මම ඒක රැයින් ජනප්‍රිය වුණේ නැ - චතුර රාජපක්‍ෂ

Friday, January 08, 2021 , 0 Comments





කලා ක්‍ෂේත්‍රයේ සැරිසරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි චතුර රාජපක්‍ෂ. මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම පෙම්වතා බවට පත්වෙමින් ආදරය කළ ඒ සිහින කුමාරයා ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඔහුගේ කලා දිවියේ තොරතුරු ගැන   පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


ලබන්නාවූ නව වසරේ චතුරගේ හිතේ ආදරණීය ප්‍රාර්ථනාවකුත් ඇති?

මගේ එකම ප්‍රාර්ථනාව මේ කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම දුරුවෙලා සුබවාදී යසඉසුරු පිරුණු සුබවාදී රටක් වේවා. ඒ වගේම කොරෝනා වසංගතයට මුහුණපා සිටින මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවට ඉක්මන් සුවය වේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


කොරෝනා වසංගතයත් එක්ක ඒ අභියෝගයට මුහුණ දෙමින් ඔබත් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරනවා නේද?

ක්‍රිස්ෂෙල්ටන් ප්‍රනාන්දුගේ යකුහ පියාපත්, ඉරේ ඒ. ලොකු බණ්ඩාරගේ වරමද්ද, රනිල් කුලසිංහගේ පානාමංකඩ, අකුරු මැකී නැහැ ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා.


ටෙලිනාට්‍යවල රඟපාමින් හොරකමෙත් යනවා, එයත් රඟපෑමක්ද?

‘අකුරු මැකී නැහැ’ ටෙලිනාට්‍යයේ ‘ශාන්ත’ චරිතය මම නිරූපණය කරන්නේ චරිතය වෙනුවෙන්. හොරකම් කරමින් තමයි ජීවත් වුණේ. හැබැයි ඒ හැමදේම පවන් සංගීත ගුරුවරයා නිසා වෙනස් වෙලා. පවන්ගේ හොඳම මිතුරෙක් විදියට දැන් කටයුතු කරනවා.


‘රාවණා’ ටෙලිනාට්‍යයේ ඔබේ බාහිර ස්වරූපය වෙනස් වීමත් සමඟ ඔබව ගොඩදෙනෙක් හොයා බැලුවා නේද?

‘රාවණා’ ටෙලිනාට්‍ය හරහා තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. මගේ බාහිර ස්වරූපය වෙනස් වීමත් නිසා මේ කවුද කියලා හොයලා බැලුවා. රාවණාගේ ‘ලොකු මාමා’ගේ චරිතය තමයි මම නිරූපණය කළේ. රාවණාව රැක ගැනීමට යුද පිටියෙම සටන් කළා.


ඒ කාල අතරතුර අනතුරකට මුහුණ දුන්නා?

‘රාවණා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් ඉවර වෙලා යන අතරතුර තමයි අනතුරකට මුහුණ දුන්නේ. ලොකු බලපෑමක් වුණේ නැහැ.


ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ ආදරණීය පෙම්වතෙක් බවට පත්වෙලා නේද?

අනුරාධා එදිරිසිංහ, මිෂෙල් දිල්හාරා, රශි පබා, මනෝජා රංගන ශිල්පීන් රැසකගේ ආදරණීය පෙම්වතා විදියට රඟපෑවා. හැබැයි ඒ ආදර පෙම්වතා චරිත එකිනෙක වෙනස් රූප රාමු හරහා තමයි ආදරය කළේ. ඒ සියලුම ශිල්පීන්ගෙන් මට ලොකු සහායක් ලැබුණා ආදරය බෙදාගෙන විඳින්න.


ඒ ආදර කතාව තුළ සැඟවුණු ආදර කතාවකුත් ඇති?

ඔව් ආදරය කරනවා. එත් ඒ ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ.


සිනමාවේ රජ කිරීමට ඔබට තවම ආරාධනාවක් ලැබුණේ නැද්ද?

ඒක තමයි මගේ ඊළඟ අරමුණ. චිත්‍රපටයකින් ආරාධනාවක් ලැබුණා. ඒත් මේ කොරෝනා ප්‍රශ්න නිසා ඒ සියලු වැඩකටයුතු කල්ගියා. මේ වසරේ මගේ ඒ සිහිනය බොහෝ දුරට සැබෑ වෙයි කියලා මම හිතනවා.


අද ඔබත් ජනප්‍රිය නළුවන් අතරට එකතු වුණු තරුවක් බවට පත්වෙලා. ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

මම එක රැයකින් ජනප්‍රිය වුණු තරුවක් නෙවෙයි. වසර දහයක් විතර වෙනවා මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා. ඉතින් හිතේ පුංචි සතුටක් තියෙනවා අද මෙහෙම හරි තැනක ඉන්න එක ගැන. හැබැයි තව මට මේ රංගනය කියන විෂය ගැන හොයන්න බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් හොයමින් තමයි මම හෙමින් ගමනක් යන්නේ.


අද දකින බොහෝ දෙනෙක් මේ කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හැදෑරීමක් නැතුවයි. ඔබ මේ කලා විශ්වය ගැන හැදෑරීමක් කළාද?

පොඩි කාලේ ඉඳලා නළුවෙක් වීමේ හීනය මටත් තිබුණා. ඒ නිසාම මම අනෝජා වීරසිංහගේ ‘අභිනය’ රංග පාසලට සම්බන්ධ වුණා. එයින් යම් ප්‍රගුණතාවක් ලබමින් මම තවත් අධ්‍යයන කරන්න හිතාගෙන ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ රංග පාසලට ගියා. එයින් රංගනය ගැන වගේම ජීවිතය ගැන මට ගොඩාක් ඔහුගෙන් ඉගෙනගන්න ලැබුණා. මමත් අලුත් පරපුරටත් කියන්නේ හැදෑරීමක් ඇතිව මේ ක්‍ෂේත්‍රයට පිවිසියොත් එහි වටිනාකමක් තියෙනවා කියලයි.


වසන්ත විතාරණගේ