විරාට් කෝලිටත් පීතෘ නිවාඩු

Wednesday, January 06, 2021 , 0 Comments



බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ බිරියද වන අනුෂ්කා ෂර්මා මේ වනවිට සිය පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටියි. එ සඳහා දින නියම වී ඇත්තේ ලබන ජනවාරි මාසයේයි. කෙසේ වෙතත් පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබුණේ සිය බිරියට දරුවා ලැබීමෙන් පසු ඇය සමඟ කාලය ගත කිරීම සඳහා විරාත් කෝලි පීතෘ නිවාඩු ලබාගැනීමට කටයුතු කර ඇති බව සැලවීමත් සමඟය. ඔහු මේ ආකාරයෙන් පිතෘ නිවාඩු ලබාගෙන ඇත්තේ ක්‍රිකට් තරග නිසා ඉතා කාර්යබහුල තත්වයක සිටින අතර වීම විශේෂත්වයකි.


ඉන්දියාවට ඉතා වැදගත් ක්‍රිකට් තරගාවලියක් මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල සමහ තරගාවලියකි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේයි. එක්දින තරග තුනකින්, විස්සයි විස්ස තරග තුනකින් සහ ටෙස්ට් තරග හතරකින් මෙම තරගාවලිය සමන්විත වේ. එක්දින සහ විස්සයි විස්ස තරගවලටත්, පළමු ටෙස්ට් තරගයටත් සහභාගි විමෙන් පසු තමාට නිවාඩු ලබා දෙන ලෙස පසුගියදා කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගේ ඉල්ලීමට කන්දෙමින් ඔහුට නිවාඩු ලබාදී තිබිණි. 


මේ අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු නැවත ඉන්දියාව බලා පැමිණියේය. කෝලි ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගැනීම කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. තත්වය වඩාත් බරපතළ වන්නේ අවසන් වූ ටෙස්ට් තරගයේදී ඉන්දියානු පිල දැවැන්ත පරාජයකට මුහුණදීමද නිසාය. ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසය තුළ එම කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේද එහිදීය. එම තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු

36කට සියලුදෙනා දැවි ගියහ. මේ නිසා විරාත් කෝලි කණ්ඩායමෙන් සමුගෙන එන්නේ විශාල පිඩනයක් සිතේ තබාගෙන විය යුතුයි.



32 වැනි වියෙහි පසුවන විරාට් සහ අනුෂ්කා සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නේ ඔවුන්ගේ විවාහයෙන් වසර තුනකට පසුවයි. අනුෂ්කා ගැබිගෙන ඇති බව ඔවුන් මුල් වරට ප්‍රකාශයට පත් කළේ පසුගිය අගෝස්තු මාසයේයි. එය කොවිඩ් වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්, නළු නිළියන් ඇතුළු බොහෝ දෙනා සිය වෘත්තීය කටයුතුවලින් ඈත්ව සිටි කාලයක් විය. තම බිරියට දරුවා ලැබීමෙන් පසු ඇය සමග කාලය ගෙවීමට කෝලි ගත් තීරණය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතැමුන්ට අගය කර තිබෙනු දක්නට ලැබිණි. ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රධාන පුහුණුකරු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජස්ටින් ලැන්ගර් පවසා තිබුණේ මෙවැනි තීරණයක් ගැනීම ගැන තමා කෝලිට ගරු කරන බවයි.


 'ඔහුත් අප සියලුදෙනා වගේම මනුස්සයෙක්.  මගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට යම් අවවාදයක් දිමට මට අවස්ථාව ලැබුණොත් මා ඔවුන්ට කියන්නේ තමාගේ දරුවකු බිහිවන අවස්ථාව කිසිසේත් මහහැර නොගන්නා ලෙසයි. එය ජීවිතයේ ඔබට කළ හැකි වැදගත්ම කටයුත්තක්.” ජස්ටින් ලැන්ගර් පවසා තිබිණි.

 

කෝලි මේ ආකාරයෙන් තරගාවලිය අතරතුර නිවාඩු ගෙන පැමිණීම ගැන ඇතැම් ඉන්දියානු ක්‍රිකට් ලෝලින් නම් විරෝධය දක්වා තිබිණි. එමෙන්ම පසුගියදා කණ්ඩායම පරාජය වූ අවස්ථාවේ ඇතැමුන් එහි වරද අනුෂ්කා පිට පැටවීමට උත්සාහ දැරූ ආකාරයක්ද සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි විය.  සමහරුන් එසේ කටයුතු කළද, විරාට් - අනුෂ්කා දෙදෙනා ඉන්දියාවෙහි බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ යුවළක් බව රහසක් නොවේ. ඔවුන් අතර දැඩි, අව්‍යජ බැඳීමක් ඇති බව මේ අයගේ අදහසයි. මේ දෙදෙනාගේ ආදර සම්බන්ධය ආරම්භ වූයේ 2013 වසරේදී. එම සම්බන්ධයට මඟපෑදුණේ වෙළෙඳ දැන්වීමක් නිසායි. 


විරාට් සහ අනුෂ්කා පළමු වරට එකිනෙකා මුණගැසී තිබුණේ එම වෙළෙඳ දැන්වීමෙහි රූපගත කිරීම්වලට සහභාගි වූ අවස්ථාවේදියි. මෙවැනි රූපගත කිරීම් සල් ඒනවිට විරාට් නුහුරු අත්දැකීමක් වූයෙන් ඔහු එදින සිට ඇත්තේ දැඩි මානසික නොසන්සුන්තාවයෙන් යුතුවය. එම මානසිකත්වයෙන් ගැලවීම සඳහා තමා අනුෂ්කාට විහිළුවක් කළ බවත්, එය ඉතාම මෝඩ විහිළුවක් වූ බවත්, එළ ගැන තමා මහත් පසුතැවිල්ලට පත් වූ බවත් විරාට් පසුව හෙළි කර තිබිණි. එය අනුෂ්කා එදින පැලඳ සිටි අඩි උස සපත්තු දෙකක් පිළිබඳ විහිළුවක් වූ බැව් සඳහන්ය. රූපගත කිරීම්වලට සහභාගි වි හොඳ පළපුරුද්දක් තිබුණු අනුෂ්කා එදින තමාට වඩා මහත් ආත්ම විශ්වාසයකින් යුතුව එම වෙළෙඳ දැන්වීමට පෙනී සිටි අන්දමද ඔහු විස්තර කර තිබිණ.