මගේ සරසවි දිවියට රංගනය ආශීර්වාදයක් - පේෂිකා ඉෂානි

gossiplanka image 1
 


ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන නිවන්ත ප්‍රසාරගේ ‘මීෂා’ ටෙලි නිර්මාණය මේ දිනවල ප්‍රේක්ෂක හදවත් ශීඝ්‍රයෙන් ආකර්ෂණය කරගනිමින් තිබෙයි. එහි නිශානිගේ භූමිකාවට පණ පොවන නවක රංගන ශිල්පිනී පේෂිකා ඉෂානි ‘නීලසමනලී’ ටෙලි නිර්මාණයේ ‘රේණු ටීචර්‘ ලෙසින්ද මේ දිනවල ඔබ හමුවන්නීය. තවමත් උසස් අධ්‍යාපනය හදාරණ පේෂිකා නිසි හැදෑරීමකින් යුතුව වේදිකාව ඔස්සේ රංගනයට පිවිස තිබීමද විශේෂත්වයකි. පේෂිකා පුංචි තිරයේ ලද අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙලෙසිනි.


“පුංචි කාලෙ ඉඳන්ම මට රංගනය ගැන ලොකු හීනයක් තිබුණා. ඒ නිසා මම රංගනය ගැන හදාරන්න උනන්දු වුණා. මගේ මුල්ම රංගන ගුරුවරයා වෙන්නේ රන්දික විමලසූරිය සර්. ඔහුගේ ‘පටන් ගත්තා විතරයි’ වේදිකා නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තා. ඒක තමයි මගේ පළමුවැනි අත්දැකීම. ඊට පස්සේ ගාමිණී විජේවර්ධන සර් යටතේත් රංගනය හැදෑරුවා. සර්ගේ ‘නිදොස්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා වගේම විදෙස් ගුරුවරු 10 දෙනෙක් යටතේ රංගනය හැදෑරීමේ වටිනා අවස්ථාවකුත් හිමි වුණා.“.


වේදිකාවෙන් ලද අත්දැකීම පුංචි තිරයට පන්නරයක් කරගත් ඇය මේ දිනවල දිනපතාම ඔබ දෑස මානයට පැමිණෙන්නීය.


“මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශනය වන ‘මීෂා’ ටෙලි නිර්මාණයේ නිශානිගේ චරිතයට පණ පොවනවා. මට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙත් වේදිකාව හරහා. නිවන්ත ප්‍රසාර සර් මගේ වේදිකා නිර්මාණ දැකලා තමයි ඒ චරිතයට මාව සුදුසුයි කියලා විශ්වාස කරන්නේ.


නිවන්ත සර්ගෙන් ලැබෙන මඟපෙන්වීම මගේ කලා ගමනට ලොකු අත්වැලක්. හැම වෙලාවෙම සර් අපට කරන්න ඕන දේ පැහැදිලිවම කියලා දෙනවා. මේ අවස්ථාව මේ විදිහට කරන්න, මේ දෙබස මෙහෙම කියන්න, මේ හැඟීම මේ විදිහට පෙන්වන්න කියලා සර් අපිව හොඳින් ගයිඩ් කරනවා. ඔහු අපට කිසිම පීඩනයක් දෙන්නෙ නැහැ. අපේ විදිහට චරිතය කරගෙන යන්න ඉඩ දෙන ගමන්ම, අවශ්‍ය තැනදි විතරක් සර්ගේ අත්දැකීම් එක්ක අපව හරි පැත්තට අරගෙන යනවා. සර් මට අධ්‍යක්ෂවරයෙක්ට එහා ගිය රංගන ගුරුවරයෙක්. සර් එක්ක වැඩ කරන එක හැමදාම අලුත් අත්දැකීමක් වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්.“


පුංචි තිරයට ආධුනික වූ ඇයට නිශානිව අභියෝගයක් නොවන්නට කණ්ඩායමෙන් විශාල සහයෝගයක් ලැබුණු බවද ඇය පැවසුවාය.


“මමයි නිශානියි අතර සමානකම් තිබුණට නිෂානිගේ ජීවිත අත්දැකීම් සහ හැඟීම් මගේ සැබෑ ජීවිතයට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා නිශානි මට අභියෝගයක් වුණේ නැහැ කියන්නත් බැහැ. නිශානි හරහා මට අලුතෙන් දේවල් ගොඩක් ඉගෙන ගන්න තිබුණා. නිශානිව සාර්ථකව ගොඩනඟාගන්න ‘මීෂා’ කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් එක්ක වැඩ කරන එක හරිම සුන්දර අත්දැකීමක්. හැමෝගෙන්ම ලැබුණු සහයෝගයත් එක්ක රූගත කිරීම් හරිම පහසු වුණා.“


තවමත් විශ්වවිද්‍යාල සිසුවියක් වන පේෂිකාට නීල සමනලී රේණු ටීචර් වෙනස්ම අත්දැකීමක් වී තිබිණි.


මේ දිනවල සිරස නාළිකාවේ විකාශනය වන ‘නීල සමනලී’ ටෙලි නිර්මාණයේ රේණු ටීචර් කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඒක නිශානිට වඩා හාත්පසින්ම වෙනස්. ගුරුවරියකගේ චරිතයක් නිසා ඒ චරිතයේ වගකීම වැඩියි. ගුරුවරිය කියන ගෞරවනීය චරිතයට හානියක් නොවෙන්න චරිතය හොඳින් තේරුම් අරන්, හරිම පරිස්සමෙන් ඒ චරිතය කරන්න මම උත්සාහ කරනවා. මට මේ වගේ අභියෝගාත්මක චරිතයක් ලබාදුන්න නීල සමනලී අධ්‍යක්ෂ සමීර පියරත්න සර්ටත් මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ චරිතය ලස්සනට ලියන ප්‍රමෝද්‍යා වන්නිආරච්චි අක්කාටත් ගොඩක් ස්තුතියි. ඒ දෙන්නගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මට මේ චරිතය ගොඩක් ආදරණීය අත්දැකීමක් බවට පත්වෙලා තියෙනවා.“


නිශානී මෙන්ම රේණු ටීචර් ලෙසින් මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා සිටින පේෂිකා තම උසස් අධ්‍යාපන කටයුතුවලට හානියක් නොවන පරිදි රංගන කටයුතුවල නියැළෙන්නට උත්සුක වන්නීය.


“රංගනයත් එක්කම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගන්න මං උත්සාහ කරනවා. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයනය පිළිබඳ උපාධිය හදාරන අවසාන වසරේ සිසුවියක්. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි විතරයි. පවුලෙන් ලැබෙන සහයෝගය ගැන විශේෂයෙන්ම කියන්න ඕන. රූගත කිරීම් නිසා ගෙදරින් දුරබැහැර ගතකරන්න සිදුවන අවස්ථාවල වුණත් මගේ අම්මයි තාත්තයි මාව තේරුම් අරගෙන මගේ පස්සෙන්ම ඉන්නවා. ඒ දෙන්නගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය තමයි මගේ මේ ගමනේ ලොකුම ශක්තිය.“


තවමත් සිසුවියක වන ඇය සමාජ සේවා කටයුතුවලට දක්වන උනන්දුවද අගැයිය යුතුමය.


රංගනයට අමතරව මම සමාජ සේවා කටයුතුවලටත් උනන්දුවක් දක්වනවා. පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට විශේෂයෙන්ම සම්බන්ධ වෙනවා. පාසල්වල වගේම විවිධ ආයතනවල පරිසරය සම්බන්ධ දේශන සහ වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්ථා ලැබෙනවා. සමාජයට දෙයක් කරන්න ලැබෙනවා කියන්නෙ වටින දෙයක්. මම තවමත් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න උත්සාහ කරන කෙනෙක් විදිහට අද ඉන්න තැන ගැන පුංචි සතුටක් දැනෙනවා. අධ්‍යාපන කටයුතු කරන ගමන්, හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්නයි මගේ බලාපොරොත්තුව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post