මේ දිනවල සති අන්තයේ ‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලිනාට්යයේ කැපීපෙනෙන සුපිරි චරිත හතරක් අපිට සමීප වෙනවා. ඒ චරිත අතර එක් චරිතයක් තමයි ‘ජෙනී’. තාත්වික රංගනයකින් ජෙනීට ජීවය දෙන ඇය ජෙනීට වගේම ‘ජහුටා’ ටෙලිනාට්ය හරහාත් ප්රේක්ෂක ආදරය නොඅඩුව ලබන ජනප්රිය රංගන ශිල්පිනී ප්රියංකා සමරවීර සමගයි මේ ආදරණීය කතාබහ.
මේ දවස්වල ප්රියංකා ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා නේද?
‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලිනාට්යයේ ජෙනී ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා. මොකද මම මේ විදියේ චරිතයක් මීට පෙර රඟපාලා නැති නිසා. මේ වෙලාවේ ටෙලිනාට්යයේ අධ්යක්ෂ සුමිත් රත්නායකට මම ස්තුතිය පුදකරනවා ජෙනී චරිතයට මාව තෝරාගත්ත එකට. විවිධ චරිත රඟපෑවත් ජෙනී චරිතය මට ගොඩක් තදින්ම දැනුණු චරිතයක්. මට චරිතයට කතා කළාට පස්සේ මම ඇහුවා මට මේ චරිතය රඟපාන්න පුළුවන් වෙයිද කියලා.
නුහුරු චරිතයක් නිසා ලොකු අභියෝගයක් දැනෙන්න ඇති ප්රියංකාට?
මොන චරිතය රඟපෑවත් ලේසි නැහැ. හැම චරිතයක් වෙනුවෙන්ම හැදෑරීමක් කරන්න ඕනේ. ජෙනී කියන චරිතය මට සමීප චරිතයක් නෙවෙයි. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. මේ කතාවේ මූලික සිද්ධාන්තය කසිප්පු පෙරීම නෙවෙයි. මේක ජීවත් වෙන්න දඟලන කාන්තාවන් හතර දෙනෙක්ගේ කතාවක්, ඔවුන්ගේ පවුල රැකගන්න. ඒ ජීවිතය ගෙනියන්න ආදායම් මාර්ගයක් හොයනවා. ජෙනී කියන්නේ කිසිම දේකට බයක් නැති ගැහැනියක්. මම ඉතින් කල්පනා කළා මේ චරිතය කොහොමද කරන්නේ කියලා. මුල් දවස් ටික මට අමාරු වුණා මේ චරිතය අල්ල ගන්න. මොකද චරිතයකට තියෙනවා හැඩයක්, රිද්මයක්. මට සුමිත් ගොඩක් උදව් කළා මේ චරිතය හදාගන්න.
පිටපත බලනකොට මේ වගේ චරිතයක් රඟපාන්න බයක් හිතුණේ නැද්ද?
මට ඒක තමයි ලොකුවටම දැනුණේ. ජෙනී චරිතය හරහා ප්රේක්ෂකයන් මාව මොන විදියට පිළිගනීද කියලා. හැබැයි පිටපත දිගටම බලාගෙන යනකොට ජෙනී චරිතයට මට මාරම ආශාවක් ආවේ. පිටපතේ නැති දේවල් මම හිතුවා ජෙනී මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද කියලා.
අධ්යක්ෂ සුමිත් රත්නායකගෙන් ලැබුණු සහාය කොහොමද?
මම මීට පෙර ඔහුගේ ‘මහපොළොව’ ටෙලිනාට්යයේ පළිඟු චරිතය රඟපෑවා. ඔහුගේ තිබෙන විශේෂත්වය තමයි ප්රධාන චරිත, සුළු චරිත කියලා වෙන් කරලා සලකන්නේ නැති එක. ප්රධාන චරිත ඉස්මතු වෙන්න ඕනේ කියලා ඔහුට අදහසක් නැහැ. ඔහුගේ නාට්යයේ රඟපාන හැම චරිතයක්ම ප්රධාන චරිතයක් විදියට තමයි ප්රේක්ෂකයන්ට දැනෙන්නේ. හැම චරිතයකටම ලොකු අවධානයක් දෙන කෙනෙක් ඔහු. ශිල්පීන්ගේ රඟපෑම දුර්වල තැනක තියන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි. දර්ශන තලයේදී පවා ශිල්පීන්ට හොඳ අවබෝධයක් දීලා තමයි ෂූට් කරන්නේ.
ප්රියංකාගේ රුව දැක්ක ගමන් ගොඩ දෙනෙක් කියන්නේ සිනමාවට ගැළපෙන පෙනුමක් ඔබට තියෙනවා කියලා?
මුල් කාලයේ ඉඳලා මට ගොඩ දෙනෙක් කියලා තියෙනවා මගේ පෙනුම ගැළපෙන්නේ සිනමාවට කියලා. ගොඩ දෙනෙක් මාව හඳුන්වන්නේ චිත්රපට රංගන ශිල්පිනියක් කියලා තමයි. මම රඟපාපු ‘පුරහඳ කළුවර’, ‘බොර දිය පොකුණ’ ප්රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා. ඒ වගේම මම මෙතෙක් රඟපාපු හැම චිත්රපටයක්ම ජාත්යන්තර සිනමා උළෙලවල් නියෝජනය කරලා තියෙනවා. ඒ ගැන මටත් සතුටුයි.
‘පුරහඳ කළුවර’ සමග ගෙවපු ජීවිතය කොහොමද?
අශෝක හඳගමගේ ‘දියකැට පහන’ ටෙලිනාට්යය හරහා තමයි මම රංගනයට පිවිසෙන්නේ. දියකැට පහන ටෙලිනාට්යයේ මගේ රඟපෑම දැකලා තමයි මට පුරහඳ කළුවර චිත්රපටයට කතා කළේ. මට මැරෙනකම් අමතක වෙන්නේ නැති නිර්මාණ දෙකක් තමයි මේ නිර්මාණ දෙක. මම ගොඩක් වාසනාවන්ත වුණා ජෝ අබේවික්රම මහතා සමග රඟපාන්න අවස්ථාවක් ලැබුණු එකට. ඒ වගේම ප්රසන්න විතානගේ පිළිගත්ත අධ්යක්ෂවරයෙක්.
කාලයක් එක දිගට වැඩ කරලා පසුකාලීනව වැඩිය දකින්න ලැබුණේ නැති හේතුව ඇහුවොත්?
මම ක්ෂේත්රයෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. පුතා ලැබුණට පස්සේ මම ‘යකඩ දෝලි’ නාට්යයේ වැඩ කළා. තව නිර්මාණ කිහිපයක වැඩ කළා. ඒ කාලේ මට ආරාධනා ලැබුණේ නැති එක තමයි වුණේ. පුතා ලොකු වුණාට පස්සේ මම හිතුවා නැවත ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න. ඔය අතරේ තමයි මම කලින් පැවසූ විදියට සුමිත් රත්නායකගේ මහපොළොව, සල්ලි පොකුරු ටෙලිනාට්යවලට නැවත සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. සල්ලි පොකුරු තමයි මම සම්බන්ධ වුණු පළමු මෙගා ටෙලිනාට්යය. පස්සේ සර්කස්කාරයෝ, රාග, ජහුටා ටෙලිනාට්යයේ සමන්ති චරිතය රඟපාන්නේ.
වසන්ත විතාරණගේ