ආදරණීය තරුවක්’ හැමෝම අතර ආදරණීය සිනමා පටයක් වී හමාරයි. සති ගණනක් ඇතුළත් නොසිතූ ලෙස ආදායම් වාර්තා තබමින් ජයග්‍රාහී ගමනක නිරතව සිටින ‘ආදරණීය තරුවක්’ ගැන කතා කරන්න මේ සොඳුරු සිනමාපටයෙහි නිෂ්පාදන මෙහෙවරට දායක වූ, ඒ වගේම එහි ප්‍රධාන චරිතයට පණ පොවන ජනප්‍රිය ටෙලි සහ සිනමා නළු සාරංග දිසාසේකරව කතාබහකට මැදි කරගන්න එක ලෙහෙසි වුණේ නැහැ. හැබැයි සාරංග කියන්නේ මාධ්‍ය සමග හරිම සුහද, නිහතමානී කෙනෙක් නිසාම කොයිතරම් කාර්යබහුල වුණත් ‘මව්රට’ පත්තරේ ‘හාට්’ වෙනුවෙන් විනාඩි ගණනක් ඔහුගෙන් ඉල්ලා ගන්න අපට පුළුවන් වුණා ඔන්න. Sri Lanka Latest News
ඉතින් සාරංග පළමුවෙන්ම සුබ පතනවා ‘ආදරණීය තරුවක්’ සාර්ථකත්වය ගැන…
නිහතමානීව පිළිගන්නවා ඒ ශුභාශිංසනය.
මේ දවස්වල ඔබ වැඩිපුරම කාර්යබහුලව සිටින්නේ ‘ආදරණීය තරුවක්’ වෙනුවෙනුයි?
ඔව්. ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගි වෙනවා. ප්‍රේක්ෂකයන් හමුවට යනවා. ඒ හැම දේම අතර අනෙකුත් මගේ සුපුරුදු වැඩකටයුතුත් බැලන්ස් එකේ කරගෙන යනවා.
හිතුවද නිකමටවත් දිසාසේකර ෆිල්ම්ස් නිෂ්පාදනයේ පළමු මෙහෙවර මේ තරමට සාර්ථක වෙයි කියලා?
ඔව්. ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා ‘ආදරණීය තරුවක්’ සාර්ථක වෙයි කියලා. මොකද කියනවා නම් අපේ කෲ එකේ එකමුතුකම, කැපවීම, නිර්මාණ මෙහෙවර ගැන අපි හැමෝගෙම හිත් තුළ තිබුණු ආදරය සහ උනන්දුව නිසාම ‘ආදරණීය තරුවක්’ කඩාවැටෙන එකක් නැහැ කියලා මගේ හිතට දැනුණා.
ඒ කැපවීම ආදරය උනන්දුව ඇතිවුණේ ‘ආදරණීය තරුවක්’ පුවලේ නිර්මාණයක් වූ නිසාද සාරංග?
සමහර විට අපේය කියන හැඟීමත් එයට බලපාන්න ඇති.
නවක අධ්‍යක්ෂවරයෙක් සමග කුලුඳුල් නිර්මාණය කරන්න හිතුණු අවදානම ගත්තේ ඇයි කියලා ඇහුවොත්?
මම සිනමාවට අලුත් නිෂ්පාදකවරයෙක් විදියටයි මේ වැඩේට අතගැහුවේ. එහෙම බැලුවොත් මමත් නවකයෙක්. ඉතින් මගේ නවක හිතට දැනුණා මෙයට නැවුම් බවක් අලුත් මුහුණුවරක් දෙන්න. ඒ නිසයි මම දිල්ෂාන් අමරසිංහට ‘ආදරණීය තරුවක්’ මෙහෙවර භාරදෙන්න හිතුවේ. අනෙක මම ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ ටෙලිනාට්‍ය රංගනයෙහි යෙදුණා. ඔහු හරි අපූරුවට නළු නිළියන් මෙහෙයවන ආකාරය මම හොඳින් අධ්‍යයනය කළා. ඔහුට තව බොහෝ දේ කරන්න පුළුවන් නිර්මාණශීලී හැකියාවක් තියෙන බව මගේ හිතට වැටහුණා. ඉතින් ‘ආදරණීය තරුවක්’ ඔහුට භාරදෙන අවදානම ගන්න මම දෙපාරක් හිතුවේ නැහැ.
පිටපත් රචනයත් ඔබ භාරදුන්නේ නවක නිර්මාණ ශිල්පිනියකට?
දුල්හාරි ඉලංගකෝන් ගැන මට දෙන්න තියෙන්නෙත් දිල්ශාන් ගැන දුන්න කමෙන්ට් එකම තමයි. ඇය නිර්මාණශීලී තරුණියක්. වෙළෙඳ දැන්වීම් කලාව තුළ අලංකාර නිර්මාණ එළිදැක්වූ දක්ෂ ශිල්පිනියක්. ඇයට මෙහි තිරපිටපත භාරදිය යුතුය කියන තීරණය මම ගත්තෙත් ලොකු විශ්වාසයකින්.
ශනූව ප්‍රධාන චරිතයට ගත්තේ ඈ ඔබේ නෑනා නිසාද?
අපොයි කීයටවත් ඒ හැඟීමට පළමුව ඉඩ දුන්නේ නම් නැහැ.
එහෙම නම් ‘ආදරණීය තරුවක්’ සඳහා ශනූ නියමයි කියන හැඟීම ආවේ කොහොමද?
ඔබේ ප්‍රශ්නය තුළම ඊට උත්තරය ඔබම දුන්නා. ඇත්තටම ‘ආදරණීය තරුවක්’ සඳහා ශනූ නියමයි තමයි. තරුණ පරපුර අතර සෝෂල් මීඩියාවල ශනූ සුපිරි තරුවක්. වයස් භේදයක් නැතිව හැමෝම ඈට ප්‍රිය කරනවා. අනෙක ඇයගේ රංගන හැකියාව පවා හොඳ මට්ටමක තියෙනවා. ඉතින් තව මොන කතාද? අපි ශනූව විවාදයක් නැතිවම තෝරාගත්තා.
අපි කිව්වේ කවුද සාරංග?
අපි කිව්වේ මමයි දිනක්ෂියි තමයි. ‘ආදරණීය තරුවක්’ හැඩ කරන්න සාර්ථක කරන්න අවශ්‍ය සියලු රස හරි අලංකාරව තෝරාගන්න ගළපා ගන්න දිනක්ෂි දුන්න සහාය මිල කරන්න බැරි තරමයි.
දිනක්ෂිට ‘ආදරණීය තරුවක්’ තුළ චරිතයක් තිබුණේ නැද්ද?
මම නිෂ්පාදනය කරන චිත්‍රපටය තුළ මගේ වයිෆ්ට චරිතයක් දිය යුතුයි කියන නියමයක් මගේ හිතේ තියා දිනක්ෂිගේ හිතේවත් තිබුණේ නැහැ. ඈ ඒ වගේ පටු කල්පනාකාරියක් නෙවෙයි. ඒ වගේම ‘ආදරණීය තරුවක්’ අද තියෙන්නේ කොතැනද, ඒ ජයග්‍රහණය වෙනුවෙන් තිරෙන් පිටුපස ඉඳගෙන ඈ මට දුන්න සහාය අතිවිශිෂ්ටයි. මගේ සැබෑ ජීවිතයේ මට ආලෝකය දෙන ආදරණීය තරුව ඇයයි.
පුංචි ශාරන්‍යා ගැනත් කතා නොකරම බැහැ නේද සාරංග?
අනිවාර්යයෙන්ම. ඈ ගැන කතා නොකර කොහොමද? ශාරන්‍යා කියන්නේ දක්ෂ නිළියක් කියන ප්‍රතිචාරය ‘ආදරණීය තරුවක්’ වෙනුවෙන් ලැබී අවසානයි. ඇයව මෙහෙයවන්න කැමරාව ඉදිරියට ඇයව ගෙන එන්න අපට ලොකු වෙහෙසක් දරන්න ඕනෙ වුණේ නැහැ. කළ යුතු දේ පුංචි ශාරන්‍යා හරිම ලස්සනට කළා. සමහර විට අපේ ව්ලොග්වලදි වගේම චැට් ෂෝවලට අපිත් එක්ක නිතර රංගනයෙහි යෙදෙන නිසා ඒ පෙරහුරුව ඇයට අත්වැලක් වෙන්න ඇති.
‘තාත්ති ඔයාගේ ඊළඟ ෆිල්ම් එකටත් මාව ගන්නවා නේද?’ කියලා ශාරන්‍යා ඔබෙන් අහනවා කියලයි ආරංචිය?
ආරංචිය හරියටම හරි. ශාරන්‍යාට ආයේ ආයේ රඟපාන්න හිතට ආසාවක් ඇවිදින් තියෙන්නේ. මගෙන් නෙවෙයි දිල්ෂාන්ගෙන් එයා ඉල්ලීමක් කළාලු. දිල්ෂාන් අංකල් ඔයාගේ ඊළඟ ෆිල්ම් එකටත් මාව ගන්නවා නේද කියලා.
එහි අදහස දිල්ෂාන්ගේ ඊළඟ ෆිල්ම් එකෙත් නිෂ්පාදන මෙහෙවරට අතගහන්නේ ඔබයි කියන එකද?
තවම ඒ ගැන යමක් හරියටම කියන්න අමාරුයි. කාලයට ඉඩ දීලා අපි ටිකක් බලාගෙන ඉමු නේද.
කොහොමත් සාරංග ඔබ සිනමා නිර්මාණවල දිගටම නියැළෙන කල්පනාවක ඉන්න බයයි පේන්නේ?
බොහෝ විට එය එලෙස සිදුවන ඉඩකඩ වැඩි වේවි. ඇත්තටම සිනමාවට සහ එහි නිෂ්පාදන මෙහෙවරට අතගැසීම ගැන මම හීන දැක්කා. ඒක මගේ ලොකු බලාපොරොත්තුවක් වගේම ආශාවක් වුණා. ‘ආදරණීය තරුවක්’ මෙලෙස බිහිවූයේ ඒ නිසයි.
ටෙලි සිනමාවෙන් සදහටම සමුගන්න වෙයිද සාරංග?
ඒ ගැනත් බලමු අපි. දැන්මම හරියටම හරි යන උත්තරයක් දෙන්න අමාරුයි.
තව එකම එක ප්‍රශ්නයක්. ‘ආදරණීය තරුවක්’ වෙනුවෙන් ඔබ ශනූ කෙරෙහි තැබූ විශ්වාසයට ඈ සාධාරණයක් කළාද?
ඒ ගැන කියන්න වචන නැහැ. ‘ආදරණීය තරුවක්’ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර දකින විට අසන විට ශනූව තෝරාගැනීම කොයි තරම් නම් වටිනවද කියන හැඟීම මට වගේම දිනක්ෂිටත් දැනුණා. අනෙක මගේ කුලුඳුල් සිනමා මෙහෙවර වෙනුවෙන් මගේ අම්මාගෙන් වගේම දිනක්ෂිගේ පවුලේ හැමෝගෙන්ම ලැබුණු සහාය ඉතා ආදරණීයයි කියන කාරණාවත් මෙහිදී කිව යුතුමයි.
මල්මි කෞෂල්‍යා