ඩිලාන් කාඩ් කුට්ටමේ ජෝකර් වගෙයි - වෙල්ගම බදුල්ලේදී


කාඩ් කුට්ටමේ ජෝකර් කොළ නමින් කිසිම වැඩකට නැති කොළ දෙකක් ඇතැයිද ඩිලාන් පෙරේරාද කාඩ් කුට්ටමේ ජෝකර් වගේ යැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් හාලිඇළ කිරින්ද ප්‍රදේශයේදී පසුගියදා පැවැති ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

දැන් සමහරු කියනවා මම අතුරුදන් වෙලාය කියලා. මම අතුරුදන් වෙලා නෑ.

මම හාලිඇළත් ඉන්නවා. බදුල්ල දිස්ත්‍රික්කය පුරාමත් ඉන්නවා. හැබැයි ඩිලාන් පෙරේරා හැම තිස්සෙම මාව හොයනවා. නිතරම මං ගැන හොයන්නේ මට තියෙන බයටයි. ඩිලාන් පෙරේරා වෙල්ගමට පුදුම විදියට බයයි. මට බය වෙන්නේ මේ දිස්ත්‍රික්කයේ හරි නායකත්වයක් නැති නිසයි. එතුමා දන්නවා කවදා හරි එතුමාට අභියෝගයක් වෙන්නේ මේ කුමාර වෙල්ගම බව. ඒ නිසයි හැම වෙලේම වෙල්ගම කෝ වෙල්ගම කෝ කියා මාව හොයන්නේ. මම බදුල්ලට ආව දා ඉඳන්ම ඩිලාන් පෙරේරාට රෑට නින්ද යන්නේ නෑ. මොකද රෑට හීනෙනුත් දකින්නේ මාව. හීනෙනුත් අහන්නේ වෙල්ගම ගැන. තමන් ජනතාව එක්ක ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ.

නොමිනේෂන් දෙන්න ඇවිල්ලත් ඩිලාන් ඇහුවෙ මා ගැන. නොමිනේෂන් දෙන්න මම යන්න ඕන නෑ. මම යවන්නේ මගේ ගෝලයන්ව. ඩිලාන් පෙරේරා නොමිනේෂන් දෙන්න ආවෙත් මහ ඇමැතිතුමා එක්ක. මේ හාලිඇළ කවුරුවත් එතුමා එක්ක හිටියෙ නෑ. හිටියේ මහ ඇමැතිතුමාගේ කට්ටිය. එයාට හාලිඇළ මිනිස්සුවත් නෑ. මට නම් හැම තැනම ජනතාව ඉන්නවා. කළුතර වගේම බදුල්ලත් දැන් මගේ ගම වගේ.

ඩිලාන් කියන්නේ කාඩ් කුට්ටමේ ජෝකර් වගේ කෙනෙක්. කාඩ් කුට්ටමේ ආසියා - හේරා - පොරෝ - බූරු ඔක්කොම ඉඳිද්දි වැඩකට නැති කොළ දෙකක් තියෙනවා. ඒ ජෝකර්ලා. ඩිලානුත් ඒ ජෝකර් වගේ. හැමදාම කරන්නේ ආණ්ඩුවේ නායකයන්ට කියාගන්න බැරි දේවල් ජනතාව ඉදිරියේ කියන එකයි. එයා ඡන්දයක් ඉල්ලලා කවදාවත් පාර්ලිමේන්තුවට එන්න බැරි කෙනෙක්. එයා එක්ක මට තරගයක් නෑ. මම ඩිලාන් පෙරේරාට අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ ඡන්දෙදි චිට් එකෙන් එන්නේ නැතිව තරග කරලා දිනන්න කියලා.

ඇටම්පිටිය - රත්න වීරසිංහ
Previous Post Next Post