ශ්රී ලාංකේය කලා ලෝකය තුළ කෙටි කලකින් විශාල ජනප්රියත්වයක් දිනාගත් රංගන ශිල්පිනියක සහ මෝස්තර නිරූපිකාවක වන චමත්කා ලක්මිණි, සිය රංගන විලාසය හා ස්වාභාවික රංගන ප්රතිභාව හේතුවෙන් නිතර කතාබහට ලක්වන චරිතයකි.
ඇය යම් චරිතයකට දායකත්වයක් ලබා දුන්නේද එය නිසැකයෙන්ම මතභේදයට කුඩු දෙන කාරණයකි.
චරිතයක ස්වභාවය මැනවින් අවබෝධ කරගනිමින් එයට පණ පෙවීමට ඇති හැකියාව හේතුවෙන් නිරන්තරයෙන් ඇගයීමට ලක් වූ තැනැත්තියකි.
මේ දිනවල ප්රේක්ෂක අවධානය දිනාගත් ‘ගරා’ (Gara) චිත්රපටය තුළ සිය සුවිශේෂී රංගන ප්රතිභාවෙන් දායක වන්නට චමත්කා සමත්ව සිටියි.
චරිතයේ හැඟීම්බර අවස්ථා මෙන්ම සංකීර්ණ මනෝභාවයන් ඉතා ස්වාභාවිකව ප්රකාශ කිරීමට ඇය සතු හැකියාව මෙම චිත්රපටය තුළ මැනවින් කැපී පෙනේ.
වින්ද්යා හාරිස්පත්තුවගේ අධ්යක්ෂණයෙන් සහ ආචාර්ය මොහාන් පෙරේරාගේ නිෂ්පාදනයෙන් හැඩවුණු ‘ගරා’ චිත්රපටයේ චමත්කා ලක්මිණිගේ රංගනය සුවිශේෂී වේ. කතා පෙළේ ගලායෑමට ප්රබල බලපෑමක් කරන ඇයගේ චරිත නිරූපණය, සිනමා ශාලාවෙන් නතර නොවී ප්රේක්ෂක හදවත් තුළ දිගුකලක් රැඳී පවතින බව විචාරකයෝ පෙන්වා දෙති. තිරය මත ඇය මවන රූපමය ආකර්ෂණය සහ හැඟීම් දැනවීම් ප්රේක්ෂකයන් සිනමාව සමඟ තවදුරටත් සමීප කරයි.
“කාන්තා අධ්යක්ෂවරියක් සමඟ කටයුතු කරන්න ලැබුණ පළමු වතාව මේ. පිටු අටක දහයක පමණ පිටපතක් අපේ අතට ලැබුණේ. කලණ අයියයි, මමයි එකතු වෙලා පිටු තුන, හතරක්ම කපන්න වුණා. මේ චිත්රපටය රූගත කළේ මීට අවුරුදු තුන හතරකට කලින්. ඒ කාලේ වෙද්දි සයිකෝ ත්රිලර් එහෙමත් නැත්නම් ක්රයිම් ත්රිලර් කියන ශානරය අපට තරමක් අලුත්. විදෙස් චිත්රපටවල එවැනි ශානරයන් නරඹා තිබුණත් ලංකාවේ සිනමා ප්රේක්ෂකාගාරයට එය අලුත් අත්දැකීමක්. එවැනි දර්ශන කිහිපයක් තමයි අපිට කපා හරින්න වුණේ. මට රූගත කිරීම් තිබුණේ දවස් තුනක වගේ කාලයක්. රාත්රී කාලයන් දෙකක් වගේ සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කළා.
වින්ද්යට මම ඇත්තටම ගරු කරනවා, ඇය පුදුම දරා ගැනීමක් දරාගත්තා.
රූගත කිරීම් ගැන වගේම අපි එහි නිෂ්පාදන අංශය ගැනත් හිතුවා. මෙවැනි ශානරයක චිත්රපටයක් ආවට ගියාට නිෂ්පාදකවරයකු අතට පත් වෙලා බැහැ. ප්රමිතියක් නොමැති නිෂ්පාදකවරයකු අතට මෙම චිත්රපටය පත් වනවාට අපි කැමති වුණේ නැහැ. ඇත්තටම කිව්වොත් ව්යාපාරිකයකු අතට පත්වෙනවාට කැමති වුණේ නැහැ. මෙහි ඇති ඇතැම් දර්ශනවලින් මගේ ප්රතිරූපයට යම් හානියක් වෙන්න තිබ්බ ඉඩකඩ වැඩියි. ඒ නිසයි ඇත්තටම මමයි කලණ අයියයි මේ සම්බන්ධ තීන්දු තීරණ ගන්න උදවු වුණේ. තරමක් ප්රමාද වුණත් හොඳ නිෂ්පාදකවරයෙකු අතට පත්වීම ප්රේක්ෂකයන් අතරට යෑමට මෙම චිත්රපටයට හැකි වුණා කියලා මම හිතනවා.
මම දායක වුණු හැම චිත්රපටයකම වගේ නිෂ්පාදන අංශය පිළිබඳ සොයා බලා තියෙනවා. මම කරන්නේ ආර්ට් එකක්. එය මුදල් උපයා ගැනීමට එහා ගිය එකක්. මගේ පෞද්ගලික ජීවිතය රැකෙන්නේ කලාවෙන් උපයාගන්න මුදලින් නෙවෙයි.”
ඇය රංගනයෙන් එක් වූ ටෙලිනාට්ය සිනමා නිර්මාණ මෙන්ම කතාබහට ලක් වුණු ඒවායි. ’හියුමන් එරස්’ නම් නිර්මාණය තුළ ඇය නිරූපණය කළ ‘නිශානි’ නම් චරිතය අතිශය ජනප්රිය විය. එය ඇගේ පළමු ටෙලිනාට්යයයි.
චමත්කා රඟපෑ ‘ද ලේක්’ යනු ජාතික රූපවාහිනියේ විකාශය වූ, කුතුහලය දනවන සයිකොලොජිකල් ත්රිලර් (මනෝවිද්යාත්මක හා අබිරහස්) ශානරයට අයත් ජනප්රිය ටෙලිනාට්යයකි. සේමිණි ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කළ ධනුෂ්ක රේමන්ඩ් අධ්යක්ෂණය කළ ඇය රඟපෑ දෙවැනි ටෙලිනාට්යයයි.
චමත්කා පිළිබඳව කතා කරද්දී ඈ රඟපෑ ‘හුස්ම’ චිත්රපටය සම්බන්ධව කතා නොකරම බැරිය. ‘හුස්ම’ යනු 2019 වසරේ තිරගත වූ, සුදේශ් වසන්ත පීරිස් අධ්යක්ෂණය කළ ශ්රී ලාංකේය මනෝවිද්යාත්මක ත්රාසජනක චිත්රපටයකි.
මෙහි ප්රධාන චරිතය වන තාරුකා විජේසිංහට රංගනයෙන් දායක වී ඇත්තේ චමත්කාය. ඇයගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්යයක් වූ මෙම චරිතය වෙනුවෙන් ඇයට ප්රශංසා මෙන්ම දැඩි කතාබහට ලක් වූ ප්රතිචාරද හිමි විය.
මෙම චිත්රපටය 2015 වසරේ නිකුත් වූ ස්පාඤ්ඤ චිත්රපටයක් වන ‘The Corpse of Anna Fritz’ (The Body) නමැති සිනමා නිර්මාණය ආශ්රයෙන් නිර්මාණය කරන ලද්දකි.
ඇයගේ රංගන දක්ෂතාව අගයමින් විවිධ සම්මාන උලෙළවලදී ඇය උසස් ඇගයීම්වලට පාත්ර වී ඇත.
2024 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ‘හුස්ම’ චිත්රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන/නවක නිළිය (2019) සම්මානයෙන් පිදුම් ලැබීය. 2024 වසරේ සුමති සම්මාන උලෙළේදී වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය දිනාගත්තාය. 2024 වසරේදී රයිගම් ටෙලීස් හිදී ‘Human Errors’ ටෙලිනාට්යයේ ‘නිශානි’ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමිකර ගත්තාය.
“මම මුලින්ම පාසල් ගියේ කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්යාලයට. පාසල් වේදිකාවේ අත්දැකීම් මම ලබලා තියෙනවා. පුංචි කාලේ මට පවුලක් තිබුණේ නැහැ. මට හිටියේ අම්මා විතරයි. අම්මත් ඉතාලියේ රැකියාවක් කළ නිසා මට හැදී වැඩෙන්න වුණේ තනිවමයි. මට පවුලක් ලැබුණේ විවාහයෙන් පස්සේ. අපි හොඳ යාළුවෝ. මට එයාව මුණගැහෙන්නේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. අවුරුදු 19 වෙද්දි මම විවාහ වුණා. ඔහු නිතිල මුහන්දිරම්. නැව් සම්බන්ධ රැකියාවක නියැළී ඉන්න නිසා වසරේ මාස කිහිපයක්ම ඔහු ඉන්නේ මුහුදේ. මාව හොඳින්ම තේරුම් ගත්ත ඔහු ඉතාම හොඳ කෙනෙක්.
මට මගේ සැමියා නොලැබුණානම් සමහරවිට මම තනිවම හිඳීවි. තමාට ගැළපෙන කෙනා නොලැබුණොත් ඇත්තටම විවාහ ජීවිතයක් ගත කරන එක පලක් නැති දෙයක්. මට අවුරුදු හයහමාරක පුතෙක් ඉන්නවා. ඒ තමයි මගේ ලෝකය.
දසුන් පතිරණ කියන්නේ මගේ සැමියගෙ හොඳ යාළුවෙක්. දසුන්ගේ දරුවොයි මගේ පුතයි හොඳ යාළුවෝ. අපේ පවුල් දෙක හරිම හිතවත්.
සැමියාගේ අම්මයි තාත්තයි මතක් කරන්නම ඕනේ. ඒ දෙන්නා පුදුමාකාර සහයෝගයක් මට දෙන්නේ.
පාසල් අධ්යාපනය කඩා නොවැටුණා නම් මම කලා ලෝකයට පිවිසින්නේ නැතිව ඉන්නත් තිබුණා.