මං ලංකාවට ආවේ ධර්මයුද්ධය නිසා- තිසුරි යුවනිකා

gossiplanka image 1
 

ඇය නමින් තිසුරි යුවනිකා මද්දුම ලියනගේයි.ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණියයි. තම මවගේම දියණියක ලෙස රංගනයෙන් දායක වෙමින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇය එකතු වන්නේ වයස අවුරුදු තුනේදීය. වයස අවුරුදු දහයේ දී සුදත් දේවප්‍රිය විසින් අධ්‍යක්ෂණය කළ “උඩුගං යාමය” සිනමාපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඇය සිය රංගන ජීවිතයේ ලද ප්‍රථම සම්මානය වූ ජනාධිපති කුසලතා සම්මානය ලැබුවාය. ඉන් ඇරඹුණු ඇගේ රංගන ජීවිතයේ, “සුළඟ මත මොහොතක්” හී “චාරුලතා” මුද්‍රාවකි. එසේම ඇගේ ප්‍රේක්ෂකයින්ට ඇය තවමත් “මිණි ගං දෑල” හී “සෙදෝනා”ය. අවසරයි පියාඹන්න, තූරයා, මුතු පලස, ආදරයේ සුවඳ අරන්, ඔබ නිසා, වලාකුළු දොරින් ගලනා, සඳ සඳ වගේ වැනි ටෙලිනාට්‍ය රැසක ද ඇගේ රංගන කුසලතාවයන් ඇය මොනවට විදහා දැක්වූවාය. උඩුගං යාමය, මචං, දරුවනේ, ස්පන්දන, නිදහසේ පියා ච්ඉ සහ ධර්ම යුද්ධය වැනි සිනමාපට තුළින් ඇය පුළුල් තිරයෙන් ද ප්‍රේක්ෂකයින් හමු වූවාය. ඉන් ධරම යුද්ධය සිනමාපටයේ “අචිනි” ලෙස ඇය නිරූපණය කළ චරිතය ප්‍රේක්ෂකයින් තුළ ප්‍රබල මතක සටහනක් තැබීමට සමත් විය. 2017 වසරේ සරසවිය හොඳම නැගී එන සිනමා නිළිය සම්මානය ඇයට හිමි වන්නේ එම චරිත නිරූපණයටයි.එසේම හොඳම නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙස ද හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස වසර කිහිපයක් ද ඇය සම්මානයට පාත්‍ර වන්නීය. සිය මවගෙන් ලැබූ ආභාෂය තුළින් තමන්ටම ආවේණික රංගන ශෛලයක් තුළ සිය ප්‍රතිභා පූරණ රංගන කෞශල්‍යය ලාංකේය රංගන ක්ෂේත්‍රය තුළ අපූරුවට ස්ථානගත කළ ඇය, අද සරසවිය සමග පිළිසඳරේ යෙදෙන්නේ තරමක කාලයකට පසුයි.


තිසුරි කාලෙකින් නේද ලංකාවට ආවේ?


ඔව්. අවුරුදු එකහමාරකින් වගේ තමයි මේ සැරේ ලංකාවට ආවේ.


මේ වතාවේ අලුත් අමුත්තෙකුත් ඔයාත් එක්ක ආවා කියලා ආරංචියි?


ඔව්. මගේ පුංචි දියණියත් මම මේ සැරේ ලංකාවට එක්කගෙන ආවා.ඉතින් එයා තමයි මේ සැරේ මගේ තනියට ආවේ. මොකද, සුරාජ්ට ඔහුගේ රැකියාවේ රාජකාරිමය කටයුතු නිසා මාත් එක්ක ලංකාවට එන්න බැරිවුණා. ඔහු එන්නේ තව ටික දවසකින්.ඒ නිසා මටයි දුවටයි තනියම තමයි එන්න සිදු වුණේ.


ඒ අත්දැකීම මොන වගේද?


ඒක අලුත් වගේම ලොකු වගකීමක් සහිත අත්දැකීමක්. මගේ දුව තාමත් ගොඩක් පුංචි නිසා ඇත්තටම මම ටිකක් බය වෙලා හිටියේ එයත් එක්ක ටතර කරන්න උණ එක ගැන. එයාගේ ආරක්ෂාවට සහ එයාගේ ඕනෑ එපාකම් වලට තමයි මම හැම වෙලාවෙම මේ ගමනේ දී මුල් තැන දුන්නේ. සුරාජ් වගේම සුරාජ්ගේ අම්මලත්, මගේ තාත්තාත් හරිම චකිතයකින් තමයි හිටියේ අපි කටුනායකට එනකම්.පුංචි බබෙකුත් එක්ක ගුවන් තොටුපොළේ දේවල් කරගන්නේ කොහොමද කියන එක මටත් ගැටලුවක් වෙලා තිබුණා.ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ හැමදේම මට හොඳීන් කරගන්න පුළුවන්කම ලැබුණා. දුවත් මට පුංචි කරදරයක්වත් කළේ නෑ.


ඒ කියන්නේ තිසුරි හදිස්සියේම ලංකාවට ආවේ විශේෂ වැඩකටද?


ඔව්. මෙවර මම ලංකාවට ආවේ ධර්ම යුද්ධය තුන්වෙනි සිනමාපටයේ රූපගත කිරීම් සඳහා. කොහොමටත් දුවව තාත්තාටත් සුරාජ්ගේ අම්මාලාටත් පෙන්නන්න එයා තව චුට්ටක් ලොකු උණහම ලංකාවට එන්න තමයි හිටියේ. ඔය අතරේ තමයි ධර්ම යුද්ධය අලුත් සිනමාපටයේ රූපගත කිරීම් සඳහා මට ආරාධනා කළේ. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට මම රංගන ශිල්පිනියක් කියන භූමිකාවෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා හිටියේ.මගේ රුචි අරුචිකම්, ව්‍යායාම, ආහාර පාලනය වගේ හැම දෙයක්ම මං මගේ දුව වෙනුවෙන් කැප කරලයි තිබුණේ. ඒ මොහොතේ දී රංගනයට එකතු වෙන්න මගේ මනසවත් ශරීරයවත් කිසිසේත්ම සූදානම් වෙලා හිටියෙත් නැහැ. ඒත්, මේ සිනමාපටය කතා මාලාවක් විදිහට යන නිසා, වෘත්තිමය රංගන ශිල්පිනියක් විදිහට මට සිනමාපටය ගැන හිතන්න සිදු වුණා.ඉතින් ඒ නිසා තමයි මේ වෙලාවේ ලංකාවට ආවේ.


තිසුරිට ආදරය කරන ප්‍රේක්ෂකයින් කැමති වෙයි, තිසුරිගේ පුංචි දියණිය ගැනත් විස්තර ටිකක් දැනගන්න.


මගේ දියණියගේ නම මොආනා විජේසිංහ.”මොආනා” කියලා කියන්නේ සාගරයට සම්බන්ධ වචනයක්. මගේ සැමියාත්, මගේ තාත්තාත්, සැමියාගේ තාත්තාත් සාගරයට සම්බන්ධ රැකියාවල් කරන නිසාම අපි හිතුවා ඒ ලස්සන නම එයාට දාන්න.දැන් එයාට වයස මාස හයයි. දවසින් දවස පුංචි පුංචි දේවල් ඉගෙන ගනිමින් එයා චුට්ට චුට්ට ලොකු වෙන දිහා අපි බලන් ඉන්නවා. ඇත්තටම කිව්වොත්, මට වෙලාවකට එයා ලොකු වෙන එක ගැන ලෝභකමක් දැනෙනවා.දරුවෝ ලොකු වෙන එක දෙමව්පියන්ට සතුටක්, සැනසීමක් තමයි. ඒත් මට වෙලාවකට හිතෙනවා, අනේ මේ හුරතල් කාලේ එතකොට නැතුව යනවනේ ; මේ කාලේ නැවත එන්නේ නෑනේ කියලා.ඒ තරමට එයාගේ මේ පුංචි කාලයට මම හරි ලෝබයි.එයා ඉපදුණ දවසේ ඉඳන්ම එයාගේ හැම දෙයක්ම කලේ මමයි මගේ සැමියයි.සුරාජ් රැකියාවට ගියාට පස්සේ මම තමයි දවස පුරාම දුවත් එක්ක ඉන්නේ.සමහර වෙලාවට මම ගෙදර වැඩ කරන්නෙත් එයාව වඩා ගෙනයි.


කුලුඳුලේ අත්විඳීන මව් පදවිය ඔබට දැනෙන්නේ කොහොමද?


ඒකනම් කියන්න බැරි තරම් උත්තරීතර සංවේදී හැඟීමක්. මම විවාහ වෙලා වසර හතකින් තමයි මගේ දුව ඉපදුණේ. මම විවාහ වුනේ 2018.ඊට අවුරුදු දෙකකට පස්සේ මගේ අම්මා අසනීප වුණා. අම්මගේ ඒ අසනීපයත් එක්ක මම ඇය වෙනුවෙන්ම මගේ කාලය කැප කළා.ඇත්තටම මට එදා හිතුණා, දරුවෙක් හිටියොත් අම්මාගේ වැඩකටයුතු ටික හරියට කරන්නේ බැරිවෙයි කියලා. අනිත් අතට, අම්මාගේ අසනීපයත් එක්ක දරුවෙකුගේ වැඩකටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් මට තිබුණා. ඒ නිසා දරුවෙක් ගැන හිතන එක අපි ටිකක් පස්සට තියලයි තිබුණේ. අනෙක් අතට,අම්මාගේ අසනීපයත් එක්ක ජීවිතයේ බැඳීම් ගැන මම හරි ගැඹුරට හිතුවා. අදටත් මට අම්මාව අතහැර ගන්න බැහැ. ඇගේ මතකයෙන් මිදෙන්න බැහැ. අපි කොච්චර දරුවෝ හැදුවත්, කවදා හරි දවසක දරුවෝ දෙමව්පියන්ව දාලා ඈතට ඉගිලිලා යනවා. ඒක තමයි සොබා දහම.අපි වුණත් එහෙමයි; අපේ දරුවොත් එහෙමයි.මම මේ කියන දේ එකිනෙකාට සාපේක්ෂයි. ඒත්, හුඟක් වෙලාවට ඇත්ත ඒකනේ. අම්මාගේ අසනීපයත් එක්ක බැඳීම්වලින් බැඳෙන්න මගේ හිත ටිකක් පසුබෑවා කියලා මට හිතෙනවා.ජීවිතේ එක තැනකදී මම අම්මාට කිව්වා “අම්මේ මම බබෙක් හදන්නේ ඔයා හොඳටම සනීප උණාට පස්සෙයි” කියලා. අම්මා මටයි තාත්තටයි සුරාජ්ටයි පුදුම විදිහකට බැඳීලා හිටියේ. ඒ අතරට තව බැඳීමක් එයාට දෙන්න මට ඕන කමක් තිබුණේ නැහැ. අම්මාත් ඒක පිළිගත්ත නිසා වෙන්න ඇති, දරුවෙක් හදන්න කියලා අම්මා මට කවදාවත් බලපෑම් කලේ නැහැ. තාත්තා තමයි ටිකක් හරි ඒ ගැන හිතන්න කියලා කිව්වේ. මාව සුරාජ්ට භාර දීලා, තාත්තාව අපි දෙන්නට බාර දීලා එයා නිදහසේ එයාගේ ගමන ගියා. මගේ දුව දැක්කා නං අම්මට ඒ නිදහස නැතිව යනවා.ඒ නිසා මගේ දුවව අම්මාට දකින්න ලැබුණේ නෑ කියන දුක මගේ හිතේ අදටත් නැහැ.


මව් පදවිය කියන්නේ මොකක්ද කියන එක මම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්.මගේ අම්මා කියලා කියන්නේ මට මගේම ජීවිතය වගේ.එයාගේ ජීවිතයේ මම නැති කිසිම දෙයක් කිසිම තැනක් තිබුණේ නැහැ. අම්මා එයාගේ වෘත්තිය ජීවිතය තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන හිටියා වගේම මවක් විදිහට එයාගෙන් පුංචි අඩුපාඩුවක්වත් මට වෙන්න එයා ඉඩ තිබ්බේ නැහැ.මම හැම වෙලාවෙම මගේ දුවට දෙන්න උත්සහා කරන්නේත්,මගේ අම්මා මට දීපු ආදරය, රැකවරණය, ආරක්ෂාව වගේ හැමදේම එකතු වුණු මහා විශාල හැඟීමකින් පරිපූර්ණ වූ ආදරයක්.


මගේ දුව මගේ ජීවිතයට ආශිර්වාදයක් කියලයි මම හිතන්නේ. මම මවක් උනේ සැලසුම් කරලා නෙමෙයි. මවක් වෙන්න ඕනි කියල හිතපු වෙලාවකදිවත් නෙමෙයි.ඒ වුණාට ,ලෝකයේ කොහේ හරි තැනක ඉඳන් එයා අපි දෙන්නව හොයාගෙන ආවා. අපේ මුළු ජීවිතේම වෙනස් කළා.දැන් මටයි සුරාජ්ටයි එයාගෙන් තොර ලෝකයක් නැහැ.එයා අඬද්දි එයාට බඩගිනි වෙද්දි එයාට රිදෙද්දි මට ඒක දැනෙනවා. මට රිදෙනවා.ඒක හරි පුදුමාකාර හැඟීමක්. ඒකට සම කරන්න පුළුවන් කිසිම හැගීමක් මේ ලෝකෙ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපේ ශරීරයේ කොතැනක හරි තුවාලයක් වුණොත්,අපිට වේදනාවක් දැනෙනවනේ;අපිට රිදෙනවානේ. දරුවෙක් කියලා කියන්නේ,වෙනම පුද්ගලයෙක් විදිහට ලෝකය තුළ හැදුණට වැඩුනට මවකගේ ශරීරයේම කොටසක්. දරුවෙක්ට රිදුනහම ඒක වැඩිපුරම දැනෙන්නේ අම්මා කෙනෙකුට. අම්මා කෙනෙක් සහ දරුවෙකු අතර තියන සම්බන්ධතාවය ඇතිවෙන්නේ පෙකෙණි වැල හරහා විතරක් නෙමෙයි. ලේ මස් ඇට නහර සිතුම් පැතුම් මේ සියල්ලක් තුළින්ම දරුවෙක් සහ මවක් අතර දැඩි බැඳීමක් ඇතිවෙනවා.මම දැන් ඒ සුන්දර හැඟීම විඳීමින් ඉන්නවා.ඒක තමයි මං හිතන විදියට මාතෘත්වය කියලා කියන්නේ.


කොහොමද ඔබ මව් පදවියේ අභියෝගයට මුහුණ දුන්නේ ?


මම පවුලේ එකම දරුවා වුණාට කිසිම වෙලාවක මගේ අම්මා මාව සීනි බෝලයක් වගේ හැදුවේ නැහැ. වාහනයක යන්න වගේම බස් එකක යන්නත් පුරුදු වෙන්න ඕනේ කියන අදහස අම්මගේ හිතේ තිබුණා.අම්මා හැම වෙලාවෙම කිව්ව දෙයක් තමයි,තමන්ගේ වත්කමට වඩා අඩුවෙන් වියදම් කරන්න පුරුදු වෙන්න කියන එක. ඒ වගේම එයා මට ඒක පුරුදු කළා. පොළොවේ පය ගහලා ඉන්න හැටි කියලා දුන්නා.


අනිත් කාරණය, අම්මාගේ අසනීපයත් එක්ක මම ගොඩක් ශක්තිමත් වුණා. ඒ වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක සුරාජ්ට ලංකාවට එන්න බැරිවෙලා තිබුණේ.ඒ නිසා මටයි තාත්තාටයි තනිවම ඒ හැමදේටම මුහුණ දෙන්න සිද්ධ වුණා. අත්දැකීම තුළින්ම මම හුඟක් දේවල් ඉගෙන ගත්තා.ඒ ලැබුණු පන්නරය ජීවිතයට පසු කාලීනව හොඳ ශක්තියක් වුණා කියලා මට හිතෙනවා. ඇත්තටම දුව ඉපදෙන්න ඉන්නවා කියලා දැනගත්තාම සුරාජ්ගේ අම්මා ගොඩක් බය වුණා , මටයි සුරාජ්ටයි මේ දේවල් තනියම කරගන්න බැරිවෙයි කියලා.එයාලා අපි ළඟට එන්න උත්සාහා කළත් , ප්‍රායෝගික හේතූන් කීපයක් නිසා එයාලට එන්න බැරි වුණා. නමුත් මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා, මේ දේවල්වලට අපි දෙන්නට තනියම මුහුණ දෙන්න පුළුවන් කියලා.


මට එහෙම හිතෙන්න ප්‍රධානම හේතුව වුණේ සුරාජ්.සුරාජ් තමයි ඇත්තටම අම්මාටයි තාත්තාටයි පස්සේ මගේ ජීවිතයේ ඉන්න ලොකුම ශක්තිය; ලොකුම සෙවණැල්ල.මම ජීවිතයේ මොන ප්‍රශ්නයකට මුහුණ දුන්නත් ඒ හැම වෙලාවකදීම එයා මගේ ළඟින්ම ඉන්නවා කියන එක මම දන්නවා. මගේ ඕනෑම ප්‍රශ්නෙකට විසඳුමක් පිළිතුරක් එයා ළඟ තියෙනවා. සුරාජ් මට දෙන සහයෝගය කිසිම කෙනෙකුට දෙන්න බැහැ කියලා මම මගේ අම්මා තාත්තා එකත් කියලා තියෙනවා. අදටත් ඒක එහෙම තමයි.මගේ දුව ඉපදුණේ සිසේරියන් සැත්කමකින් පස්සේ. ඉතින් ඒ අවස්ථාවට මුහුණ දුන්නු අම්මලා දන්නවා ඒ වේදනාව කොයි වගේද කියලා. කිසිම වැඩිහිටියෙක් නැතුව විදෙස් රටකදී තනියම කුලුඳුලේ දරුවෙක් බිහි කරනවා කියන දේ කිසිසේත්ම පහසු නැහැ.එහෙම වුණා කියලා කිසිම වේලාවක මට පීඩනයක් ඇතිවෙන්න සුරාජ් ඉඩ තිබ්බේ නැහැ.එයා දුව ගැන වගේම මා ගැනත් පුදුම විදිහකට සැලකිලිමත් වුණා. මගේ අවශ්‍යතාවයන්, මානසික තත්ත්වයන් හොඳීන් තේරුම් ගත්තා.මට උදව් උපකාර කළා.එයා රැකියාවට ගිහින් ඇවිත් දුවගෙ වැඩ කටයුතුත් කරපු අවස්ථාවල් ඕන තරම් තියෙනවා.ඇත්තටම සමහර වෙලාවට මට දැනෙනවා එයා ඉන්නේ ගොඩක් මහන්සියෙන් කියලා. ඒත් ඒ කිසිම අවස්ථාවක එයා ඒ ගැන පුංචි මැසිවිල්ලක්වත් නැඟුවේ නැහැ. ඇත්තටම අපි දෙන්නට හිටියේ අපි දෙන්නා විතරයි. ඒකම අපි දෙන්නට ලොකු ශක්තියක් වුණා.සුරාජ් තමයි මගේ ජීවිතේ දැන් තියෙන ලොකුම ශක්තිය.


ඔබේ රසිකයින් බලාගෙන ඉන්නේ ඔබව යලිත් පුංචි තිරයෙන් හෝ පුළුල් තිරයෙන් ඉක්මනින් දකින්න.ඒකට කොයිතරම් කාලයක් ගතවෙයිද?


2020 වසරෙන් පස්සේ ඇත්තටම මම ටිකක් රඟපෑමෙන් ඈත් වෙලයි හිටියේ.ඊට අවුරුදු පහකට විතර පස්සේ තමයි ධර්ම යුද්ධය දෙවන සිනමාපටයට මම සම්බන්ධ වුණේ.ධර්ම යුද්ධය සිනමාපට දෙකම මගේ ජීවිතයේ සුවිශේෂී මතක සටහන් දෙකක්. මොකද, ධර්ම යුද්ධය දෙවන සිනමාපටය රූපගත කිරීම් අතරතුර තමයි මම දැනගත්තේ මගේ දුව ලැබෙන්න ඉන්නවා කියලා.තුන්වෙනි සිනමාපටයේ රූපගත කිරීම් වෙනකොට එයාට මාස හයක්. ඉතින් එහි රූපගත කිරීම්වලට යනකොට මම එයත් එක්ක තමයි ගියේ.ඒ නිසා මේ සිනමාපට දෙකම මට විශේෂයි.


මේ වෙනකොට තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් දුව නිසා, රංගන ශිල්පිනියක් විදිහට මගේ රූපය ගැනවත් මගේ ශරීරය ගැනවත් හිතන්න මේ අවස්ථාවේදී මට ඉඩක් නැහැ. ඇත්තටම කිව්වොත් ධර්ම යුද්ධයට ආරාධනා කරපු වෙලාවෙත් මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා.මගේ ශරීරය සෑහෙන්න වෙනස් වෙලා.මේ දවස්වල මගේ කෑම බීමවල කිසිම පාලනයක් නෑ. ඒ නිසාම සිනමාපටයට සම්බන්ධ නොවී ඉන්නත් වෙලාවකට හිතුණා. ඒත් රංගන ශිල්පිනියක් විදිහට මේ සිනමපටය යම් පමණකට මගේ වගකීමක්නේ. සුරාජ් කිව්වෙත්,ඒ දේවල් ගැන නොසිතා මේකට සම්බන්ධ වෙන්න කියලා. කොහොම වුණත් දුවට අවුරුදු එකහමාරක් විතර වෙනකම් රංගනයෙන් ටිකක් ඉවත් වෙලා ඉන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. නමුත් හොඳ වැඩක් කරන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා. රංගනය කියන්නේ මට මගේ අම්මගෙන් ලැබුණු දායාදයක් කියලයි මම හිතන්නේ. ඒ නිසා කිසිසේත්ම මං ඒකෙන් ඉවත් වෙන්නේ නැහැ.පුංචි විවේක කාලයක් විතරයි අරගෙන තියෙන්නේ.


ඒ කියන්නේ ඔබ ඉක්මනින්ම ලංකාවේ පදිංචියට එනවා කියන එකද?


ඔව්. අපි විදෙස් ගතවෙලා ඉන්නේ සුරාජ්යේ රැකියාවේ වැඩ කටයුතු කිහිපයක් නිසයි.ඒ දේවල් ඉවර වුණහම අපි අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. කොහොමටත් මම හිතනවා වෙන රටවල මොනතරම් පහසුකම් තිබුණත් ලංකාව තමයි ජීවත් වෙන්න හොඳම රට කියලා.සුරාජ් හිතන්නෙත් එහෙම තමයි.


සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල ඔබ රඟපෑ චරිත අතරින් ඔබ වඩාත්ම කැමති චරිතය මොකක්ද?


මට ලැබුණු හැම චරිතයකටම මම කැමති වුණත්, මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ කීපයක් තියෙනවා. එකක් තමයි රුක්මල් නිරෝෂ් අයියාගේ “සුළඟ මත මොහොතක්” ටෙලි නාට්‍යය.එහි “චාරුලතා” කියන චරිතයට අදටත් මම හරිම කැමතියි.එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති.මේ නාට්‍යයේ විශ්ව විද්‍යාල යුවතියකගේ සහ අවුරුදු හයක දරුවෙකු ඉන්න මවකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ.එකම නාට්‍යයක මේ විදිහේ චරිත දෙකක් නිරූපණය කරන්න ලැබීමත් මං හිතනවා යම් පමණකට අභියෝගයක් කියලා.ඒ වගේම ප්‍රේක්ෂකයෙනුත් අදටත් චාරුලතාට ආදරෙයි.ඒ වගේම “මිණි ගං දෑල” ටෙලි නාට්‍යයේ “සෙදෝනා” චරිතයටත් මගේ වැඩි කැමැත්තක් තියෙනවා.


මෙතෙක් කාලයක් ඔබට කරන්න නොලැබුණු, ඒත් කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?


මගේ වයසට වඩා මුහුකුරා ගිය චරිත පවා මා ගැන විශ්වාස කරලා අධ්‍යක්ෂකවරුන් මට ලබා දීලා තියෙනවා.ඇත්තටම රංගන ශිල්පීන් විදිහට අපි තව තවත් විවිධ ආකාරයේ චරිත නිරූපණය කරන්න ලොකු ලෝභකමක් දක්වනවා.මමත් එහෙමයි.මගේ හිතේ පුංචි ආසාවක් තියෙනවා ඵඥපඪධභඵ ජධථඥඤර චරිතයක් කරන්න.ඒක ආසාවක් විතරයි. එහෙම දෙයක් මට ලැබෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ.


සිනමාවට වැඩි දායකත්වයක් නැත්තේ ඇයි?


ඇත්තටම මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ටෙලි නාට්‍යවලට.සිනමාපට කිහිපයකටත් මම සම්බන්ධවෙලා තියෙනවා.නමුත් ඒ අතරින් අතහැරුණු සිනමාපටත් නැතුවා නෙමෙයි. ඒකට හේතුව, ඒ සමහර නිර්මාණ, මගේ රාමුවට පිටින් තියෙන නිර්මාණ වීම.


ඒ කියන්නේ ඔබ රාමුවක් ඇතුළේ රඟපාන රංගන ශිල්පිනියක්ද?


මෙහෙමයි. විශේෂයෙන්ම ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන් මම අනුගමනය කරන දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ මම විලාසිතා කරන්නේ නෑ කියලාවත් මම ඒවට අකමැතියි කියලාවත්.නමුත්, ක්ෂේත්‍රයේ දී ඒ සම්බනධයෙන් මගේ ක්‍රමවේදයක් තියෙනවා. ඒවා මට කිසි කෙනෙක් දාපු නීතී නෙමෙයි. ඒක මම හිතන අනුගමනය කරන විදිහ. එහෙම ඉඳලා තමයි මම මේ තරම් දුරක් ආවේ. ඉතිං ඒ නිසා ඒ හරහා මට අත් හැරුණු කිසිම දෙයක් ගැන කනගාටුවක් නෑ.


ඔබේ ප්‍රේක්ෂකයින්ට මොනවද මේ මොහොතේ කියන්න තියෙන්නේ?


රංගන ශිල්පිනියක් විදිහට අපි හම්බ කර ගත්ත ධනය තමයි ප්‍රේක්ෂකයින්.මමත් ඉතිං හිතන්නේ එහෙමයි.මගේ හැම නිර්මාණයක් එක්කම එයාලා මා එක්ක හිටියා.රංගනයෙන් ටිකක ඈත් වෙලා හිටියත් තාමත් එයාලාගේ ආදරේ මට දැනෙනවා.ඉතිං මමත් එයාලට ආදරෙයි කිව්වා කියලා කියන්න.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post