මායි අනුරයි නැවතත් වැඩ පටන් ගන්නවා - ඉෂාරා සඳමිණි

Wednesday, January 06, 2021 , 0 Comments




ස්වර්ණවාහිනි නාළිකාවේ උදෑසන “ආයුබෝවන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළින් මේ දිනවල අප හමුවට පැමිණෙන ඇය අප රට තුළ සිටින දක්ෂා ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද වනවා.  ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් කළ ඇය වර්තමානයේ නිර්මාණ තුළින් ක්ෂේත්‍රයේ දක්නට ලැබුණේ නැහැ. ඇය  මෙතරම් කලක් නිහඬව සිටීමට හේතු මොනවාද සහ ඇයගේ මේ දිනවල නවතම පිළිබඳව ඇය පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


ඉෂාරා ඉතින් කොහොමද?

හොඳයි. හොඳින් ඉන්නවා.


මේ දවස්වල කාලය ගත වෙන්නේ කොයි විධියටද?

අලුත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්නවා. තව අනුර සහ මම එකතු වෙලා නව අවුරුද්දෙදි අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එය ටෙලි නාට්‍යයක්ද චිත්‍රපටයක්ද කියන එක ඉක්මනින්ම ඉදිරියේදී තීරණය කරනවා. තව අපි Ayurway කියලා YouTube page එකක් පවත්වාගෙන යනවා. එයටත් මේ වන විට 50,000ක් ඉක්මවා Subscribersලා ඉන්නවා.


ඔබ කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?

උතුම් පැතුම් ටෙලි නිර්මාණයෙන් පසුව දැනට අවුරුදු 3ක සිට මට කලාවෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. දුව ලැබිමත් එක්ක ඇයට මුල් තැන දෙන්න සිදුවුණා. ඒ අතරතුරදි මම ආයුර්වේද වෛද්‍යවරියක් වශයෙනුත් වැඩ කළා. ඒත් එක්ක කලාවෙන් ටිකක් ඈත් වෙන්න සිදු වුණා.  


උතුම් පැතුම්හි සුදු දුවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

ඔව්. උතුම් පැතුම්හි උත්පලා කියන චරිතයට. 2016 2017 වර්ෂවලදි සුමති සහ SLIM-Nielsen Peoples Awardsහි ජනප්‍රියතම නිළියට හිමි සම්මාන දෙක මට දිනා ගන්නත් හැකිවුණා.



ජනප්‍රියත්වයේ ඉහළටම ගිය ඔබ එක්වරම රංගන ක්ෂේත්‍රයෙන් අරූත් වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. අම්මා කෙනෙක් වශයෙන් දරුවට දැනුම් තේරුම් වයසට එන තෙක් දරුවා ළඟින් සිටීම අත්‍යවශ්‍යයි. ජනප්‍රියත්වයේ උපරිම තලයක ඉන්න මොහොතකදි වුණත් මගේ පවුල් ජීවිතයටත් මුල් තැන දෙන්න ඕන කියලා මම හිතුවා. ඒ නිසා ඉතින් මගේ දරුවා වෙනුවෙන් මගේ පවුල සහ රැකියාව වෙනුවෙන් තාවකාලිකව කලාවෙන් අවෑත් වුණා. නමුත් ඉතින් ගැහැනියක වශයෙන් ජීවිතයේදී සුදුසු කාලවලදී සුදුසු තීරණ ගත්ත එක ගැන අද මම සතුටු වෙනවා.


මේ දිනවල ඔබ නිවේඳිකාවක වශයෙන්ද කටයුතු කරනවා නේද?

ඔව්. ස්වර්ණවාහිනි නාළිකාවේ උදෑසන "ආයුබෝවන් ශ්‍රී ලංකා” වැඩසටහනත් සමග එකතු වෙන්න කියලා ස්වර්ණවාහිනි නාළිකාවේ රංගන ද සිල්වා මහතාගෙන් ආරාධනාවක් ලැබුණා. මම එම ආරාධනාව බොහොම සතුටින් භාර ගත්තා. දැනට මාස 5-6ක පමණ සිට ඒ වැඩකටයුතු කරගෙන යනවා.


ඔබ සතු කලා කුසලතාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ සිතනවාද?

මෙහෙමයි. මම කාලාකාරිනියක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන මවපු කෙනෙක් නෙවෙයි. මට අහම්බෙන් තමයි ඒ අවස්ථාව හිමි වුණේ. මගේ පවුලේ කෙනෙක්වත් කලාවට සම්බන්ධයක් තිබුණේ නැහැ. 


සිහින පියාපත කරන කාලේ කේතකියි කියලත්, උතුම් පැතුම් කරන කාලේදි සුදු නැතිනම් උත්පලා කියලා ප්‍රේක්ෂකයෝ කතා කළා. ඉතින් සීමිත නිර්මාණ ප්‍රමාණයකින් වුවත් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා. මම රඟපාපු සියලුම නිර්මාණවලට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා. එය මට ලැබුණු වාසනාවක් කියලා මම හිතනවා.

කලා


ක්ෂේත්‍රය තුළ දිගටම රැඳී සිටීමට අදහසක් නැද්ද?

ඔව් තියෙනවා. මගේ ජීවිතයේ ගොඩක්ම කාර්යබහුල කාලෙකදි තමයි කලාවට ආවේ. අනික් අය තරමටම මම කලාව තුළ නියැළුනේ නැති වුණත් අපිට මැරෙනකම්ම වුණත් රඟපාන්න පුළුවන් කියලා මම හිතනවා.


ඔබ වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක්. එවැනි වෘත්තියක් සමග කලා කටයුතු සහ නිවේදන කටයුතු පෞද්ගලික ජීවිතය සමබර කරගන්නේ කොහොමද?


ඔව් ඇත්තටම රාජකාරින් කිහිපයකට එකවර වේලාව වෙන් කර ගැනීම හරිම අමාරුයි. ඒත් ඉතින් වෛද්‍ය වෘත්තිය වේවා නිවේදන රංගන වෘත්තිය වේවා මේ සෑම වෘත්තියක්ම වැදගත් වෘත්තීන් තමයි. ඒවගේම සියලුම ක්ෂේත්‍ර සමබරව කරගෙන යෑමට මගේ හස්බන්ඩ් අනුරගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම එයා කළා ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් වශයෙන් මාව ඉතාම හොඳින් වටහාගෙන තිබෙනවා. එනිසා මා සතු කලා කුසලතා හොඳින් හඳුනාගෙන, මට කළ හැකි දේ වෙනුවෙන් නිතරම මට මහ පෙන්වනු ලබනවා.


ඔබ රූප රාජිනි තරග කිහිපයක්ම නියෝජනය කොට ජයග්‍රහණය කළ කෙනෙක්. නමුත් මෙවැනි තරගයට සහභාගි වීමට බොහෝ තරුණියන් තුළ බියක් පවතනවා. එවැනි අයට කුමක්ද කියන්න තිබෙන්නේ?

යම් දෙයකට තමන් ආසා කරනවා නම්, තමන් කරන්නේ හරි දේ කියලා තමන්ට විශ්වාස නම්, තමන්ට තමන් පාලනය කරගත හැකියි කියන විශ්වාසය තමා තුළ තිබෙනවා නම් එවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වීමට බිය යුතු නැහැ. 


අද බිහිවන ප්‍රමිතියෙන් තොර වූ එවැනි තරගාවලි ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

පළමුව තමා ඉදිරිපත් වන තරගය පිළිබඳව සියලුම විස්තර සොයා බලන්න. එසේ නිවැරදි තොරතුරු ගැන හඳුනා ගෙන සොයා බැලීමකින් පසුව එවැනි තරග සඳහා ඉදිරිපත් වීම වඩාත් සුදුසුයි. උදාහරණයක් වශයෙන් මම මිස් වර්කින් ගල් තරගයට, මිස් වර්ල්ඩ්, මිසිස් වල්ඩ් ආදී තරග ගණනාවකට සම්බන්ධ වුණා. මම වුණත් එවැනි තරගවලට සම්බන්ධ විමට පෙර එම තරග පිළිබදව සියලුම විස්තරයන් පිළිබඳව ඉතා හොඳින් සොයා බැලුවා.


ඔබගේ සැමියා අනුරත් කලාවට සම්බන්ධ වුණු කෙනෙක්. නැවත රංගන කටයුතු වලට දායක වෙන්න ඔහු තුළ අදහසක් නැද්ද?

ඔව්. මගේ ස්වාමියා අනුර වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුත් රංගන කටයුතුවල නිවේදන කටයුතුවල නියැළුණු කෙනෙක්. ඉදිරියේදී ඔහුත් නැවත වැඩ පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


ඔබගේ දුව ගැනත් යමක් කියමු?

මගේ දුව ඉයස්සයා සිදුප්‍රී සදුමිණි. දැන් එයාට අවුරුදු 3ක්. එයා හරිම හුරතල් දරුවෙක්. මුලින්ම අපේ පවුලට ගැහැනු දරුවෙක් ලැබිම ගැන හරිම සතුටුයි. ඒ වගේම එයා තුළත් කලා හැකියාවක් තියෙනවා.


ඉදිරියේදී දුවත් කලාවට සම්බන්ධ කරන්න අදහසක් නැද්ද?

ඇත්තටම ඉතින් කිසිම දේකට අපි එයාට බලකරන්නේ නැහැ. එයාට එයාගේ ජීවිතය හොයා ගෙන යන්න අවස්ථාව සලසා දෙන අතරම, එයාට අවශ්‍ය මග පෙන්වීම සහ උපරිම සහයෝගය අපි දෙන්නා ලබා දෙනවා. ඒ වගේත්ම හොඳ දරුවෙක් විදිහට එයාව සමාජගත කිරීම තමයි අපේ එකම බලාපොරොත්තු.  


අවසන් වශයෙන් අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්?

දුවගේ අනාගතය හොඳ තැනකට ගෙන එන ගමන්, අපි දෙන්නාගෙත් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගෙන, කලාවත් එක්ක දිගටම ඉත්ත බලාපොරොත්තු වෙනවා සහ මැරෙන මොහොත වෙනතෙක් සතුටින් ඉන්න තමයි අපි තුන්දෙනාම බලාපොරොත්තු වෙන්නේ.