ඔබ අභියෝග භාරගන්න මැළි නොවෙන නිසා රාමුවෙන් පිට පනින්න හැකි වුණා කිව්වොත් එකඟ වෙනවද?


මම මට කරන්න පුළුවන් දේ මොකක්ද බැරි දේ මොකක්ද කියලා දන්නවා. මම කවුද කියන දේ මම තේරුම් අරගෙන ඉන්නේ. මම මට ඕන විදිහට වැඩ කරන්නේ. මම ගන්න තීන්දු තීරණ අතිශය පෞද්ගලිකයි. මම කාටවත් ණයත් නෑ බයත් නෑ. කවුරුත් කියන නිසා නෙමෙයි මට හොඳයි කියල හිතෙන දේ මම කරනවා. මටම නරකයි කියලා හිතන දේ මම කරන්නේ නැහැ. එතනින් එහා කවුරු මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. මම කරන දේ තුළ මම වැරැද්දක් කරන්නෙ නැහැ. මගේ පවුලේ අයටත් මං කරන දේවල් ප්‍රශ්නයක් නැහැ. මම කලාවේ කරන්නෙ වැරැද්දක් නෙමෙයි. ඒ නිසා මට රාමුගත වෙන්නත් සිදු වෙලා නැහැ.


ලංකාවේ ඇතැම් ශිල්පීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය විවේචන දරාගන්න බැරිකම නේද?


මට හොඳට විවේචන දරාගන්න පුළුවන්. මට කොච්චර බැණලා තියෙනවද. සමහරු අපිට බණින්නේ ආදරයට. සමහරු බණින්නේ ඊර්ෂ්‍යාවට. විවේචනය කරන විදිහ අනුව අපිට ඒ කියන්නේ මොන අදහසින්ද කියලා තේරෙනවා. සමහර වෙලාවට මගේ යාළුවෝ මට බණිනව ඇයි උඹ ඒ වගේ වැඩවලට යන්නේ කියලා. ඕනම විවේචනයක් මට අහන් ඉන්න පුළුවන්. මොකද අපි කරන්නේ ලෝකෙ හොඳම එක නෙමෙයිනෙ. අපේ රංගනය ලෝකේ හොඳම රංගනයත් නෙමෙයිනේ. ඒ නිසා මට විවේචන කියන දේවල් අහන්න දරාගන්න පුළුවන්කම තියෙනවා.


දැන් දුවලා තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. දුවලා දෙන්නෙක්ම දැනටත් තාත්තා යන මාර්ගය තෝරාගෙන.


මම එයාලට මගේ පාරේ එන්න කියලා නැහැ. එයාලත් කලාවට ආසයි. සුනිල් කොස්තා මහත්මයාගේ can you hear me නාට්‍යයෙත් ලොකු දුව රඟපෑවා. සන්තුෂ ලියනගේ කරන චිත්‍රපටයකත් මරියයි වෙරෝනිකයි දෙන්නම රඟපානවා. ලැබෙන හැම වැඩකටම මම එයාලව යවන්නේ නැහැ.


තිළිණි කෞශල්‍යා විජේසිංහ