හත්වෙනි මනාලි ටෙලියේ පළමු මනාලිය – චනුෂි දෙව්මිණි

gossiplanka image 1
 



‘හත්වෙනි මනාලි’ ටෙලි නාට්‍යයේ පළමු මනාලිය ඇයයි. මානසි නමින් මේ දවස්වල පුංචි තිරයේ බොහොම ජනප්‍රිය චනුෂි දෙව්මිණි, වේදිකාවේත් කට්ට කාපු චරිතයක්.බිස්නස් මැනේජ්මන්ට් උපාධියක් ලබාගෙන කලාව රැකියාව ලෙස තෝරාගත් චනුෂි, ඒ ගැන කිව්වෙ මෙහෙම කතාවක්.


‘හත්වෙනි මනාලි’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මාව යෝජනා කරන්නෙ අනෝමා කුමුදුනී මහත්මිය. ඉන්පස්සෙ ප්‍රදීප් මානවඩුගේ අයියා මට කතා කරල කිව්වා ‘හත්වෙනි මනාලි’ ටෙලි නාට්‍යයේ පළමුවැනි මනාලි වෙනුවෙන් ඔයාව තෝරාගෙන තියෙනව කියල. ඒ අනුව අපි කතා බහ කරල චරිතය මම භාර ගත්තා.


මානසි කියන්නෙ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා පවුලේ අයත් එක්ක එකතුවෙලා ජීවත් වෙන හරි අහිංසක, තැන්පත් චරිතයක්.


රවීන් අයිය එක්ක රඟපාන්න තියෙනව කියල දැනගත්තාම මුලදි පොඩි චකිතයක් වගේ ඇති වුණා. මොකද එයා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තියෙන කෙනෙක් නිසා. නමුත් ඇත්තටම කියන්න සතුටුයි, රවීන් අයියගෙන් මගේ චරිතය ගොඩනගාගන්න මාරම ලොකු සපෝට් එකක් ලැබුණා.


ඒ වගේම ‘හත්වෙනි මනාලි’, මම මෙතෙක් රඟපෑ ටෙලි නාට්‍ය අතරින් වෙනස්ම නිර්මාණයක්. ඒකෙ ටීම් එක මාර විදිහට දැනෙනව. ප්‍රඩක්ෂන් ටීම් එක වගේම රංගන ශිල්පීන් සියලු දෙනාත් හරි සපෝටිව්. ෂූටිං ඩේට්ස් දීපු ගමන් අපි හරි ආසාවෙන් යන්නෙ ඒ වැඩේට.


මානසි ගැන වගේම මං ගැනත් කිව්වොත්, චනුෂි දෙව්මිණී කියන්නෙ හරි සරල, නිහතමානී කෙනෙක්. නුවර ගැහැනු ළමයෙක්, ඩාන්සිං ගුරුවරියක්, හරිම චාම්. මේ ලක්‍ෂණත් එක්ක මානසි සහ මගේ සැබෑ චරිතය අතර යම් සමානකමක් තියෙනව කියලත් කියන්න පුළුවන්.


වේදිකාවෙන් ගමන පටන්ගන්න මම 2025 රාජ්‍ය නාට්‍ය උළලේදි හොඳම නිළියට හිමි කුසලතා සහතිකයක් ලබාගන්නව. ඒ රවිඳු සම්පත් වික්‍රමසේකර රචනා කොට, ගයාන් සඳකැළුම් අධ්‍යක්‍ෂණය කළ ‘මේක ආදර කතාවක්’ හි සාරාගේ චරිතය වෙනුවෙන්. මේ ජයග්‍රහණයත් එක්ක ටෙලි නාට්‍ය වෙනුවෙන් මට ආරාධනා ලැබෙන්න පටන්ගන්නව.


මගේ ගම සීදුව. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, දවිසමර විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලබාගෙන ප්‍රයිවෙට් කැම්පස් එකකින් බිස්නස් මැනේජ්මන්ට් උපාධිය ලබාගන්නව.


උසස් පෙළ විෂයන් අතර නාට්‍ය හා රංගකලාව හදාරන මට ඉදිරියට එන්න අවස්ථාව ලැබෙන්නෙ අඛිල සපුමල් සර්ගෙ වේදිකා නාට්‍ය තුළින්.


වේදිකා නාට්‍ය කියන්නෙ අපි හම්බ කරන්න ජොබ් එකක් විදිහට කරන දෙයක් නෙමෙයි. හරිම ආසාවෙන් ඕඩියන්ස් එකත් එක්ක සජීවීව සම්බන්ධ වෙමින් අපේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක් කිව්වොත් නිවැරදියි.


මගේ පළමු වේදිකා නාට්‍යය වුණේ අඛිල සපුමල් සර්ගෙ ‘ඊඩිපස්’. ඉන් පස්සෙ ‘සාකුන්තලය’, ‘රැඩිකල් ප්‍රේමයක්’, ‘රතුරෝස මල’ යන වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මේ දවස්වල ‘මේක ආදර කතාවක්’ සහ ‘මිනිහ තමයි මිනිහ’ යන වේදිකා නාට්‍ය දෙකත් එක්ක රට වටා දර්ශනවාර වලට සම්බන්ධ වෙනව.


මේ අතර මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය හතරක් විකාශය වෙනව. හත්වෙනි මනාලිය, හිරිපොද වැස්ස, හඳට හැතැක්මයි සහ සෙල්ලක්කාරයෝ.


පුද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් තමයි මගේ උපාධියේ වැඩකටයුතුත් කරගෙන ගියේ. ඒ අතර වේදිකාවේ නිර්මාණවලටත් සම්බන්ධ වුණා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනා, මේ වැඩවලට මට ආයතනයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. කාලයත් එක්ක මට දැණුනා මට සුදුසු, මම තෝරාගත යුත්තේ කලාව කියල. ඉතිං පසුගිය මැයි මාසයේ මම රැකියාවෙන් ඉවත්වෙලා පූර්ණ වශයෙන්ම කලාවට යොමු වෙන්න තීරණය කළා. අද වනවිට මම වෘත්තීයමය රංගන ශිල්පිණියක්.


ඇත්තටම ජොබ් එකෙන් ඉවත් වෙනකොට රිස්ක් එකක් තිබුණා. මොකද ජොබ් එක නිසා ස්ථිර ආදායමක් මට තිබුණ නිසා. මේ අතර ගෙදරිනුත් කිව්වා ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියල.


නමුත් අද වෙනකොට මගේ පවුලේ අයත් ගොඩක් සතුටින් මම රඟපාන නිර්මාණ බලනව. මේ දේවල් එක්ක එදා මම ගත්ත තීරණය නැවැරදියි කියල අද මට හිතෙනව.


ශාන්ත බණ්ඩාර මහත්මයාගෙ අලුත් චිත්‍රපටයට වගේම ‘ගෝ ටු ජපන්’ කියන කෙටි චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබිල තියෙනව.


ඉදිරියේදී රංගනය පැත්තෙන් තැනකට එන්න වගේම මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසක් තියෙනව. අපි බලමු ඉතින් ඒක මොන විදිහට වෙයිද කියල.


මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මට මේ මේ විදිහේ කැපිලි කෙටිලි තිබුණා කියල. නමුත් මට මේ තාක් එවැනි දේකට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ.


ගැහැනු ළමයි විශේෂයෙන්ම විලාසිතාවලට ආසයි, කැමතියිනෙ. ඒ වුණාට ඇත්තටම මම විලාසිතා ගැන වැඩි උනන්දුවක් නැහැ.


මුල් කාලෙ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙද්දි මට හිතුනා දවසක මාලිනී ෆෝන්සේකා මහත්මිය වගේ හොඳ නිළියක් වෙන්න ඕනා කියල. දැන් ඒක තමයි මගේ එකම අරමුණ.


මම නිතරම කැමතියි විවිධ චරිත කරන්න. ඉතිං අමුතුම චරිතයක් දුන්නත් මම ඒකත් කරනව. නමුත් චරිතය සහ ඇඳුම් පැළඳුම් අනුව පොඩි තෝරාබේරා ගැනීමක් කරනව. චරිතය හොඳයි නම්, ඉදිරියේදී බිල්ඩප් වෙනව නම් අකමැත්තක් නැතිව භාර ගන්නව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post