‘වාලම්පුරි’ මගේ පෞද්ගලික ජීවිතේට විශේෂ වූ කාරණයක්- ප්‍රියන්ත සිරිකුමාර

gossiplanka image 1
 මැලේසියානූ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවුණු ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර මෙවර සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින්ද අභිෂේක ලැබීය. රංගනයේ මෙන්ම වේශ නිරූපණයේද දස්කම්පාන ප්‍රියන්ත මේ වනවිට සිනමාවේ මෙන්ම පුංචි තිරයේද දිගු ගමනක් පැමිණ සිටියි. මෙවන් සම්මාන කලාකරුවකුගේ ඉදිරි ගමනට ලොකු දිරිගැන්වීමක් බව පවසන ප්‍රියන්ත අප හා කතාබහට එක්වීය.


මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා ඔබ. කොහොමද ඒ අත්දැකීම?


කලා ශිල්පියකුට සම්මානයක් ලැබීම කියන්නේ ලොකු දිරිගැන්වීමක් විදිහටයි මම දකින්නේ. තමන් යෙදිල ඉන්න විෂය යම් මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් අවස්ථාවක් විදිහට ලැබෙන සතුටට එහා ගිය සතුටක් එතැන තියෙනවා. නමුත් සම්මාන සහ සම්මාන උලෙළ කියන කාරණාව තවදුරටත් මට අලුත් අත්දැකීමක් නෙවෙයි. 89 වර්ෂයේ පටන්ගැන්මේ සිට මේ දක්වා ආපු ගමනේදී යෞවන නාට්‍ය, කෙටි නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා ආදී විවිධ අවස්ථාවල විවිධ සම්මාන උලෙළවල වේශ නිරූපණ ශිල්පියකු විදිහට වගේම රංගන ශිල්පියකු විදිහටත් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා වගේම නිර්දේශ වෙලත් තියෙනවා. හොඳ පිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයෙක් ලැබිලා ඒ වෙලාවට ඒ විෂය ඇතුළේ අදාළ කෘතිය ඉදිරියට ගෙනියන්න මහන්සිවෙලා වැඩ කරනවා මිසක් ඒ වෙලාවට සම්මාන ගැන නම් ඔළුවට එන්නෙ නැහැ. වෘත්තිකයන් හැටියට වෘත්තීය වගකීම් එක්ක කොහොමද අපි ක්ෂේත්‍රයේ ගමන් කරන්නේ හැසිරෙන්නේ කියන කාරණය තමයි ඔළුවෙ තියෙන්නේ.


මෙවන් අගැයීමක් කලාකරුවකුගේ ඉදිරි ගමනට කොතරම් වටිනාකමක් එකතු කරනවද?


සම්මාන උලෙළක ජූරිය සහ ශිල්පියා අතර තියෙන්නේ විෂය පිළිබඳ ගනුදෙනුවක් කියලයි මට හිතෙන්නේ. විෂය පිළිබඳ අවබෝධයකින් ශිල්පියා සහ ශිල්පය දෙස බලන ජූරියකින් දෙන යම්කිසි උනන්දු කරවීමක් එහෙම නැත්නම් එම විෂය ඉදිරියට පවත්වාගෙන යන්න දෙන අනුබලයක්, උදව්වක් විදිහටයි සම්මානයකින් ලැබෙන ප්‍රතිඵලය මම දකින්නේ. ශිල්පියාටත් තම ශිල්පීය දක්ෂතාව ඉදිරියට පවත්වාගෙන යන්න, තවදුරටත් අවබෝධ කරගන්න උපකාරී වන දෙයක්. නමුත් එය ඒ විෂයට අනුකූලව ඒ විෂය ඉදිරියට ගමන්කරවීම සඳහා දෙන ජූරි තීරණයක් නම් තමයි ඒක ක්ෂේත්‍රයට වැදගත් වන්නේ.


වාලම්පූරි ඔබේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් නේද?


වාලම්පුරි කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේටත් විශේෂ වූ කාරණයක්. මීට අවුරුදු කීපයකට කලින් කූඹියෝ ටෙලි නාට්‍ය විකාශය ඉවර වෙන කාලේ මම විහිළුවට කියපු කතාවකින් තමයි ලකාගෙයි මගෙයි ගනුදෙනුව පටන් ගත්තේ. “හරි වැඩේනෙ ලකා.. මිනිස්සු මගෙන් අහනවා ඇයි ඔයා කූඹියෝ එකේ නැත්තේ කියලා” දවසක් මම විහිළුවට වගේ ලකාට කිව්වා. “අයියේ මම ෆිල්ම් එකක් කරනවා. අයියා ඒකෙ මේන් රෝල් එක කරනවා“ කියලා ලකා මං හිතුවෙවත් නැති සීරියස් උත්තරයක් දුන්නා. අවුරුදු ගාණක් රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයේ වැඩකරගෙන එද්දී තමයි මේ විදිහට චිත්‍රපටයක් සඳහා අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වගේම ඊටත් ගොඩක් කලින් ඉඳන් නෙළුම් කුලුන අධ්‍යක්ෂ ඉලංගෝ රාම් මට කියලා තිබුණා


“මම ෆිල්ම් එකක් කරද්දී අයියා ඒකෙ මේන් රෝල් එක කරනවා” කියලා. කොහොමහරි ලකාගෙන් තමයි මුලින්ම ඒ අවස්ථාව ලැබුණේ.


ඒ කියන්නේ වාලම්පූරිහි සිඩ්නි ඔබේ ජීවිතයට ආශීර්වාදයක් වුණා?


ඔව්. කිව්ව විදිහටම ලකා සිඩ්නිව අරන් ආවා. රංගන ශිල්පියකුට ලැබුණු එක්තරා විදිහක චරිතයක් විදිහට මං සිඩ්නිව සලකන්නෙ නැහැ. පුද්ගලයෙක් විදිහට මේ සමාජය නියෝජනය කරන්න පුළුවන් විදිහේ චරිතයක් කෙනෙකුට ආසාවෙන් ලැබෙනවා නම් වාලම්පුරි හි සිඩ්නිගේ චරිතය තුළ එය උපරිමයෙන්ම තිබුණා. විධිමත් අධ්‍යාපනය මඟහැරෙන තරුණ ජීවිතවලට මේ රට ඇතුළේ අත්දකින්න වෙන ඛේදවාචකය සිඩ්නිගේ චරිතය ඇතුළෙ තියෙනවා. මං ඒ චරිතය ඉහළින්ම භාර ගත්තා. ඒ චරිතය නිරූපණය කිරීමේ පරමාර්ථය ඇතුළේ මං විශාල සතුටක් ලැබුවා. සම්මානය වගේම සිඩ්නිගේ චරිතය ලැබීමත් මට විශාල සතුටක්. ඒ චරිතය මට ලබාදුන්නට ලකාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා බවට පත්වුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?


මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ මෙවර පැවැතුණේ නවවැනි වරට. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ නියෝජනය කළ නිර්මාණ. ලෝකයේ විශේෂ ජූරිවල නිර්දේශයට ලක්වුණු, සම්මානයට පාත්‍රවුණු ශිල්පීන් සහ නිර්මාණ ඒ සම්මාන උලෙළ නියෝජනය වන නිසා එහි ඉහළම තරගකාරීත්වයක් තියෙනවා. අපේ රිවර්ස්ටන් චිත්‍රපටයත් එවැනි සම්මාන උලෙළක සම්මානයට පාත්‍ර වීම විශාල සතුටක්. සම්මානයක් ලැබීමෙන් ඒ තුළ මටත් අවස්ථාවක් ලැබීම ලොකු සතුටක්. අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරු අපේ සිනමාවත් එවැනි උලෙළවලට ගෙනිහින් තියෙන නිසා මේ වනවිට ලංකාවේ සිනමාවත් ජාත්‍යන්තර සම්මාන උලෙළවලට අලුත් නැහැ. අපේ සිනමාව යම්කිසි විදිහකින් ලෝකයේ සිනමාව තුළට ගෙන යෑමට හෝ ඒ තුළ විශේෂත්වයක් ඇති කිරීමට කරන උත්සාහයට දායක වෙන්න ලැබීම ගැන විශේෂ සතුටක් තියෙනවා.


රිවර්ස්ටන් සිනමාපටයේ ඔබ දකින විශේෂත්වය මොකක්ද ?


රිවර්ස්ටන් මේ වෙද්දි අන්තර්ජාතික සම්මාන රැසකට හිමිකම් කියනවා. ඒ තුළ කතාබහට ලක්වන ප්‍රස්තුත විෂය වගේම අධ්‍යක්ෂණයත් ඒ සඳහා හේතුවුණා කියලා හිතනවා. එහි එන චරිත හතරම ප්‍රධානයි. එවැනි ඇසකින් ජූරිය ඒ දෙස බැලීම සුවිශේෂීයි. හොඳම නළුවා හැටියට වගේම හොඳම සහාය නළුවා හැටියටත් චරිත කිහිපයක්ම සම්මානිත වුණා වගේම නිර්දේශ වෙලත් තියෙනවා. ජූරිය බලන කෝණය අනුව වෙනස් වෙවී ගමන් කරන චිත්‍රපටයක් විදිහට රිවර්ස්ටන් මේ වනවිට ලෝකයේ සුවිශේෂී චිත්‍රපටයක් බවටත් පත්වෙලා තියෙනවා.


ඡායාරූප- නිශ්ශංක විජේරත්න

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post