මේක තනියම ගහපු ගේමක්– දර්ශන් තවරාජා

gossiplanka image 1
 


මම හැමදාම උදේට නැගිටල ෆෝන් එක අතට අරගෙන බලන්නෙ, මම සම්බන්ධ වුණ නිර්මාණයකට ඕඩියන්ස් එකෙන් ලැබිල තියෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද කියල. මම අලුතින්ම සම්බන්ධ වුණ ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ චිත්‍රපටය තිරගත වෙන්න පටන්අරගෙන තවම දවස් කිහිපයයි. මම දන්නව අපේ සිංහල ප්‍රේක්‍ෂකයන් මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලනව. ඒ අතර අපේ දමිළ ප්‍රේක්‍ෂකයනුත් මං වෙනුවෙන් ගිහින් මේ ෆිල්ම් එක නරඹනව මට දැකගන්න ලැබිල තියෙනව. ඒකනම් මාරම සතුටුයි. ඒක තමයි අපේ රටේ වෙන්න ඕනම දේ.


දර්ශන් තවරාජා, සිංහල සිනමාවේ දමිළ තරුව. ඔහුගේ ජීවිත කතාව අපි මීට කලින් ‘මීවිත’ මගින්ම ඔබට කිව්වා. ඉතිං අද අපි දර්ශන් එක්ක කතා කරන්නෙ ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය ගැන.


දර්ශන් විටෙක අපිට විලන් කෙනෙක්, එහෙමත් නැතිනම් දුෂ්ඨයෙක් විදිහටත් සිනමාව තුළ දකින්න ලැබෙනව. හැබැයි ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ තුළින් ඔහුව දකින්න ලැබෙන්නෙ ආදරණීය පෙම්වතෙක් විදිහට.


ඒත් ඇත්තටම දර්ශන්ට ලැබෙන්න තිබුණෙ විලන් චරිතයලු.


අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්ස අයියා සහ පිටපත් රචක අනෝමා අක්කා කතා වෙලා මුලින්ම මට කතා කළේ මේ ෆිල්ම් එකේ විලන් චරිතයට. මොකද තිළිණ අයියගෙ නිර්මාණවල මම රඟපාල තියෙන්නෙ විලන් චරිත නිසා.


ඒක සිද්ධ වුණේ මේ විදිහට.


එක දවසක් තිළිණ අයියා මට කතා කරල අහනව මගේ අලුත් චිත්‍රපටයේ විලන් චරිතයක් තියෙනවා, කරමුද කියල. මමත් හා කියල ඒ වෙනුවෙන් සූදානම් වෙන්න හිතුවා. ඒත් ආපහු විනාඩි දහයකට විතර පස්සෙ කෝල් කරල කිව්වා, දර්ශන් ඔයා මේකෙ මේන් කැරැක්ටර් එක කරන්න කියල. ඒ විදිහට තමයි දුෂ්ඨයෙන් වෙන්න හිටපු මම ප්‍රේමවන්තයෙක් වුණේ.


මීට කලින් මම ප්‍රධාන චරිතයක් කරල තිබුණෙ නැහැ. ප්‍රධාන චරිතයක් ඉමෝෂන් ගොඩක් එක්ක ප්ලේ කරන්න ඕනා. ඒ නිසා මේක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් මට බයක් නොවී ඒකට මුහුණ දෙන්න එකම හේතුව වුණේ තිළිණ අයියා. ඔහුට පුළුවන් ඔහුට අවශ්‍ය විදිහට මාව හසුරුවන්න. මම හිතනව ඒක සාර්ථක වුණා කියල.


රංගන ශිල්පියෙක් හිතන්න පුළුවන් මම හීරෝ වෙන්න ඕනා, මාස් හීරෝ කෙනෙක් වෙන්න ඕනා, තමන් කරන විහිළු වලට ප්‍රේක්‍ෂකයන්ට හිනා යනව කියල තමන්ටම හිතෙන්න පුළුවන්, තමන් විලන් කෙනෙක් කියල තමන්ම කියාගන්න පුළුවන්, නමුත් අවසානයේ ඒක තීරණය කරන්නෙ ප්‍රේක්‍ෂකයා. ඔවුන් දකින දේ, ඔවුන්ට දැනෙන දේ එක්ක තමයි රංගන ශිල්පියාට හෝ ශිල්පිණියට ගැළපෙන්නෙ මොන වගේ චරිතයක්ද කියන දේ තීරණය වෙන්නෙ.


ප්‍රේක්‍ෂකයාට කලින් දර්ශන් තිරයේ දකිනව තමන්ගෙ රංගනය. ඔහුට ඒ වෙලාවෙ මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇතිද.


ෆිල්ම් එක බලද්දි මට හිතෙනව, ධන මම ඒක කරනව. ඒ තනියම නෙමෙයි, ඩිරෙක්ටර්ගෙ, පිටපත් රචිකාවියගෙ, සංගීත, කැමරා සහ අනෙකුත් සියලුම ශිල්පීන්ගේ සහයත් එක්ක.


මට වැඩිපුරම රඟපාන්න තිබුණෙ අභිලාෂි සහ පූජනී එක්ක. ඔවුන් දෙදෙනාටම වැඩිය මම ජූනියර්. නමුත් මේ වැඩේදි සියලුම දෙනාගෙන් මට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා.


දර්ශන්ගෙ පෞද්ගලික විස්තර මීට කලින් අපි ඔබට කියල තියෙනව. අදත් අපේ කතා බහේදි ඔහු ඒ විස්තර මතක් කළා.


දර්ශන්ට කලාවට එන්න, සිනමාවට එන්න උදව් කරන්න කෙනෙක් හිටියෙ නැහැ. ඔහු තමන්ගෙ ගමන ගැන අද කියන්නෙ මේ වගේ කතාවක්.


මගේ ගම කොළඹ කොටහේන. පවුලේ ඉන්නෙ අම්මයි, අක්කයි, මමයි. පාසල් ගියේ කොටහේන විවේකානන්ද විද්‍යාලයට. උපතින්ම දමිළ ජාතිකයෙක් වුණ මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මේක තනියම ඉගෙනගෙන තනියම ගහපු ගේමක්. ඇත්තටම මං වගේ ගමනක් ආපු කෙනකුට ප්‍රේක්‍ෂකයන් දෙන මේ ආදරය මට මැජික් එකක්. මේ වෙලාවෙ මට ගැම්මෙන් එක දෙයක් කියන්න පුළුවන්. අද වුණත් මම මේ ක්‍ෂේත්‍රයෙන් යන්න ලෑස්තියි. මොකද දවසක මට සතුටු වෙන්න පුළුවන් ප්‍රේක්‍ෂක ආදරයක් මට ලැබිල තියෙනව. ඒක වෙන කාටවත් ලැබෙයිද කියල මම දන්නෙත් නැහැ. නමුත් මට මේ ලැබුණ දේ තවත් කෙනකුට ඩිලීට් කරන්නවත් අන්ඩූ කරන්නවත් බැහැ.


ගොඩක් දක්‍ෂ කෙනෙක් වුණත් මිනිස්සුන්ට සලකන විදිහත් එක්ක එයාලට වරදින්න පුළුවන්. මං ළඟ තියෙන්නෙ දක්‍ෂතාව නෙමෙයි, ආදරය විතරයි. මම හැමෝටම සලකන්නෙ ආදරෙන්. ඒක තමයි මගේ පවර් එක. මොකද මම දක්‍ෂතම ඇක්ටර් කෙනෙක් නෙමෙයි, හොඳටම රඟපාන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, නළුවකුට තියෙන්න ඕනා ටැලන්ට් තියෙන කෙනෙක් නෙමෙයි. රඟපාන්න එනකොට සිංහල භාෂාව හරියට කතාකරන්න බැහැ, පිටපතක් දුන්නාම කියවාගන්න බැහැ. ප්‍රේක්‍ෂකයන් මගේ වීඩියෝවලට දාපු කමෙන්ට්ස් වලට රිප්ලයි කරල තමයි සිංහල ඉගෙනගත්තෙ. ඉතිං මේ ගමන වගේම මාවත් හැදුවෙ ප්‍රේක්‍ෂකයො කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි.


දැනට මම චිත්‍රපට හතරක වැඩ කරල තියෙනව. තවත් එකක වැඩ නොවැම්බර් මාසයේ පටන්ගන්න නියමිතව තියෙනව. ඊට අමතරව සෝනු මන්දාරා සහ රොන් සොයා කියන ටෙලි නාට්‍ය දෙකත් විකාශය වෙනව.


අවසාන වශයෙන් දර්ශන් අපිට ඔහුගේ බලාපොරොත්තු ගැන මේ විදිහට කිව්වා.


නළුවෙක් විදිහට මෙච්චර සම්මාන ගන්න ඕනා කියන ආසාවක් මට නැහැ. මේ වගේ නළුවෙක් වෙන්න ඕනා, මේ වගේ තැනකට යන්න ඕනා කියන බලාපොරොත්තුවක් නැහැ. මෙච්චර හම්බ කරල මෙච්චර ලොකුවට ජීවත් වෙන්න ඕනා කියන ආසාවක් නැහැ. මම කරන දේ හරියට මිනිස්සු අතරට ගිහින් ඔවුන්ගේ ආදරය මට ලැබුණොත් ඒ ඇති.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post