දේශපාලන මතවාදයක් දරමින්, පෞද්ගලික ජීවිතයට වඩා රටට, ලෝකයට සහ තමන් ජීවත් වන ප්‍රදේශයට විය යුතු යුතුකම් වෙනුවෙන් පෙනී සිටින සුගත්ගේ හැසිරීම් නිසා ඔහුගේ පෞද්ගලික දිවියේ බොහෝ තැන් අසාර්ථක වන බව රංගජිත් පවසයි. තමන් තුළ ද යම් රැඩිකල් සහ වාමාංශික අදහස් පවතින බැවින් ඇතැම් අවස්ථාවලදී සිය චරිත ලක්ෂණ ද සුගත් තුළින් දැකගත හැකි බව ඔහු සඳහන් කරයි.
එස්. අයි. සමරක්කොඩි අධ්‍යක්ෂණය කරන මෙම ටෙලිනාට්‍යයට රංගජිත්ට ආරාධනා ලැබී ඇත්තේ ද අධ්යක්ෂවරයා සමඟ කුඩා කල සිට පැවති දැනහැඳුනුම්කම සහ විශ්වාසය මතය. ඔවුන් දෙදෙනා මීට පෙර ද නිර්මාණ කිහිපයක එකට වැඩ කර ඇති අතර, තමන්ට ගැළපෙන චරිතයක් 'සෙල්ලක්කාරයෝ' පිටපතේ ලියැවී තිබූ බැවින් සමරක්කොඩි මහතා එහි වගකීම තමන්ට පැවරූ බව ඔහු පවසයි.
ප්‍රවීණ රංගන ශිල්පීන් වන ප්‍රසන්නජිත් අබේසූරිය සහ නයනා හෙට්ටිආරච්චිගේ පුත්‍රයා වන රංගජිත් රංගනයට පිවිස ඇත්තේ තමන්ට හරිහැටි තේරුමක් නොමැති කුඩා අවධියේදීමය. මව්පියන්ගේ ආභාසය සහ මඟපෙන්වීම සිය රංගන දිවියට අනිවාර්යයෙන්ම බලපෑ බව පවසන ඔහු, මුලින්ම ආනන්ද අබේනායක මහතාගේ පෝය ටෙලිනාට්‍යවල රඟපා තිබේ. අනතුරුව වයස අවුරුදු තුනේදී පමණ ෂර්ලි පී. දෙලංකාවල මහතාගේ 'ඕලු' ටෙලිනාට්‍යයේ පවුලේ සාමාජිකයන් සමඟම රංගනයෙන් දායක වෙමින් සිය රංගන ගමන ආරම්භ කළ බව ඔහු සිහිපත් කරයි.
ඉන්පසුව ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ 'සමනලුන්ට වෙඩි තියන්න' සහ 'ඇහි පිල්ලමක් යට' යන ටෙලිනාට්‍යවලට ද ඔහු සම්බන්ධ විය. ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ 'තක්සලාව' ටෙලිනාට්‍යයේ ගොළු ළමයකුගේ චරිතය නිරූපණය කරමින් සුමති සහ සිග්නිස් ටෙලි සම්මාන උලෙළවලදී 'හොඳම ළමා නළුවා' සම්මානය දිනා ගැනීමට ද රංගජිත් සමත් විය. පසුකාලීනව 'ත්‍රෛලෝකා', 'අහස් මාලිගා', 'බැද්ද අද්දර' සහ 'වෛරෝඩි' වැනි ටෙලිනාට්‍යවල එකිනෙකට වෙනස් චරිත නිරූපණය කිරීමට ඔහුට අවස්ථාව හිමි විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරන සමයේදී ප්‍රවීණ රංගනවේදිනී රත්නා ලාලනී ජයකොඩි යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරූ ඔහු, ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්තගෙන් ද නාට්‍යකරණය ඉගෙන ගෙන තිබේ. පාසල් වේදිකාවේදී සමස්ත ලංකා මට්ටමින් 'හොඳම සහාය නළුවා' සම්මානය දිනාගත් රංගජිත්, බස්නාහිර පළාත් නාට්‍ය උලෙළවලදී ද සම්මානයට පාත්‍ර වී ඇත. එමෙන්ම 2024 යොවුන් නාට්‍ය උළෙලේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කළ 'සහරා නේරංජනා' නාට්‍යයේ හොඳම රංග වින්‍යාසකරණය වෙනුවෙන් ද ඔහු සම්මාන හිමිකර ගත්තේය.
වේදිකා නාට්‍ය කලාව පිළිබඳව රංගජිත් දක්වන්නේ දැඩි ඇල්මකි. රංගන ශිල්පියකු බිහිවීමට මූලික අත්තිවාරම වැටෙන්නේ වේදිකාවෙන් බවත්, රංගනය තුළ ප්‍රායෝගිකව මුවහත් වීමට මෙන්ම රංගන ශිල්පියා තුළ සිටින මිනිසාගේ මිනිසත්කම පෝෂණය වීමට වේදිකාව අතිශයින් වැදගත් වන බවත් ඔහු පෙන්වා දෙයි. පුහුණුව, රංග අභ්‍යාස, චරිත කියවා ගැනීම සහ අනෙකුත් ශිල්පීන් සමඟ ගනුදෙනු කිරීම පෝෂණය කරන හොඳම ස්ථානය වේදිකාව බව ඔහුගේ විශ්වාසයයි. වේදිකා නාට්‍යයක් පවත්වාගෙන යෑම අසීරු සහ අභියෝගාත්මක වුවද, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්රයෙන් කොතරම් ඉදිරියට ගියත් වේදිකාව අතහැරිය යුතු නැති බවත් තමන් හැමදාමත් වේදිකාවට ආදරය කරන බවත් ඔහු අවධාරණය කරයි.
රංගනය පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක හැදෑරීමේ වැදගත්කම අවබෝධ කරගත් රංගජිත්, මීට වසර තුනකට පෙර සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කර ඇත. ක්ෂේත්රය තුළ රැඳී සිටීමට සහ විවිධාකාර චරිත නිරූපණය කිරීමේ පරාසය පුළුල් කර ගැනීමට විෂය අධ්‍යයනය අත්‍යවශ්‍ය බව පවසන ඔහු, රංගන ආකෘති සහ දර්ශනයන් පිළිබඳව අදටත් හදාරමින් සිටින බව සඳහන් කරයි.
රංගනයට අමතරව අධ්‍යක්ෂණය කෙරෙහි ද කැමැත්තක් දක්වන ඔහු, විශ්වවිද්‍යාල අවධියේදී නාට්‍ය අධ්‍යක්ෂණය හා රචනය හදාරා ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර තිබේ. ඉදිරියේදී ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට අධ්යක්ෂවරයකු වීමේ අදහසක් තමන් තුළ පවතින බව ඔහු පවසයි.
මේ දිනවල බුද්ධික ලොකුකැටිය අධ්‍යක්ෂණය කරන 'වෛරෝඩි' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහ වේදිකා නාට්‍ය පහක රංගන කටයුතුවලට දායක වන රංගජිත්, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ 'චන්ද්‍ර මඬුලු යට' ටෙලිනාට්‍යය ඔස්සේ සිය සුවිශේෂී රංගනයක් ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇති බව ද සතුටින් ප්‍රකාශ කරයි.
ENGLISH SUMMARY: Young Sri Lankan actor Rangajith Abeysuriya, currently portraying the radical youth character Sugath in director S. I. Samarakkody’s teledrama Sellakkarayo on Jathika Rupavahini, has shared insights into his acting journey and deep passion for stage drama. The son of veteran actors Prasannajith Abeysuriya and Nayana Hettiarachchi, Rangajith began acting as a child in Ananda Abenayake’s Poya teledramas and Shirley P. Delankawala’s Olu. He later won Best Child Actor at both the Sumathi and SIGNIS Tele Awards for playing a mute child in Thaksalawa, and appeared in dramas including Samanalunta Wedi Thiyanna, Ahi Pillamak Yata, Thrailoka, Ahas Maliga, Badda Addara, and Wairodi. Educated at Royal College, Colombo, where he studied drama under Rathna Lalani Jayakody and Chamika Hathlahawatte, Rangajith graduated three years ago in Drama and Theatre from the University of the Visual and Performing Arts and won Best Choreography for Sahara Neranjana at the 2024 Youth Drama Festival. Having also completed a Diploma in Direction at the National Film Corporation, he aspires to direct teledramas or films. Currently filming Buddhika Lokuketiya’s Wairodi and performing in five stage plays, he will next be seen in Priyantha Colombage’s Chandra Madulu Yata.