බ්‍රේන් වොෂ් හින්දා විහඟ ප්‍රේමය හමු වුණා-ලහිරු ප්‍රසාද්

gossiplanka image 1
මම ලහිරු ප්‍රසාද්. මගේ ගම අනුරාධපුරය. අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ කොළඹ. 2016 අවුරුද්දෙදි මම කොළඹ එන්නෙ නාට්‍ය හා රංගකලාව හදාරන්න වගේම කලාවට තියෙන ආසාවට. කොටින්ම කිව්වොත් උණට. ගමේ අපිට කොළඹ පහසුකම් නැහැ. ඉතිං අපි නවීන පහසුකම් එක්ක නාට්‍ය බලන්න වගේම ඉගෙනගන්නත් කොළඹටම එන්න ඕනා. දැනට මම පෞද්ගලික පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරනව. ඊට අමතරව මගේ ඇකඩමි එකේ වැඩකටයුතුත් කරගෙන යනව.


2019 අවුරුද්දෙ මම ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනව. ඒකෙ නම ‘බ්‍රේන් වොෂ්’. වේදිකාගත කළේ ටවර් හෝල් රඟහලේ. එතැනදි මට සංජීව පුෂ්පකුමාර අයියව මුණගැහෙනව. ඔහු ඇවිත් තිබුණෙ මගේ නාට්‍ය බලන්න. දර්ශන වාරය අවසානයේ ඔහු ස්ටේජ් එකට නැගල මං ළඟට ඇවිත් කතාකරල මට කියනව, මම අලුත් චිත්‍රපටයක් කරනව, ඒකෙ චරිතයක් ඔයාටත් තියෙනව, අපිට කතා කරන්න පුළුවන්ද කියල.


ඉන් පස්සෙ අපි ඒ ගැන ටිකක් කතාබහ කළා. ඒ කතාබහ අවසානයේ මම බොහොමත්ම සතුටින් ආරාධනය පිළිගෙන ‘විහඟ ප්‍රේමයට’ සම්බන්ධ වෙනව.


පසුගිය දවසක මේ නිර්මාණයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා. එදා පැමිණි බොහෝ දෙනකුගෙන් ‘රාජිතට’ ලැබුණෙ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්.


මේ මගේ දෙවැනි සිනමා නිර්මාණය. පළමු එක වුණේ සුනිල් සර්ගෙ කදිර දිව්‍යරාජ.


‘විහඟ ප්‍රේමය’ සිනමා නිර්මාණයේ රාජිත ගැන ලහිරු මේ විදිහට කතාකරගෙන යද්දි අපිට බාධා කරන්න හිතුනෙ නැහැ. සංජීව මීට කලින් ඔහුගෙ හැකියාව දකින්න ඇති. ඒත් එදා ගැලරියේ අසුන් ගත්තෙ, තමන්ගෙ නිර්මාණයේ චරිතයකට තෝරාගන්නා ශිල්පියාගේ හැකියාවන් සියැසින් දැකගැනීමේ අරමුණින් වෙන්නත් ඇති. කොහොම වුණත් ලහිරුට මේ ලැබෙන්නෙ සුවිශේෂී අවස්ථාවක්. මොකද ඔහුට චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණෙ අපේ රටේ සිටින ප්‍රවීණතම රංගවේදිනියක් වන සබීතා පෙරේරා එක්ක.


පිටපත බැලුවට පස්සෙ මම චරිතයට ගොඩක් කැමති වුණා. මොකද මට රඟපාන්න තිබුණෙ ප්‍රවීණ රංගන ශිල්පිණී සබීතා පෙරේරා මහත්මිය එක්ක. ඒ ලැබුණ අවස්ථාව ගැන මට ඉතාමත් සතුටුයි. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා සර් වගේ ජ්‍යෙෂ්ඨයන් එක්ක, ඩිනාරා පුංචිහේවා, අකලංක ප්‍රභාෂ්වර වැනි නවක ශිල්පීන් එක්ක රඟපාන්න ලැබීම මට ලැබුණ වටිනාම අවස්ථාවක්.


සංජීව අයිය මගේ අතට පිටපත දුන්නට පස්සෙ අපි ටික කාලයක් ගත්තා ඒ ගැන කතාබහ කරන්න. පිටපත ඩිවලොප් කරන තැන ඉඳන් චරිත වෙන් වෙන් වශයෙන් ගත්තාම කොහොමද ඒ චරිත තුළ ජීවත් වෙන්නෙ කියන තැන දක්වා අපි කතාබහ කළා. සංජීව අයියගෙ ගයිඩ්ලයින්ස් එක්ක වැඩ කරද්දි අපිට දැනුනෙ ස්ටේජ් ප්ලේ එකක් කරනවා හා සමානව. මොකද ඔහු හැම වෙලාවෙම අපෙන් ගත්තෙ හොඳම එක.


මේ කියන ‘හොඳම එක’ බිහි වෙන්නෙ අධ්‍යක්‍ෂවරයා ඔහුගේ මනසේ ඇඳුන චරිතය ශිල්පියාගෙන් දැකපු තැනදි. නිර්මාණයක සාර්ථකත්වයට මේ හොඳම එක එකෙන්ම බලපාන බව රංගන ක්‍ෂේත්‍රයේ හැමෝම දන්න කාරණයක්.


මට හැඟෙන විදිහට මෑත කාලයේ බිහි වුණ සිනමා නිර්මාණ අතරින් මිනිස්සුන්ගෙ හදවතට දැනෙන කථාංගයක් තමයි මේකෙන් කතා වෙන්නෙ. බලන ඕනෑම කෙනකුට සාම්ප්‍රදායික රටාවෙන් එහාට ගිය නිර්මාණයක් දැකගන්න පුළුවන්.


මේ අතර ලහිරු ටෙලි නිර්මාණ කිහිපයකටත් දායක වෙලා තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.


මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය දෙකක් මේ දවස්වල විකාශය වෙනව. හිරු නාළිකාවේ ‘ඔබ එන්න ඇවිත් යන්න’, ස්වර්ණවාහිනී නාළිකාවේ ‘හිරිපොද වැස්ස’. දෙරණ නාළිකාව වෙනුවෙන් මේ දවස්වල අලුත් ටෙලියක ෂූටිං කරනව.


පුංචි තිරය සහ රිදී තිරයටත් වඩා ලහිරුගෙ හිත ගත්තෙ වේදිකාව.


ටෙලි නිර්මාණවලට වගේම සිනමා නිර්මාණවලටත් එන්න කලින් ලහිරු කියන චරිතය දකින්නෙ වේදිකා නිර්මාණ වලින්. 2019 අවුරුද්දෙ යෞවන නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශය වෙනුවෙන් මම කරපු ‘බ්‍රේන් වොෂ්’ නාට්‍යය එම වසරේ හොඳම නාට්‍යයට හිමි සම්මානය ඇතුළු සම්මාන අටක් දිනාගන්නව. හොඳම නළුවා, හොඳම කොරියෝ ග්‍රැපි, හොඳම නාට්‍ය නිර්මාණයට හිමි සම්මාන මට ලැබෙනව.


මේ අවුරුද්දෙත් යෞවන නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍යයක් වෙනුවෙන් පුහුණුවීම් සිදුකරනව.


තමන්ගෙ පළමු නිර්මාණයෙන්ම මෙච්චර සම්මාන ගත්ත ඒ නිර්මාණකරුවාගේ ගමන් මග මොන වගේද කියල රසිකයන් දැනගන්නම ඕනා.


මගේ වේදිකා ගමන පටන්ගන්නෙ පාසලේ 6 වන පන්තියේදි. ඒක සිද්ධ වුණේ මෙහෙමයි. දහම්පාසල් නාට්‍ය තරගාවලියකදි අපේ දහම් පාසලෙන් ඉදිරිපත් කළ නාට්‍යයෙන් මම හොඳම නළුවා වෙනව. ඒ මෝටිවේෂන් එකත් එක්ක මම හරිම ආසාවෙන් නාට්‍ය හා රංගකලාව විෂයය ඉගෙන ගන්නව. ඒ ගමන නතර වෙන්නෙ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව වශේෂවේදී උපාධියක් ලබාගෙන. නමුත් මම තවමත් ඉගෙනගන්නව, අලුත් දේවල් හොයනව. මැරෙනතුරාවට මේ ඉගෙනීම අවසන් වෙන්නෙ නැහැ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post