මේ දවස්වල කවුරුත් කතා කරන ‘සිප්පියා’ -නදීශාන් නිමේෂ්

gossiplanka image 1
  

 

කලාව යනු නිරන්තරයෙන් අලුත් වන නවක මුහුණු සහ ඔවුන්ගේ කුසලතාවන්ට ඉඩහසර වෙන්කර දෙන සුන්දර මෙන්ම අභියෝගාත්මක ක්ෂේත්‍රයකි. කුඩා කල සිටම සිත තුළ දැඩිව තිබූ රංගන සිහිනය හදවතේ තබා ගනිමින් රංගනය මෙන්ම තිරය පිටුපස සිටිමින් සහය නිෂ්පාදන කළමනාකරුවෙකුගේ ද අත්දැකීම් ලබමින් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට වෙහෙසෙන නව පරපුරේ රංගන ශිල්පියෙකුගේ කලාත්මක ගමන් මගේ තොරතුරු විමසා බලන්නට අපි මෙලෙස ඉඩකඩ වෙන් කළෙමු. ඔහු නමින් නදීශාන් නිමේෂ්.


ඔහුගේ කලාත්මක ගමනේ මුල්ම ආරම්භය සනිටුහන් වන්නේ සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය හෙවත් සුදර්ශියට පැමිණි ගමනෙනි. ඉන්පසුව සිග්මා කැම්පස් එකට සම්බන්ධ වන ඔහු, පසුව IMPAS ( Institute ofMedia and Performing Arts ) ආයතනය සමඟ එක්ව කලාව පිළිබඳව නිසි අධ්‍යාපනයක් සහ ඉගෙනීමක් ලබා ගෙන ඇත. ඔහුට කුඩා කාලයේ සිටම රංගනයට නළුවෙක් වීමට තිබූ ආසාව සහ හීනය සැබෑ කර ගැනීමේ පදනම වැටුණේ එම කලාත්මක අධ්‍යාපනික පසුබිම තුළිනි.


ඔහුගේ මුල්ම රංගන අත්දැකීම ලබන්නේ ‘කලම්බෝ’ නම් ටෙලි නාට්‍යයෙනි. එහි දී ඔහුට රඟපෑමට ලැබුණේ කුඩා චරිතයකි. එදා එම නාට්‍යයේ ඔහුට නිරූපණය කිරීමට තිබුණේ ගුටි කන චරිතයක් වුවත් එය ඔහුගේ රංගන ජීවිතයේ අමතක නොවන පළමු අත්දැකීම බවට පත් විය.


පසුව සිරස නාළිකාවේ විකාශය වූ ආලවන්තී ටෙලි නාට්‍යයේ රෙහාන්ගේ චරිතය හරහා ද ප්‍රේක්ෂකාදරය දිනා ගැනීමට ඔහුට හැකි විය.


මේ දිනවල ඔහු දෙරණ නාළිකාවේ විකාශය වන ‘කොළඹ කට්ටිය’ ටෙලි නාට්‍යයත් සමඟ එක්ව ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙයි. මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් වන අතර එහි පිටපත් රචනය සද්ධාමංගල සූරියබණ්ඩාර විසින් සුදු කර ඇත. මෙවැනි ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ඔහු පසුවන්නේ සතුටෙනි.


‘කොළඹ කට්ටිය’ ටෙලි නාට්‍යයේ තමන් නිරූපණය කරන චරිතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙවැන්නකි.


“නාට්‍යයේ ගමේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ කට්ටියක් ඉන්නවා. ඒකේ ලොක්කා එදිසිංහ අයියා. එයාගේ ගෝලයෙක් තමයි ‘සිප්පියා‘ කියන්නේ. ඒ සිප්පියා කියන චරිතය තමයි මම කරන්නේ.”


කලාවට තවමත් නවකයෙකු වන ඔහුට මෙම ටෙලි නාට්‍යය සම්පූර්ණයෙන්ම අලුත්ම අත්දැකීමකි. නාට්‍යය විකාශය වීමත් සමඟම ඔහුගේ ‘සිප්පියා’ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව නදීශාන් පවසන්නේ සතුටිනි. මුලින්ම ආලවන්තී ටෙලිනාට්‍යයත් සමඟ රංගනයෙන් දායක වී සිටි ඔහුට රඟපෑමට හැකියාවක් සහ ආසාවක් තිබෙන බව ජයප්‍රකාශ් සිවගුරුනාදන් වටහාගත් අතර ඒ පිළිබදව සද්ධාමංගල සූරියබණ්ඩාරට පැවසීමත් සමඟ ‘කොළඹ කට්ටිය’ ටෙලි නාට්‍යයට එකතු වීමට නදීශාන්ට අවස්ථාව හිමි විය.


“ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් මට හොඳ සහයෝගය ලැබුණා. ඒ වගේම දුශේනි මියුරංගි, පුබුදු ගමගේ, චමින්ද බටුකොටුව, මධුෂාන් හත්ලහවත්ත සහ කුසල් මදුරංග ඇතුළු රංගනයෙන් දායක වන සියලුම රංගන ශිල්පීන්ගෙන් සහ කොළඹ කට්ටිය ටෙලි නාට්‍යය කණ්ඩායමේ සියලු දෙනාගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මට ලැබෙන ඕනෑම චරිතයක් භාර ගැනීමට සූදානම්. යම් අභියෝගයක් විය හැකි ආකාරයේ සංකීර්ණ චරිත නිරූපණය කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ.“


රංගනයට අමතරව ක්ෂේත්‍රය තුළ සහාය නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ද වැඩ කටයුතු කරනු ලබයි. ඔහු පවසන පරිදි තමන්ට තවමත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන බවත්, මේ දවස්වල ඒ දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යන බවත් ප්‍රකාශ කරයි. දැනට කරගෙන යන වැඩ කටයුතු සමඟින් තවත් අලුත් අත්දැකීම් එකතු කරගනිමින් නව නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වීමට නිමේශ් බලාපොරොත්තුවෙන් සිටී.


ඔහුගේ රංගන කටයුතු සාර්ථක කර ගැනීමට පවුලේ අයගෙන් විශාල සහයෝගයක් ලැබෙන අතර, ඔවුන් ඔහු විසින් කරන නිර්මාණ නරඹමින් බොහෝ සේ රස විඳින බව ද සිහිකරයි.


“මගේ රංගන ජීවිතයට ශක්තියක් වූ විශේෂ පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනාවම මම ආදරයෙන් සිහිපත් කරනවා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ව ආදරෙන් මතක් කරනවා. ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළයි. විශේෂයෙන් සද්ධාමංගල සූරියබණ්ඩාර සර්වත් ආදරෙන් මතක් කරනවා. ධම්මික ගුණසේන අයියවත් මතක් කරන්න ඕනි මේ වෙලාවේ. ඕනම ප්‍රශ්නයක දී මගේ ළඟින්ම ඉදලා ලොකු හයියක් වෙන්නේ ඔහු . ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම නිෂ්පාදකතුමිය චේතනී විජේතුංග මිස් ඇතුළු හැමෝම ලබාදෙන සහයෝගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post