‘සුවහස්’ මට කොමඩි ලේබලය ගැලවෙන්න උදවු කළා -ෆෙරී ජොනතන්

gossiplanka image 1
 


ඒකාකාරී ටෙලි රටාවෙන් මිදී ප්‍රේක්ෂක සිත් වෙනස්ම මානයකට ගෙන යන අපූරු ටෙලි නිර්මාණයක් කෙරෙහි මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත. ‘දෙයියන්ගේම පිහිටයි’ නමේද නුහුරක් නැත. සමාජයට හොඳ නම පෙන්වමින් දෙවියන්ට මුවාවී හෝ සමාජයටම අකටයුතුකම් කරන මිනිසුන්ගේ සැබෑව හෙළිකෙරෙන ටෙලි නිර්මාණයක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැත. සුවහස් එහි ප්‍රධාන භූමිකාවයි. සුපුරුදු හාස්‍යබවින් මිදී සංකීර්ණ රංගනයක යෙදෙමින් ප්‍රධාන භූමිකාවට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ෆෙරී ජොනතන්ය. ‘සිහිනෙක තනිවෙලා’හි චළිඳු ලෙසින් ඔබ හමුවන්නේද ඔහුමය. අනෙක් පසින් හිරිපොද වැස්සේ බන්ධුකය. ෆෙරීගේ මේ වෙස් පෙරළිය ගැන අපි ඔහුගෙන්ම විමසා සිටියෙමු.


සුවහස් නිසා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම විඳිමින් සිටින ෆෙරීට ‘දෙවියන්ගේම පිහිටයි’ ගැන තිබුණේ මෙවන් අදහසකි.


“‘දෙවියන්ගේම පිහිටයි’ මං ප්‍රධාන භූමිකාවෙන් දායක වන අලුත්ම ටෙලි නිර්මාණය. දෙවියන් සහ දේවාල ආශ්‍රිතව දෙවියන්ට මුවාවෙලා අද සමාජයේ සිදුකෙරෙන බොහෝ අකටයුතුකම්, අයුක්තිසහගත දේ, අසාධාරණකම් ගැන තමයි මේ හරහා කතාබහට ලක්වෙන්නේ. මං ඒකෙ සුවහස්. අධ්‍යක්ෂණය ප්‍රගීත් ද සිල්වාගේ. තිරපිටපත සනත් හීන්කෙන්දගේ. ගයාන් වික්‍රමතිලක, මහේෂි මධුශංකා ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.


අනුරාධපුරය වගේ දුෂ්කර ගම්මානෙක ඉන්න සුවහස් කියන අහිංසක දුප්පත් තරුණයාව මැර බලයෙන් බියගන්වලා, කොළඹට ගෙන්න ගෙන ඔහු ලවා සමාජ විරෝධී වැඩ කරවගන්න මැර කණ්ඩායමක් ගැන ලියවුණු කතාවක්. සුවහස්ව වංචාසහගත විදිහට රවටලා දේපළ වංචනිකව උකස් කරවලා, සින්න වෙන තැනටම වැඩ කරවලා තමයි ඔහුව කොළඹට ගෙන්න ගන්නේ.“


ෆෙරී සුවහස් බවට පත්කිරීමේ කලාවද දෙවියන්ගේම පිහිටෙන් හොඳින්ම සිදුවී ඇති බවද පැහැදිලිය.


“චළිඳු හාස්‍යජනක චරිතයක් නිසා සුවහස්ට කොහෙත්ම ඒ පෙනුම දෙන්න බෑ. මුලින්ම අහිංසක පෙනුමට හිටිය සුවහස්ට කොණ්ඩෙ උඩට කරලා බැඳලා වෙනස්ම පෙනුමක් ගේනවා. අකමැත්තෙන් හරි ඔහුටත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. නොදැන වුණත් සුවහස් කොළඹට ඇවිත් කරන්නේ අවදානම් වැඩ. සුවහස්ට ආදරේ කරන්න තරුණියන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔහුව රවටලා කොළඹට ගෙන්නගත්ත කණ්ඩායමේ නායකයාගේ දුව. අනෙක් තරුණිය පොලීසියේ. මේ ආදර කතා අතරේ තමයි සුවහස්ගේ චරිතය ගලාගෙන යන්නේ. අද සමාජයේත් මේ වගේ දේවල් ඕනෑතරම් සිදුවෙනවා.“


සුවහස් නිසා තම රංගන දිවියේ ලොකු පෙරළියක් සිදුවෙමින් පවතින බව ෆෙරී සිනහමුසුව පැවසුවේය.


“මට මෙතෙක්කල් ලැබිල තිබුණ චරිත ගත්තොත් එක්කෝ සීරියස් කොමඩි. නැත්නම් කොමඩි. එහෙමත් නැත්නම් සෙල්ලක්කාර චරිත. හේල්‍යන් ටෙලි නිර්මාණයේ සහස් සහ ගුරුළු කියන්නෙ මගේ රංගන ජීවිතේ වෙනමම පැතිකඩක්. සුවහස් කියන්නේ මට වෙනමම වයිබ් එකක්.“


සුවහස් ගොඩනඟා ගැනීමට අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය සිහිපත් කිරීමට ෆෙරී අමතක නොකළේය.


“මම මීට කලින් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන භූමිකාවලට පණ පොවලා තියෙනවා. විශේෂයෙන්ම හේල්‍යන්හි ප්‍රධාන ද්විත්ව චරිතය. නමුත් දෙයියන්ගේම පිහිටයි ටෙලියේ සුවහස් ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අධ්‍යක්ෂ ප්‍රගීත් ද සිල්වා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම මුළු කණ්ඩායමම හරිම සපෝටිව්. හරිම විනෝදයෙන් වැඩේ කරගෙන යනවා.“


සුවහස්ට ලැබෙන අසීමිත ප්‍රතිචාර හමුවේ කොමඩි චරිතවලින් මඳක් ඈත්ව සිටීමට තීරණය කළ බවද ෆෙරී අප හා පැවසුවේය.


“මම කොමඩි චරිතවලට කොටුවෙලා හිටිය නිසා කවුරුත්ම හිතුවෙ නෑ මට මේ වගේ සීරියස් චරිත කරන්න පුළුවන් කියලා. මේ වෙද්දි ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් කල් මට ආරාධනා ලැබුණෙම කොමඩි චරිතවලට. අපි යම්කිසි චරිතෙකට කොටු වුණොත් ඒකෙන් මිදෙන්න හරිම අමාරුයි. ආරාධනා ලැබෙන්නෙම ඒ වගේ චරිතවලට. ඒ නිසා මං ටිකක් කොමඩි පැත්තෙන් අයින් වෙන්න තීරණය කළා. ‘සුවහස්’ මට ඒ කොමඩි ලේබලය ගැලවෙන්න උදවු කළා. දෙයියන්ගේ පිහිටෙන් මට දැන් ආරාධනා ලැබෙන්නෙම සීරියස් චරිතවලට. සුවහස් මගේ රංගන ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වත් හරි.


මේ වැඩේ සෝෂල් මීඩියා හරහා ගොඩක්ම පත්තු වුණා. දැනට ටීවී නාළිකාවල විකාශය වන ටෙලි නිර්මාණ අතරින් දෙයියන්ගේම පිහිටයි ඉහළින්ම ඉන්නවා. නම නිසාත් කතාව මාර විදිහට හිට් වුණා. මිනිස්සුන්ගේ කටේ නිතරම තියෙන වචනයක් නිසා ඒකත් බලපාන්න ඇති. මේ දවස්වල නම් අපිට පාරෙ බැහැල යන්නත් බෑ. හැමෝම දෙයියන්ගේම පිහිටයි කියනවා. ඊට අමතරව සිහිනෙක තනිවෙලා සහ හිරිපොද වැස්සත් මේ දිනවල විකාශය වෙනවා.“


ඔහු රංගනයෙන් දායක වී ඇති කුලුඳුල් සිනමා අත්දැකීමද ඉතාම නුදුරේදී තිරගත වීමට නියමිතය.


“මං කලාවට පිවිසෙන්නේ 2016 වසරේ. ඒ කෙම්මුර කළුවර ටෙලි නාට්‍යයේ ළමා නළුවෙක් විදිහට. ඊට පස්සේ ටිකිරි රත්නායකගේ මුතුකුඩ‍. දැන් හරියටම වසර දහයක්. මේ වෙද්දි මං රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ කිහිපයක්ම තිරගත වීමට නියමිතව තියෙනවා. ක්‍රිෂ් ඇන්තනීගේ අන්ලොක් සිනමාපටය තමයි මුලින්ම තිරයට එන්න තියෙන්නේ. ඊට අමතරව ගාමිණී හේවාවිතාරණගේ කළු දුමාරය.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post