නළුවෙක් වෙන්න කියලා මහා ලොකු උණක් තිබුණේ නැහැ-හර්ෂණ බෙත්මගේ

gossiplanka image 1
 


හර්ෂණ බෙත්මගේ කියන්නේ නළුවෙකුට හරියන හරි අමුතු ලුක් එකක් තියෙන කඩවසම් ටෙලි තරුවක්. ටෙලිනාට්‍ය ගොඩක රඟපාන එක හෝ හැමදාමත් හැම චැනල් එකකම මුහුණ පෙන්න ගන්න එක හෝ උණක් කරගත්තේ නැති හර්ෂණ බොහෝ විට තෝරාගත්තේ ප්‍රේක්ෂකයන්ගේ හිතට දැනෙන යමක් කරන්න පුළුවන් චරිත විතරයි. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘අසන්ධිමිත’ ටෙලියෙත් ඔහු රඟපාන්නේ අන්න ඒ වගේ කාගෙත් හිතට දැනෙන චරිතයක්. ‘අසන්ධිමිත’ ටෙලි කතාව ගැන වගේම හර්ෂණගේ ඒ චරිතය ගැනත් කවුරුත් වාගේ කතා කරනවා. ඉතින් ඔහු සමග ඒ ගැන පුංචි පහේ කතාවකට මැදිවෙන්න අපටත් හිතුණා. Sri Lanka Latest News


හර්ෂණ බෙත්මගේ හුඟ කාලෙකට පස්සෙයි මේ ‘මව්රට’ ‘හාට්’ එකට ගොඩවැදුණේ?

ඔව්. මමත් හිතන්නේ ආරාධනා එන්න මම ලොකු පොරක් නෙවෙයි. හැබැයි ඉතින් සමහර අවස්ථාවල බජට් ප්‍රශ්න, දීර්ඝකාලීනව ඇදෙන ටෙලි චරිත වැනි කාරණාවන් නිසා රිජෙක්ට් කිරීම් එන අවස්ථා තියෙනවා. විශේෂයෙන් චරිතයේ ස්වභාවය ගැනත් සමහර විට හිතන්න වෙනවා.

අපි ටිකක් අතීතෙට යමු හර්ෂණ. ඔබේ ටෙලි කලාවේ ආරම්භයට?

ඇත්තටම කියනවා නම් මීට දශකයකට හමාරකට පෙර අපි රංගනයට අවතීරණ වූ ඒ ටෙලිනාට්‍ය කලාව අතිශයින්ම සුන්දරයි.

නළුවෙක් වෙන්න හීන මැව්වේ ඒ ටෙලි වසන්තය නිසාද?

නළුවෙක් වෙන්න කියලා මහා ලොකු උණක් තිබුණේ නැහැ. හැබැයි කලාකාමී හැකියාවක් සහ කලාවට ඇල්මක් මා තුළ අහම්බයක්ව තිබුණා.

පාසලේ තුන වසරෙදි රූපවාහිනියේ මුතුහර ළමා සමාජයට එකතු වුණේ ඒකයි?

ඔව්. ගයන්න රඟන්න යම් ඉදිරිපත් කිරීම් කරන්න හැකියාවක් තිබුණානේ.




නව යෞවනයකු අවධියේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණෙත් ඒ හරහාද?

නැහැ. මගේ ආච්චි තමයි ඒකට මුල් වුණේ. ඒ දවස්වල මහරගම පැත්තේ හිටියා ටෙලි නිළියක් ගංගා ජීවනී වැලිවත්ත කියලා. මගේ හිතේ නළුවෙක් වෙන්න තිබුණු පුංචි කැමැත්ත ආශාව හඳුනාගෙන ආච්චි ඇගෙන් ඉල්ලීමක් කළා මට අතහිත දෙන්න පුළුවන්ද කියලා. එයට පසුව ඇය බොහොම හිතෛෂීව ඒ ගැන උනන්දු වෙලා සුසිල නිෂ්පාදන ආයතනය වෙත මාව හඳුන්වා දුන්නා. එතැනදී මට බොහොමයක් ප්‍රවීණයන් මුණගැහෙන්න පුළුවන් වුණා. රවීන්ද්‍ර විජේරත්න, සන්ධ්‍යා මෙන්දිස් සහ තරංගා දිසානායක ඒ අතර විශේෂයි.

‘අපි අපි වගේ’ ටෙලිය තුළින් හර්ෂණ බෙත්මගේ නම හදාගත්තා?

අතිශයින්ම ජනප්‍රිය වූ හරිම අලංකාර ටෙලියක්. තරුණ වාගෙම වැඩිහිටි පරපුරත් ‘අපි අපි වගේ’ බලන්න ආලින්දයේ සිනමාව හරහා අසුන් ගත්තේ අසීමිත සතුටකින්.

පෙම්වතාගේ චරිතයට ඔබව වැඩිපුර කොටු වුණා?

ඒක හුඟක් තරුණ රංගන ශිල්පීන්ට මුහුණ දෙන්න වෙන සිදුවීමක්. හැබැයි පසු කලෙක මම හිතුවක්කාර සහ මඳක් නපුරු චරිත අතරට මැදි වෙන්න ගත්තා. වෙනස් චරිත කරන ඇල්ම හරහා තව විවිධ චරිත ලැබුණා.

‘අසන්ධිමිත’ ටෙලි නිර්මාණය ගැන කතා කරමු හර්ෂණ?

එක වගේ ගලා යන හරසුන් ටෙලිනාට්‍ය අතරට ආ වෙනස්ම ටෙලි කතාවක්. පුදුමාකාර ආශාවකින් තමයි තිරපිටපත භාරගත්තේ.

ආරාධනාව ආවේ ශලනි තාරකා නම් ප්‍රවීණ ශිල්පිනියගෙන්?

ඔව්. අපිත් සමගම ටෙලි සිනමාවට පැමිණි අපේ සමකාලීන මිතුරිය, ළෙංගතු සහෝදරිය වූ ශලා තමයි මට ආරාධනාව අරගෙන ආවේ. එය ඈ සම්බන්ධව සිටින නිර්මාණයක් වීම, ශාන් ජයරත්න වැනි නිර්මාණශීලී අයකුගේ අධ්‍යක්ෂණය, ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ එක්කාසුව නිසාම ‘අසන්ධිමිත’ මට විශේෂ වුණා.

ඒ ආබාධිත තරුණයාගේ චරිතය සඳහා පෙරහුරුවක් ලැබුණද?

ශලනි දන්න කියන තරුණ වයසේ ආබාධිත තත්ත්වයට පත් කෙනකුගේ චරිතය තුළින් මම ඊට අවැසි ආභාෂය ලබාගත්තා. ඔහුගේ හැසිරීම්, අංග චලනයන්, කතාබහ, සිනහව වැනි දේ ශලා මට වීඩියෝවක් මගින් හදාරන්න අවස්ථාව සලසා දුන්නා.

කොහොමද හර්ෂණ ලැබෙන ප්‍රතිචාර?

සතුටුයි. හිතුවට වැඩිය ‘අසන්ධිමිත’ වටා ප්‍රේක්ෂකයන් එක්රොක් වීම හැම චරිතයක් ගැනම කතා කිරීම සහ මගතොටදී ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තියෙනවා.

මීට කලකට ඉහත ‘කුටු කුටු මාමා’ ටෙලියෙත් ඔබ ඔවැනි චරිතයක් කළා?

ඇත්තෙන්ම කියනවා නම් ඒ චරිතයද මට විශාල පිටිවහලක් වුණා.

ඔබට ටෙලි සිනමාව තුළ පොරක් වීමේ හීන හෝ තරග නැහැ කියා නිතර කියනවා?

ඔව්. මගේ ගමන බොහොම හෙමින්. ඉතාම සරලව මම නළු වෘත්තිය හරහා තෘප්තිමත් ගමනක යෙදෙනවා. ඒක හරිම රිලැක්ස්.

අලුත් ටෙලි කිහිපයක් සඳහාද ආරාධනා ලැබුණා?

චරිතය හොඳ නම් හිතට දැනෙනවා නම් භාරගන්න මැළි වෙන්නේ නැහැ.

යෞවනයකු කාලේ ඔබේ හීනයක් තිබුණා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න?

එහෙම හීනයකත් ඒ කාලේ දවස ගෙව්වා තමා. හැබැයි ජීවිතය ඉදිරියට ආවේ නළුකම.

කනගාටුවෙන් වගේද එහෙම කිව්වේ?

අපොයි නැහැ. නළුකම කියන්නේ හරිම චමත්කාරජනක වෘත්තියක්. විවිධ ඉසව් හඹා යන්න, විවිධ පිරිස් ඇසුරු කරන්න ලැබෙන සොඳුරු තෝතැන්නක්. ජනතා ආකර්ෂණය, ඔවුන්ගෙන් ලැබෙන ආදරය ගෞරවය මොන තරම් වටිනවද? සත්තකින්ම මේ නළුකම ගැන මම තෘප්තිමත්.

අධ්‍යක්ෂණය සහ තිරපිටපත් රචනයට සූදානම් වන බව ආරංචියි?

තවම නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා පළපුරුද්ද සහ පන්නරය ලැබෙනතුරු කාලයට ඉඩදී බලා සිටිනවා.


මල්මි කෞෂල්‍යා<

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post