ඇත්තටම මම මේ චරිතය හොඳට කරලා තියෙනවා කියලා කට්ටිය කියනවා. ගොඩක් මිනිස්සු මාව දැකලා තියෙන්නේ ටෙලිනාට්‍යවල අහිංසක ආදරවන්තයාගේ චරිතයෙන්නේ. සිනමාවට එනකොට අපිට හොඳ ප්‍රවේශයක් ලබාගන්න නම් හොඳ චරිතයක් ලැබෙන්න ඕනෑ. ඉතිං මගේ සිනමා ගමනේ ආරම්භයට මට ලැබුණ හොඳ චරිතයක්. මට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර එක්ක මම ඒ චරිතයට සාධාරණයක් කරන්න ඇති කියලා හිතනවා.
ආදරණීය තරුවක් සඳහා ආරාධනාව ලැබුණ විදිහත් කියන්න අමතක කළේ නැහැ.
ඇත්තටම මට ආදරණීය තරුවක් සිනමා නිර්මාණයට ආරාධනා ලැබුණේ ගයාන් ශ්‍රීමාල් කියන නර්තන ගුරුවරයාගෙන්. මොකද මම ඒ කාලේ ඔහුත් එක්ක නර්තන වැඩසටහනක් සිදුකළා. නිෂ්පාදක සාරංග අයියා වගේම අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහ කියලා කිව්වහම මම හරි කැමැති වුණා. වෙනස්ම චරිතයක් හින්දා මම ඒ අභියෝගය භාරගත්තා. අනික මමත් අත්හදා බලනවා මගේ රංගන පරාසය පිළිබඳව. මම එදා ගත්තු තීරණය හොඳ තීරණයක් කියලා හිතනවා.
ඔන්න අපි ඇහැව්වා ඇත්තටම පද්මාගේ (ශනූ) කම්මුලට ගැහැව්වාද කියලත්. ඒකට ලැබුණේ මෙන්න මේ වගේ උත්තරයක්.
කොහොමත් මගේ අතපය ලොකුයි. මට මුල් වතාවේ ඒ දර්ශනය රූගත කරන කොට ඒක ඇත්තටම කරගන්න බැරිවුණා. අවස්ථා තුන හතරකට ගියා. අනික එතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ තාත්වික රංගනයක්නේ. අනික මට අතපය උස්සලා ගහන දේවල් කරන්න අමාරුයි. හැබැයි ශනුද්‍රි දර්ශන තලයේදීම මට පෞද්ගලිකවම කිව්වා අපි මේ කරන්නේ රංගනයක්නේ කියලා. අපි මේ දර්ශනය හරියට සිදුකළොත් තමයි චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කියලා. ඒක හින්දා අපි මේ දර්ශනය සැබෑවටම සිදුකරමු කියලා කිව්වා. අන්තිමේ අපි තාක්ෂණික කාරණා එහෙම භාවිතා කරලා වැඩේ ගොඩදාගත්තා.
ආදරණීය තරුවක් නැරඹුවාට පසුව චානුකට ඇතිවුණේ මෙවැනි හැඟීමක්.
ඇත්තටම මෙවැනි දැවැන්ත නිෂ්පාදන කාර්යයකට රංගනයෙන් දායකවෙන්න ලැබීම සන්තෝෂයට කාරණාවක්. අනික හරිම ලස්සන ආදරණීය කතාවක මට මෙවැනි වෙනස්ම චරිතයක් රඟපාන්න ලැබීම තවත් සතුටට කාරණාවක්. තව දෙයක් තමයි ඩිල්ෂාන් අමරසිංහගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ඒ වගේම සාරංග අයියාගෙත් පළමු නිෂ්පාදනය.
ඇත්තටම ඔවුන් දෙපළත් ලොකු අභියෝගයක් අරගෙන තමයි මාව මේ නිර්මාණයට සම්බන්ධ කරගත්තේ. මොකද මාව පුංචි තිරයේ ගොඩක් කට්ටිය දන්නවා. නමුත් මාව රිදී තිරයට තවමත් අලුත්. ඉතිං ඒ අභියෝගය අරගෙන මාව මේ වැඩේට සම්බන්ධකරගත්තාට ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
ආදරණීය තරුවක් චානුකගේ පළමු සිනමා නිර්මාණයද යන වගත් අපි විමසුවා.
නැහැ. මන්දාරා තමයි මගේ පළමු සිනමා නිර්මාණය. ඊට පසුව තවත් නිර්මාණ දෙක තුනකට සම්බන්ධ වුණා. මම හිතනවා ආදරණීය තරුවක් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. මම සිනමාවේ චරිතාංග නළුවෙක් වෙන්න තමයි ආස.
හැමදාම පෙම්වතාගේ චරිතය රඟපෑ චානුකගේ රංගන ජීවිතයේ පළමුවැනි වතාවටලු දුෂ්ටයාගේ චරිතය රඟපෑවේ. මම රංගන හැකියාව හොයාගෙන යන ගමන් ඉන්නේ. හැමදාමත් අහිංසක පෙම්වාතාගේ චරිතයට කොටුවෙන්නෙ නැතිව රංගන ශිල්පියෙක් විදිහට මෙවැනි අභියෝගයක් මම භාරගන්න ඕනෑ. අපි විවිධ විවිධ චරිත කරලා බලාපොරොත්තු වෙන්නේ හොඳ නරක කියන කාරණා දෙකම තමයි. මටම පුදුමයි මේ වගේ චරිතයක් මට කරන්න පුළුවන් වුණා කියන එක සම්බන්ධයෙන්.
චානුක කියන්නේ පුංචි තිරයේ අතිශය කාර්යබහුල නළුවෙක්.
අනේ ඔව්. ඇත්තටම කාර්යබහුලයි. මගේ පෞද්ගලික වැඩක්වත් කරගන්න දවසක් නැති තරමටම මම කාර්යබහුලයි. මේ හැමදේම කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මම කලාවට ආදරෙයි. අපිට මේ ලැබෙන ජනප්‍රියත්වය වගේම රංගන අවස්ථාව වැනි හැමදේම ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකට. ඉතිං මේ හම්බවෙන වැඩවලදී මට කරන්න පුළුවන් චරිතයක් නම්, ඒ වගේම බලන්න පුළුවන් ටෙලිනාට්‍යයක් නම් මම හිතනවා මට කොච්චර අමාරුවුණත් ඒක අතහරින්නේ නැහැ කියලා.
චානුක රඟපෑ මීෂා, සිරි, මායාවි, අමුතු සංක්‍රාන්තිය, ඔබ එන්න ඇවිත් යන්න කියලා ටෙලිනාට්‍ය පහක් මේ දිනවල විකාශය වෙනවා. ඔය අතරේ ඔහු රංගනයෙන් දායක වුණ තවත් ටෙලිනාට්‍ය හතරක් විතර විකාශය වෙන්න තියෙනවාලු.
මේ ටෙලිනාට්‍ය හතර නම් දැන්ම විකාශය වෙන්නේ නැතිවෙයි කියලා තමයි ඔහු කියන්නේ. මොකද ඒ ටෙලිනාට්‍ය දැන්ම විකාශය වුණොත් මිනිස්සුන්ට මාව දැකලා දැකලා එපාවෙයි කියලා වෙලාවකට හිතෙනවා. රංගන ශිල්පියෙක් විදිහට ප්‍රධාන නාලිකාවල ප්‍රධාන නාට්‍යවල ප්‍රධාන චරිත කරනවා කියන්නේ අමාරු කාර්යයක්. මම හිතනවා ඒ හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.
ගොඩක් නළුවන්ට චරිතවලට ආරාධානා ලැබෙන්නේ නැති කාලයක, චානුක දාන දාන නාලිකාවල ප්‍රධාන චරිතවල ඉන්න රහස ගැනත් අපි ඇහැව්වා.
මම හිතන්නේ ඒකට තියෙන්න ඕනෑ දක්ෂතාවය, කැපවීම වගේම වාසනාව. ඒ සියල්ල නැතිව මේ ගමන යන්න බැහැ. මොකද මට වඩා දක්ෂයෝ ඉන්න පුළුවන්. හැබැයි වාසනාව කියන දේ නැහැ. සමහර අයට වාසනාව තියෙනවා, දක්ෂතාවය නැහැ. ඒ සියල්ලම තිබුණත් කැපවීම නැති වුණොත් මේ ගමන යන්න බැහැ. මේ හතර පහම එකට සමබර වුණාට පසුව තමයි මේ සියල්ලම ලැබෙන්නේ. තරු ගුණය තියෙන්නේ ටික කාලයයි. මට නම් පෞද්ගලික ජීවිතයක් ඇත්තටම නැති තරම්. ඒ හැමදේත් එක්ක මේ දේවල් කරන්නේ මුදල් බලාගෙන නෙමෙයි, මිනිස්සුන්ගේ ආදරය වටින හින්දයි. මොකද පාරට බැස්සාට පසුව අපිට එක මොහොතකට හරි ළඟට ඇවිත් කතාබහ කරනකොට, ඒ චරිතය ගැන කියන කොට, ඇතිවන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ ගමන තවත් දිරිමත් වෙන්නේ අන්න ඒ වචන ඇහෙන කොටයි.