අතීතය ගැන පසුතැවීමක් හෝ අනාගතය ගැන බයක් නැහැ - චන්න පෙරේරා

Friday, January 29, 2021 , 0 Comments




පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා ලෙස ආකර්ෂණීය රංගනයෙන් සුවහසක් හදවත්වල කිරුළු පැලැඳි ප්‍රවීණ රංගන ශිල්පී චන්න පෙරේරාගේ රංගනාභිෂේකයට මේ වන විට දශක තුනකි. රංගනයෙන් නොනැවතී අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයකු ලෙස ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂතා පෑ ඔහුගේ අධ්‍යක්ෂදිවියට පමණක් පසුගියදා විසි වසරක් සපිරුණි.  ඔහු සිය රංගන දිවියේ සුවිශේෂි කඩඉම් ගැන පුවත්පතකට මෙලෙස පවසා තිබුනා. 


“ ‘අංජලිකා’ චිත්‍රපටයෙන් පසුව මම කළ චිත්‍රපට සියල්ලම වෙනස් ආකාරයේ චිත්‍රපට. නමුත් බොහෝ දෙනෙක් මට කිව්වේ ආකර්ෂණීය සිනමාවේ ලක්ෂණ ඇතුළත් ‘අංජලිකා’ වගේම චිත්‍රපටයක් නැවත කරන්න කියලයි. ‘සඳ දිය සළු’ කියන්නේ ඒ වගේම චිත්‍රපටයක් කරන්න දැරූ උත්සාහයක්. මේ චිත්‍රපටය ඊටත් වඩා ආදරණීය, සුන්දර කතා තේමාවක් සහිතයි. කෙටියෙන් කියනවා නම් කොන්දේසි රහිත සුන්දර ආදර කතාවක් සහිත ‘සඳ දිය සළු’ චිත්‍රපට කතාව මෙතෙක් මා අතින් ලියැවුණු මම කැමතිම කතාවයි.”


රංගන දිවියේ තිස් වසරක්, එයිනුත් වසර විස්සක්ම අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙරට කලා ක්ෂේත්‍රයේ සලකුණක් තැබූ ඔබේ වැඩි කැමැත්ත රංගනයටද? අධ්‍යක්ෂණයටද?

“මම වෘත්තිමය රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක්. ඒ සියලුම කාර්යයන්හි මම යෙදුණේ ඉතාම සතුටින් සහ මා සතු උපරිම හැකියාවෙන්. ඒ නිසා මෙතෙක් කිනම් ආකාරයෙන් හෝ මා දායක වූ හැම කලා නිර්මාණයකටම මම කැමතියි.”


වසර 30ක් එක ලෙසම ජනප්‍රියතාව, ප්‍රේක්ෂක ආදරය පවත්වා ගැනීම වෘත්තිය රංගනවේදියකුට අභියෝගයක් නොවන්නේද?


“අභියෝගවලට මම හරිම කැමතියි. අභියෝග තමයි මගේ ජීවිතේ ඉදිරියට ගෙන යන ශක්තිය. අභියෝගය අභියෝගයක් විදිහට බාරගත්තොත් තමයි එය අභියෝගයක් වෙන්නෙ. මම කරන දේ උපරිමයෙන් හරියටම කරනවා. ඒ නිසා වෙන්න ඇති තාමත් එදා වගේම මට ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳී ඉන්නෙ. මගේ රංගන ජීවිතයේ මට වැඩිපුරම ලැබුණේ පෙම්වතාගේ චරිතය. පෙම් වරිත නිරූපණය පහසු දෙයක් නෙවෙයි. ඒකත් කලාවක්. මම ඒ චරිතවලට සාධාරණය ඉටු කළ නිසා වෙන්නැති දිගින් දිගටම එවැනි චරිතම මට ලැබුණේ. ඒ අතර මට ‘සෙනසුරු මාරුව, ‘ගංදෑල නිසලයි‘, ‘තිමිර පව්ව‘, ‘රතු අහස‘ වගේ ටෙලි නාට්‍යවල වෙනස් චරිතත් ලැබුණා. ඒවාට සම්මානත් ලැබුණා. නමුත් මම දැන් ටෙලිනාට්‍ය රංගනය බොහොම සීමා කර තිබෙනවා. ඉතාම හොඳ චරිතයක් ලැබුණොත් පමණක් රඟපානවා. මම එවැනි හොඳ චරිත පිපාසයකින් සිටින්නේ.”


දශක 3ක් කලා ජීවිතය තුළ තමා කලාවට දායක කළ, කලාවෙන් තමා ලද දෑ පිළිබඳ ප්‍රවීණ රංගන ශිල්පී චන්න පෙරේරා පැවසුවේ මෙවැන්නකි.


“මම හැමවිටම උත්සාහ කළේ කලාව තුළ අලුත් යමක් කිරීමයි. තවම මම අධ්‍යක්ෂණය කර තිබෙන්නේ චිත්‍රපට 4ක් පමණයි. ජීවිතේ මට හැමදෙයක්ම ලැබුණේ කලාව නිසයි. කලාව නිසා චන්න පෙරේරා මේ රටේ එක්තරා සලකුණක් වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලැබුණා. සම්මාන කියන්නෙ කිහිපදෙනෙක්ගේ අදහස් මත තීරණය වන දෙයක්. නමුත් අදටත් එදා වගේම රසිකයන් මට දක්වන ආදරය වෙලාවකට ඇස්දෙකට කඳුළු ගෙනන තරම් සංවේදියි. ඒ නිසා මම කලාවට අසීමිතව ආදරෙයි.”


ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය වන ‘අංජලිකා’ චිත්‍රපටය මෙවර සිනමාව තුළ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේ ජනප්‍රිය නළුවාට හිමි සරසවි සම්මානයත් හොඳම අධ්‍යක්ෂණයට හිමි OCIC සම්මානයත් හිමිකර දෙමිනි. විදේශීය රංගන ශිල්පිනියන් මෙරට සිනමා නිර්මාණවල ප්‍රධාන චරිතය සඳහා යොදාගැනීමේ ප්‍රවණතාව ‘අංජලිකා‘ හරහා ඇති කළේද චන්න පෙරේරාය.


“‘අංජලිකා’ මම හැදුවේ විශාල පිරිවැයක් දරලා. අපේ වාණිඡ සිනමාව එක්තරා ප්‍රමිතියකට ඔසවා තැබූ එය ආකර්ෂණීය සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව විචාරකයන්ගේ පවා අදහස වුණා. එසේ නම් අංජලිකාගෙන් පසු ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න, එතැනින් උඩට ඔසවා තැබීමේ වැදගත්කමත් ඒ ඔස්සේ මතුවුණා. ‘අංජලිකා’ තුළින් ඒ තත්ත්වය ඇතිවීමම යහපත් ප්‍රවණතාවක් නේද?” ඔහු කීවේ ළගන්නාසුලු මඳහසිනි. ඒ සිනහවට ඔහුගේ රසික රසිකාවියන් වසඟවීම අරුමයක් නොවේ. සිනමා දිවියට දශක තුනක් ගතවද්දීත් අදටත් තිරයේ ආදරවන්තයා වීමේ රහස නොවිමසාම බැරිය.


“ මම මේ මොහොත තුළ ජීවත් වෙන කෙනෙක්. අතීතය ගැන පසුතැවීමක් හෝ අනාගතය ගැන බයක් නැතිව හැම මොහොතම සතුටින් ඉන්න, මා ළඟ ඉන්න අයවත් සතුටින් තියන්න උත්සාහ කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මේ දක්වා මට සහයෝගය ලබාදුන් සියලුම මාධ්‍ය හිතවතුන්ටත් මගේ රසික රසිකාවියන්ටත් හදවතින්ම ස්තුතිවන්ත වනවා.”