‘ඉර්තු’ සමා­ජයේ කතා­බ­හට ලක්විය යුතුම කතා­වක් -උමා අසේනි

gossiplanka image 1
 

ඕනෑම අභි­යෝ­ගා­ත්මක භූමි­කා­වක් තමන්ගේ කර­ග­නි­මින් විශිෂ්ට රංග­න­යක නියැ­ළෙන උමා අසේනි බොහෝ­දු­රට අපට හමු­වන්නේ පුංචි තිරය ඔස්සේය. පසු­ගි­යදා අති­වි­ශාල ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් නිර්මා­ණය කළ ‘දොර­කඩ දෙවොල ටෙලි නිර්මාණයේ නාමලී ඇයගේ විශි­ෂ්ට­තම රංග­න­යක් ලෙස විචා­රක අව­ධා­න­යට යොමු­විය. මේ දින­වල ස්වාධීන රූප­වා­හි­නියේ විකා­ශය වන ‘ඉර්තු‘ ටෙලි නිර්මා­ණයේ තාරු ද ඊට නොදෙ­වැනි භූමි­කා­වකි. සමා­ජයේ අනි­වා­ර්ය අව­ධා­න­යට යොමු­විය යුතු සංක­ල්ප­යක් ඔස්සේ ලිය­වෙන ඉර්තු තිර­පි­ට­පත සහ අධ්‍ය­ක්ෂ­ණය ලක්ෂාන් වත්තු­හේ­වා­ගේය. එහි තාරුගේ භූමි­කා­වට පණ පොව­මින් මේ දින­වල ප්‍රේක්ෂක ඔබේ වැඩිම අව­ධා­නය දිනා සිටින උමා අසේනි අප හා කතා­බ­හට එක්වූ­වාය.


‘ඉර්තු’ ටෙලි නිර්මා­ණයේ තාරු කියන්නේ උමාගේ රංගන දිවියේ තවත් අභි­යෝ­ගා­ත්ම­කම අත්දැ­කී­මක්. කොහො­මද ඒ අව­ස්ථාව ලැබෙන්නේ?


ඉර්තු කියන්නේ සමා­ජයේ කතා­බ­හට ලක්විය යුතු නමුත් තව­මත් පැහැ­දිලි කතා­බ­හක් නිර්මා­ණය නොවුණු මාතෘ­කා­වක් ගැන කතා­බ­හට ලක්වන ටෙලි නිර්මා­ණ­යක්. කතා සංක­ල්පය වගේම නිෂ්පා­ද­නය ලක්ෂිකා පෙරේ­රාගේ. තිර­පි­ට­පත සහ අධ්‍ය­ක්ෂ­ණය ලක්ෂාන් වත්තු­හේවා. මෙය ඔහුගේ පළ­මු­වැනි ටෙලි අධ්‍ය­ක්ෂ­ණය. මං ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර­යට පිවි­සෙ­න්නෙත් ඔහු විසින් රචිත ‘අවි කඳුළු‘ කියන ටෙලි නිර්මා­ණ­යෙන්. අපි දෙන්නගේ හඳු­නා­ගැ­නීම සිදු­වෙන්නේ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙ­න­ගන්න කාලේ ඉඳන්. අපි අතර තිබුණු ඒ සහෝ­ද­ර­ත්වය වගේම ඉර්තු කොටස් පන­හට අඩු ටෙලි නිර්මා­ණ­යක් වීමත් මං මේකට සම්බන්ධ වෙන්න හේතු­වක් වුණා. ඊටත් වඩා ප්‍රබ­ලම හේතුව වුණේ මේ නිර්මා­ණය හරහා කතා­බ­හට ලක්වන මාතෘ­කාව. පිට­පත කියෙ­ව්වට පස්සේ මේ චරි­තය හරහා මට සෑහෙන දෙයක් කරන්න තියෙ­නවා කියන එකත් තේරුණා.


ඉර්තු හරහා සමා­ජ­ගත කෙරෙන්නේ සමා­ජයේ කතා­බ­හට ලක්විය යුතුම මාතෘ­කා­වක් නේද?


ඇත්තම කතාව ඒක තමයි. මේ තත්ත්වය සම්බ­න්ධ­යෙන් තව­මත් සමා­ජයේ ලොකු කතා­බ­හක් හැදිලා නැහැ. සාමා­න්‍ය­යෙන් අපේ සමා­ජයේ අද­හ­සක් තියෙ­නවා අම්ම­ලාට හැම­දේම දරා­ගන්න පුළු­වන් වෙන්න ඕන කියලා. දරු­වෙක් හදන්න පුළු­වන් නම් දරුවා ලැබෙද්දී දැනෙන වේද­නාව දරා­ගන්න පුළු­වන් නම් අනෙක්වා මොන­වද කියන තැන තමයි අද සමා­ජය ඉන්නේ. ශාරී­රි­කව ඒ තත්ත්වය ඇති වුණාට පස්සේ තමයි මේක මාන­සි­කව බල­පාන්නේ. මේක විද්‍යා­ත්මක පද­න­මක් මූලික කර­ගත්ත දෙයක් මිසක් ගැහැ­නුන් ඔළු­වෙන් මවා­ගත් මන­ස්ගා­ත­යක් නෙවෙයි කියන පණි­වු­ඩය මේ හරහා සමා­ජ­ගත කරන්න ලැබී­මම තමයි මං මේක තෝර­ගන්න ප්‍රබ­ලම හේතුව.


ඉර්තු හරහා මේ දින­වල ඔබට වෙන­මම ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් නිර්මා­ණය වෙලා තියෙ­නවා. කොහො­මද ලැබෙන ප්‍රති­චාර?


‘ඉර්තු’ විකා­ශය වෙලා තවම සති දෙකයි. සති අන්තයේ විකා­ශය වන ටෙලි නිර්මා­ණ­යක්. මේ වෙද්දි පුදු­මා­කාර විදි­හට ප්‍රති­චාර ලැබිලා තියෙ­නවා. ඒවා දකිද්දි මේක එයා­ලගෙ සැබෑ ජීවිතේ අත්දැ­කී­මක් කියලා තේරෙ­නවා. සම­හර ස්වාමි­පු­රු­ෂ­යන් හැසි­රෙන විදිහ ගැන කියලා තියෙන කමෙන්ට් බල­න්නත් බැරි තරම් වේද­නා­කා­රීයි. ඒවා බලද්දි මගේ ඇඟත් හිරිවැටෙ­නවා. ඒ නිසා මේ කතාව සම­හ­රුන්ට බල­න්නත් අමාරු ඇති. දරුවා ලැබෙන්න හිටිය කාලය මේ වෙද්දි තත්ත්වය කියලා ඔවුන්ගේ මුළු ජීවිත කතා­වම මට කියලා එවලා තියෙ­නවා. සම­හරු ඒ තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර­ගත්ත විදිහ, තවත් සම­හරු තව තවත් අවු­ලට පත්වෙච්ච විදිහ කියල තියෙ­නවා. පවුලේ කවු­රුත් නැතුව පවුල් සෞඛ්‍ය සේවි­කාව නිසා මේ තත්ත්ව­යෙන් ගොඩ ආපු අයත් ඉන්නවා. මේ තත්ත්ව­යට මුහුණදීපු අයට ඒක ආව­ර්ජ­නය වෙද්දි බලන් ඉන්න අමාරු වෙන්න පුළු­වන්. ඔවුන් නැතත් ඔවුන්ගේ වටේ ඉන්න අය­වත් මෙය බැලිය යුතුම නිර්මා­ණ­යක් විදි­හ­ටයි මම දකින්නේ.


තාරුගේ චරි­තය ගොඩ­නැ­ඟී­මේදී ගොඩක් අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­ව­ලට මුහුණ දෙන්න සිදු­වෙන්න ඇති?


තාරුගේ චරි­ත­යට මට ආරා­ධනා කළ ලක්ෂාන් අයි­යාට වගේම ඉර්තු කණ්ඩා­ය­ම­ටම මම ගොඩක් ස්තුති­වන්ත වෙනවා. මට පෝස්ට්පා­ටම් ඩිප්‍රෙ­ෂන් හෝ පොස්ට්පා­ටම් සයි­කෝ­සිස් කියන එක ගැන අත්දැ­කී­මක් නැහැ. ඩිප්‍රෙ­ෂන් තත්ත්වයේ ඉන්න කෙන­කුගේ ලක්ෂ­ණම තිබු­ණට මේක ඊට එහා ගිය තත්ත්ව­යක්. තාරුව සාර්ථක කර­ගන්න නිරෝෂා තල­ගල, උද­යන්ති කුල­තුංග, නිෂ්පා­දිකා ලක්ෂිකා පෙරේරා සහ ලක්ෂාන් අයි­යාගේ බිරිය ලක්ෂි ජය­ව­ර්ධන ලොකු සහා­යක් දුන්නා. දරුවා ලැබෙන්න ඉන්න කාලෙ වගේම සීසර් කරලා දරුවා ගත්තට පස්සේ හැසි­රෙන, ඉඳ­ගන්න විදිහේ පුංචි පුංචි ඩීටේල් මං ඉගෙන ගත්තේ ඔවු­න්ගෙන්. පෝස්ට්පා­ටම් සයි­කෝ­සිස් කියන තත්ත්ව­යට එද්දී ඔවුන් හිතන පතන විදිහ මං අහ­ගත්තේ ඔවු­න්ගෙන්. අම්මා කෙනෙක් වුණු සිය­යට අනූ­නවයයි දශම නව­යක්ම වගේ අඩු වැඩි වශ­යෙන් මේ තත්ත්ව­යට මුහුණදීලා තියෙ­නවා. මේ තත්ත්ව­යට පත්වෙලා තිබුණු අම්මලා වගේම එහෙම වෙලත් එහෙම වුණේ නෑ වගේ හිතපු අම්ම­ලාත් ඉන්නවා. ඒ වගේම අම්මා කෙනෙක් වීම කියන එක දරා­ගෙන ඒකට අනු­ව­ර්ත­නය වුණු අම්ම­ලාත් ඉන්නවා. අපි එක එක්කෙනා ඔය මාතෘ­කාව තේරුම් ගන්නේ එක එක විදි­හට. මේක සයි­කො­ලොජි සහ බයෝ­ස­යන්ස් කියන දෙකේ එක­තු­වක් කියන එකත් සමා­ජ­ගත විය යුතුයි වගේම එය සමා­ජ­ගත කරන නිර්මා­ණ­ය­කට දායක වෙන්න ලැබීම නිසා මටත් මේක විශේ­ෂයි.


දරු­වෙක් ලැබෙන්න ඉන්න අව­ධියේ වගේම දරුවා ලැබුණු පසු අව­ධි­යේත් මව ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතුයි කියන එක නේද මෙයින් කිය­වෙන්නේ?


ඔව්. දරුවා ලැබු­ණට පස්සේත් මවට අව­ධා­නය දිය යුතුයි කියන එක වගේම ඒ අව­ධා­නය ගිලිහී යෑමම තමයි මේ වගේ තත්ත්ව­යක් ඇති­වෙන්න හේතු වෙන්නේ. මේක ජීව­වි­ද්‍යා­ත්ම­කව සිදු­වන දෙයක් වුණත් ඒ මව වටා ඉන්න අයගේ සංවේදී හැසි­රී­මත් එක්ක ඒ මොහොතේ සිදු­වන රසා­ය­නික අස­ම­තු­ලි­ත­තාව යම් මට්ට­ම­කට පාල­නය කරන්න පුළු­වන්. මවක් ‍ෙවනවා කියන්නේ ලොකු ක්‍රියා­ප­ටි­පා­ටි­යක්. ඉර්තු ටෙලි නිර්මා­ණය හරහා අපි ඒ පුංචි පුංචි ඩීටේල් අරන් ඇවිල්ල තියෙ­නවා. එක පුංචි වච­න­යක් වුණත් ඇති ඒ මොහොතේ ඒ මවගේ හිත බිඳෙන්න. ඒ කාලය සාමාන්‍ය කාල­යක් නොවන බව අපි පිළි­ගත යුතුම වෙනවා. ඒ පිළි­ගැ­නී­මයි වැද­ගත්. ඒ අම්මා ඒ මොහොතේ බලා­පො­රොත්තු වෙන්නෙත් ඒ පිළි­ගැ­නී­ම­මයි. ඒ වෙලාවේ දරු­වට අව­ධා­නය දිය යුතු වගේම දරු­වාගේ යහ­පත වෙනු­වෙන් මව යහ­පත් මාන­සි­ක­ත්ව­යක හිටිය යුතු­මයි. තමන්ගේ ශරී­රය ලස්ස­නට තියා­ගෙන ඉන්න කෙල්ලෙක් දරුවා ලැබෙන්න ඉන්න කාලය තුළ ඒ හැම­දේම අත්හ­රි­නවා. එතැ­නදි අනෙක් හැමෝම ඇය කලින් හිටපු තත්ත්ව­යට පත්වෙන්න උදවු කළ යුතුයි. ඒ පුංචි කාරණා ගැන නැවත වතා­වක් හිතලා බලන්න ඉර්තු ඇතුළේ ඉඩක් හද­නවා.


ඉර්තු කියන නම වගේම ලෝගෝ එකේත් විශේ­ෂ­ත්ව­යක් තියෙ­නවා නේද?‍


අපි ජීවිතේ පහු­ක­රන එක එක ඉර්තු තියෙ­නවා. දරු­වෙක් ලැබෙ­නවා කිය­න්නෙත් ජීවි­තයේ එක ඉර්තු­වක්. කතාවේ ලෝගෝ එක ගත්තත් විශේ­ෂ­ත්ව­යක් තියෙ­නවා. ‘ඉ’ අකුර ඇතුළෙ පෙන්නන්නේ වැදෑ­මහ. දරුවා සහ මව අතර ඔය සම්බ­න්ධය ගලි­වු­ණ­හම තමයි ඔය කියන රසා­ය­නික අස­ම­තු­ලි­ත­තාව ඇති වෙන්නේ. ඒක ජීවය පවත්වා ගැනී­මට සොබා­ද­හ­මෙන් ලැබුණු දෙයක්. ඒ හරහා ඇති වන ශාරී­රික සංකූ­ලතා තමයි මාන­සික සංකූ­ලතා බවට පත්වෙන්නේ. එයයි අප තේරුම් ගත යුතු වන්නේ. ඒ කාලය ඒ අම්මාගේ හිත ඇතුළේ තැන්පත් වෙලා තියෙ­නවා කියන එක ලැබෙන කමෙන්ට්ස් වලින් මට පැහැ­දිලි වෙනවා. ඒක ඇගේ ඉදිරි ජීවිත කාලෙ­ටම බල­පා­නවා විත­රක් නෙවෙයි දන්නෙම නැතුව පවුල් ජීවි­තේ­ටත් බල­පා­නවා. මෙතැ­නදි කවුද හරි, කවුද වැරදි කියන එක නෙවෙයි සෙවිය යුත්තේ. අපි හැමෝම ඉන්නේ මාන­සික අව­පී­ඩ­න­යක. නමුත් අපිට වඩා දරු­වෙක් බිහි­ක­රපු කාන්තා­වක් පීඩ­න­යට ලක්වෙ­නවා. ඇය ශාරී­රි­ක­වත් වෙහෙ­ස­කට පත්වෙ­නවා විප­ර්යා­ස­ය­කට පත්වෙ­නවා. ඒ නිසාම අනිත් අයගේ පීඩ­නය ඇය පිටින් යැවීම නොකළ යුතුයි කියන එකයි මෙතැ­නදි තේරුම් ගත යුත්තේ.


මෙය සෘජුව හෝ වක්‍රා­කා­රව දරු­වාගේ ජිවි­ත­ය­ටත් බල­පා­නවා නේද?


අනි­වා­ර්ය­යෙන්ම. ඊට සමා­ජයේ ඕනෑ­ත­රම් උදා­හ­රණ තියෙ­නවා. තමන්ට කවු­රුත් නෑ කියල දැනු­ණට පස්සේ ඒ තත්ත්වය ඇති වෙන්න පුළු­වන්. අපි සංස්කෘ­තික රාමු­වක් ඇතුළේ ජීවත් වුණත් අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ තනිව ගොඩ­නැ­ඟෙන්න. ශිෂ්ටා­චා­ර­යෙන් තමයි අපිව මේ වගේ සංස්කෘ­තික රාමු­වක් ඇතු­ළට දාන්නේ. නමුත් මිනිසා ජීව­වි­ද්‍යා­ත්ම­කව හැදිලා තියෙන විදිහ ඊට වෙනස්. මේ කියන රසා­ය­නික අස­ම­තු­ලි­ත­තාව සිදු­වු­ණාට පස්සේ අපිව කඩා වැඩෙන හැම මොහො­තෙම ගොඩක් වෙලා­වට අපි අපි­ව­මයි තෝර ගන්නේ. ඒකම තමයි මේ කතා­වෙන් කිය­වෙන්නේ.


තාරු හරහා ඔබ ලබපු අත්දැ­කීම බෙදා­ගැ­නීම අද සමා­ජයේ තවත් කෙන­කුට උද­ව්වක් නේද?


ඇත්තම කිව්වොත් මේ තත්ත්ව­යට පත්වුණු කෙනෙ­කුට එක්තරා මට්ට­ම­කදී ඖෂධ වලින් වගේම, එක්තරා මට්ට­ම­කදී තෙර­පි­ව­ලින් වගේම එක්තරා මට්ට­ම­කදී උප­දේ­ශ­නය මඟින් මේ තත්ත්ව­යෙන් ගොඩ­එන්න පුළු­වන්. අපි ඒ තත්ත්වය හරි­ය­ටම හඳු­නා­ගැ­නී­මයි කළ යුත්තේ. ඒ සඳහා ඇයට වටේ පිටේ හැමෝ­ගෙම උදවු ඕන.


තාරුගේ චරි­තය සාර්ථක කර­ගන්න ‘ඉර්තු’ කණ්ඩා­ය­මෙන් ලැබුණු සහ­යෝ­ගය කොහො­මද?


මම සංගීත් එක්ක වැඩ කළ පළමු අව­ස්ථාව. ඔහු­ගෙන් ලොකු සහ­යෝ­ග­යක් ලැබුණා. ඒ වගේම සරත් කොත­ලා­වල අයියා ගැන කිය­න්නම ඕන. මට ස්ක්‍රීන් එකේ ලැබුණු හොඳම තාත්තා. ඒ තර­ම­ටම දැනුණා වගේම ප්ලේ වුණා. ඊට අම­ත­රව උද­යන්ති අක්කා සහ නිරෝෂා අක්කා­ගෙ­නුත් ලොකු සහ­යෝ­ග­යක් ලැබුණා. මං මෙතැ­නදි ලක්ෂාන් අයි­ය­ගෙන් දැක්ක විශේ­ෂ­ත්වය තමයි පොඩි පොඩි කැරැ­ක්ට­ර්ස්ව­ල­ටත් වෘත්තීය රංගන ශිල්පීන් යොදා­ගැ­නීමෙන් නිර්මාණය සාර්ථක කරගත්තා වගේම කාලයත් ගොඩාක් ඉතිරි කරගත්තා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post