ඔබ ‘එදා රෑ’ චිත්රපටය බැලුව නම් ‘චන්දෙ’ව අමතක වෙන්න විදිහක් නැහැ.ඇත්තටම කවුද මේ ‘චන්දෙ’.ඔහු නමින් කසුන් ගම්මාන.පාසල් වේදිකාවෙන් පටන්ගෙන පුංචි තිරයට වගේම රිදී තිරයටත් පය තියපු ඔහුගෙ ගමන තවත් ක්ෂේත්ර කිහිපයකටම විහිදෙනව.ඒ ගැන වැඩි විස්තර කසුන් අපිට කිව්වෙ මේ විදිහට.
‘එදා රෑ’ චිත්රපටයට මට ආරාධනා කරන්නෙ එහි කාස්ටින් ඩිරෙක්ටර් මෙවන් ලියනගේ අයියා. ඔහුව මම හඳුනාගන්නෙ ක්ෂේත්රයේම වැඩ කරන මගේ යහළුවෙක් වන කවිඳු හරහා. මම සම්බන්ධ වුණ නිර්මාණ බලල ඔහුට මං ගැන ඇතිවෙලා තිබුණ යම් අදහසක් එක්ක චිත්රපටයේ අධ්යක්ෂ අරුණ ජයවර්ධන අයියව මුණගස්වනව. ඉන් පස්සෙ පිටපත් රචක සමගත් ෆිල්ම් එක ගැන කතා කරල එතැනින් එහාට වැඩ කරගෙන ගියා.
මේක මගේ පළමු සිනමා රංගන අත්දැකීම. ඒ නිසාම වෙන්න ඇති, ලොකේෂන් එකට යද්දි හිතේ පොඩි චකිතයක් ඇති වුණා. ඒ වේදිකාව, ටෙලි නාට්ය දෙකට වඩා තාක්ෂණික පැත්තෙන් සිනමාවේ වෙනසක් තියෙන නිසා. නමුත් අධ්යක්ෂවරයා, රොෂාන් අයියා ඇතුළු මගෙ වටේ හිටපු සියලු දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මගේ චරිතය සාර්ථක කරගන්න.
සිනමාවට පිවිසීම කියන්නෙ රංගන ශිල්පියකුගේ හීනයක්. ඊළඟට තියෙන ලොකුම දේ ලැබෙන චරිතය. ‘චන්දෙ’ කියන චරිතය මට ලැබුණාම මුලින්ම කළේ පිටපත් රචකයා එක්ක මේ ගැන කතාබහ කරල චරිතයේ වටපිටාව මොන වගේද කියල හොයාගන්න එක. එතැනින් එහාට චරිතයේ අනෙකුත් සියලු තොරතුරු අපි හොයාගත්තා. එවැනි චරිතයක් මට ලැබුණෙ මගේ කුමක් හෝ දෂතාවක් දැක්ක නිසා කියලයි මම අදටත් හිතන්නෙ.
මගේ මුල්ම සිනමා රංගනය තිරයේ දකිද්දි මට දැණුන හැඟීම මගේ වචනවලින්ම කියනව නම්, මට මාර ආතල්. පළමු වැනි ෆ්රේම් එක දකිනකොට තත්පර ගණනක් තුළ මට මගේ ලයිෆ් එකේ පසුගිය සියලු දේවල් නැවතත් පෙනෙන්න පටන් ගත්තා.
මම ඉපදුනේ නාගොඩ. ජීවත් වුණේ ගාල්ල, නෙළුව ප්රදේශයේ. දැන්නම් මමයි අම්මයි පදිංචි වෙලා ඉන්නෙ පිළියන්දල.
මම ගමේ ඉන්න කාලෙ නාට්ය කළේ නැහැ වගේම ඒ ගැන කිසිම අදහසක් තිබුණෙත් නැහැ. බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක්, සති පොළට අරගෙන ගිහින් චාර්ජ් කරන් එන බැටරියක් වගේ දේවල් තමයි අපිට ඒ කාලෙ තිබුණෙ. ඒ නිසා තාක්ෂණික කාරණා ගැන තිබුණෙ අල්ප දැනුමක්. කොළඹ ආවට පස්සෙ තමයි ඒ ගැන දැනගන්න ලැබුණෙ.
ඕ ලෙවල් වලදි බකට් සබ්ජෙක්ට් එකෙන් විෂයයක් තෝරා ගන්න අවස්ථාව ආපු වෙලාවෙ කරන්න දෙයක් නැතිකමට මම නාට්ය විෂය තෝරා ගන්නව. දෙහිවල සෙන්ට්රල් කොලේජ් එකෙන් නාට්ය සඳහා අත්පොත් තියන්න ලැබෙන්නෙ අසංක එදිරිසිංහ සර් යටතේ. ඉන් කාලෙකට පස්සෙ ‘ජුලියස් සීසර්’ නාට්යයත් එක්ක මට වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබෙනව.
එතැනදි මට ජෙනට් ඇන්තනී හඳුනා ගන්න ලැබෙනව. පාසෙලන් පිට ක්ලාස් වලදි අකලංක ප්රභාෂ්වර, චාමික සර්, දේවින්ද වික්රමසිංහ වැනි අය ඇසුරු කරන්න ලැබෙනනව. ඒ ඇසුරත් එක්ක තමයි අපි ඩිවලොප් වෙන්නෙ.
2011 අවුරුද්දෙ ජුලියස් සීසර් නාට්යයෙන් පස්සෙ ගුරු මාරුව, මාර හොරු, පාට, ද ලෙටර්, මඟුල ද ස්මෙල්, තොප්පියක්, සොබාවික වෙඩි තැබීමක් වගේ නාට්ය රැසකට සම්බන්ධ වෙනව.
මේ ගමන අතරතුර අසංක සායක්කාරගෙ ඌරො අතර පෝක්, සංඝදාසගෙ චූටි කලිසම වැනි නාට්ය කිහිපයකට වගේම බැංකු වීරයා, කලිගියුලා වැනි නාට්යයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනව.
සායක්කාර අයියත් එක්ක මට දීර්ඝ කාලයක් වැඩ කරන්න ලැබුණා වගේම අදටත් මම ඔහු සමග වැඩ කරනව. ඔහු ටෙලි නාට්ය කරන්න පටන්ගත්තට පස්සෙ අපිත් ඔහු එක්ක ඒ වැඩවලට සම්බන්ධ වෙනව. ඒ නිසාම උඩ තට්ටුව, සින්ටෝ වැනි ටෙලි නාට්යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
නමුත් මගේ මුල්ම ටෙලි නාට්යය වුණේ සමීර හසුන්ගෙ ‘මිදුං අම්මා’.
වේදිකා නාට්ය, ටෙලි නාට්ය සහ සිනමාවට එකතු වුණත් මම වෘත්තියෙන් පොස්ට් ප්රඩක්ෂන් මැනේජර් ඇන්ඩ් එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරනව. මීට කලින් රූපවාහිනියේ අංගරචනා ශිල්පියෙක් හැටියට වගේම පුවත්පත් ආයතනයක ග්රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියටත් කටයුතු කළා.
අපි සම්බන්ධ වෙන නිර්මාණයකට විවිධ කණ්ඩායම් අනුව ලැබෙන ප්රතිචාර වෙනස් වෙනව. හොඳ, නරක වගේම ආගියුමන්ට් එහෙමත් තියෙන්න පුළුවන්. දැනට මට ජෙනරල් ඕඩියන්ස් එකෙන් ලැබෙන ප්රතිචාර ඉතාමත් හොඳයි.
අපි වැඩ කරන්න හීන දකින මිනිස්සු ටිකක් ඉන්නව. අපි විශ්වාස කරන මිනිස්සු ඉන්නව. විශේෂයෙන්ම රොෂාන් අයියල වගේ අය. අපි එයාල හරහා තමයි දේවල් දැක්කෙ. අපි අපේ ගයිඩ්ලයින්ස් හදාගන්නෙ අපි විශ්වාස කරන මිනිස්සු හරහා. එහෙම අයත් එක්ක, එහෙම වටපිටාවක් එක්ක වැඩ කරන්න ලැබීම මම හිතන්නෙ කෙනකුට ලබන්න පුළුවන් ලොකුම වාසනාවක්.
මම නළුවෙක් වෙනවද, සංස්කරණ ශිල්පියෙක් වෙනවද, අධ්යක්ෂවරයෙක් වෙනවද, එන්ඩ් ඔෆ් ද ඩේ කවුරු වෙනවද කියන දේ ගැන මට අදහසක් නැහැ. ඒ වෙලාවෙ මම කරන දේ වෙනුවෙන් ෆෝකස් වෙලා ඒ දේ කරනව. ඉන් එහා මාර ලෝකයක් මගේ ජීවිතේ ගොඩනගන්න අදහසක් තියාගෙන නැහැ. පතන්නෙ සුන්දර සමාජයක්, සුන්දර ලෝකයක්.