නවක සිනමාකරුවෙක් අඩු පිරිවැයකින් නිර්මාණය කරන ලද සිනමාපටයක් කෙරෙහි මේ දිනවල කාගේත් අවධානය යොමුවි ඇත. ඒ, ස්වාධීන සිනමා නිෂ්පාදනයක් ලෙස නිපදවන ලද Obsession ය. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙම සිනමාපටය නමගිය Blockbuster මාලා චිත්‍රපට සමඟ හරි හරියට තරග කරමින් ලොව පුරා ඩොලර් මිලියන 377 ක ඉපැයුම් සමඟ ඉහළ මට්ටමක විචාරක අවධානයකටද පාත්‍ර වීමය.
Obsession අධි ස්වභා (Supernatural) – සංත්‍රාස (Horror) ශානරයට අයත් චිත්‍රපටයකි. කතා වින්‍යාසය අනුව Baron Bear යනු සංගීත වෙෙළඳසැලක රැකියාවෙහි නියුතු තරුණයෙකි. ඔහුට තමා සමඟ එකට සේවයේ යෙදී සිටින Nikki Freeman නමැති තරුණියක කෙරෙහි ආකර්ෂණයක් ඇති වේ. Bear දිනක් Nikki ට තෑගි දීම පිණිස සෙල්ලම් බඩුවක් (One Wish Willow) මිලට ගනියි. මෙම සෙල්ලම් බඩුව නිර්මාණය කර ඇත්තේ යමකු ප්‍රාර්ථනාවක් කර එම බඩුව කඩා දැමූ විට අදාළ ප්‍රාර්ථනය ඉටුවන පරිද්දෙනි. Nikki ගේ ආදරය ඉල්ලමින් Bear සෙල්ලම් බඩුව කඩා දමයි. අනතුරුව Bear ට මුහුණ දීමට සිදු වන්නේ ඔහු සිහිනෙන් පවා නොපැතූ භයානක සිදුවීම් පෙළක් වෙතය.
සිනමාපටයේ තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ Curry Barker විසිනි. Barker මින් පෙර ජනප්‍රියව සිටියේ You Tube නිර්මාණකරුවෙක් වශයෙනි. ඔහුට අනුව චිත්‍රපටයට අදාළ කතා සංකල්පය උත්තේජනය වී ඇත්තේ සුප්‍රකට The Simpsons මාලා නාටකයේ ‘Treehouse of Horror 2’ නමැති කතා පෙළෙනි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන Michael Johnston (Bear) සහ Inde Navarrette (Nikki) යන දෙදෙනාම ඉන් පෙර රූපවාහිනී මාලා නාට්‍යවල කරන ලද රංගනයන් පසෙක තැබුවහොත් රිදී තිරයට ඔවුන් නවක මුහුණුය. මීට අමතරව Cooper Tomlinson (Ian) සහ Megan Lawless (Sarah) ලෙස රංගනයේ යෙදේ.
මෙහි කැමරාව හැසිරවීම Taylor Clemons, සංස්කරණය අධ්‍යක්ෂ Curry Barker සිදු කරයි. සංගීතය Rock Burwell වෙතිනි. සිනමාපටයේ නිෂ්පාදන සැලසුම්කරණය (Production Design) සිදු කර ඇත්තේ Vivian Gray විසිනි.
රූගත කිරීම් ආරම්භ වූයේ 2024 ඔක්තෝබර් මස අගදීය. එම ක්‍රියාවලිය සුමට කරගැනීම සඳහා අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂවරයා එකතුව අපූරු ක්‍රමයක් අනුගමනය කළහ. එහිදී රූගත කිරීමේ ස්ථාන සියල්ල ත්‍රිමාණ පරිලෝකනය (3D Scanning)ට ලක් කිරීම මඟින් ඩිජිටල් මොඩලයන් සෑදීම සිදු කෙරිණි. මෙම ක්‍රමය හදුන්වන්නේ ඩිජිටල් පූර්ව දෘෂ්ටි කල්පනය (Digital Previsualization) යනුවෙනි. රූගත කිරීම් සිදු වූයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය ආශ්‍රිතවය. ඒ, මූලික අදියර දින 26 ක් සහ නැවත රූගත කිරීම් (reshoot) දින 20 ක් වශයෙනි.
Barker චිත්‍රපටය සංස්කරණය සිදු කළේ ඔහුගේ නිදන කාමරය තුළ සිටය. එහිදී One Wish Willow සමාගමේ පාරිභෝගික සේවා නියෝජිතයාගේ හඬට යොදා ගැනුණේ Barker ගේ කටහඬයි. එම කටහඬ පටිගත කරන ලද්දේ ඔහුගේම ජංගම දුරකථනය ආධාරයෙනි.
2025 සැප්තැම්බර් මස 05 දින Obsession හි මංගල දර්ශනය පැවැත්විණි. ඒ, සුප්‍රකට Toronto International Film Festival (TIFF) හිදීය. ඉන් දින දෙකකට පසු Focus Features විසින් සිනමා පටය ලොව පුරා බෙදා හැරීමේ අයිතිය ඩොලර් මිලියන 15 ක මුදලකට ලබා ගැනීමේ එකඟතාවට පැමිණියේය. එය TIFF ඉතිහාසයේ ශානරීය චිත්‍රපටයක් වෙනුවෙන් ලංසු තැබූ ඉහළම මිල විය. චිත්‍රපටය අෙමරිකා එක්සත් ජනපදය තුළ බෙදා හැරීමේ අයිතිය Universal Pictures International සතු විය.
තිරගත වීමත් සමඟ Obsession බොක්ස් ඔෆිස් දර්ශකවල බලාපොරොත්තු වූ මට්ටමද ඉක්මවමින් සාර්ථක විය. සිනමාශාලා 2615 ක් පුරා තිරගත කරමින් ප්‍රථම සතිය තුළ පමණක් උපයා ගත් ආදායම ඩොලර් මිලියන 17.2 කි. එම අගය දෙවැනි වූයේ Michael සහ The Devil Wears Prada 2 යන සිනමාපට ද්විත්වයට පමණි. උක්ත චිත්‍රපට දෙකම හොලිවුඩ් චිත්‍රාගාර වල සහයෝගය ලද Blockbuster නිර්ණායක යටතට ගැනෙන නිර්මාණ වන පසුබිමක Obsession හි මෙම වික්‍රමය සමස්ත ස්වාධීන සිනමාවම ලද ජයග්‍රහණයක් බව සටහන් කර තැබිය යුතුය. මුදාහැර තෙවන සතිය ඉක්මවන විට Focus Features විසින් එදා මෙදා තුර බෙදා හරින ලද සිනමාපට අතුරින් ඉහළතම ආදායමක් ලබාගත් චිත්‍රපටය වශයෙන් Obsession අබිසෙස් ලැබීය. සිව්වන සතිය ඉක්මවන විට තවත් සුවිශේෂී වාර්තාවක් ගැන කියැවිණි. සිනමා උලෙළකින් උකහා ගෙන පුළුල් මුදාහැරීමකට ලක් කිරීම මඟින් සිනමාපටයක් උපයාගත් ඉහළතම ආදායම වාර්තා කිරීමට Obsession සමත් විය. එහිදී බිඳවැටුණේ The Blair Witch Project (1999) සතුවූ ඩොලර් මිලියන 248.6 වාර්තාවයි.
The Hollywood Reporter සඟරාවේ Aaron Couch පවසා ඇත්තේ Obsession ද ඊට සමගාමීව නිකුත් වූ Kane Parsons ගේ Backrooms ද එකට ගෙන බැලූ විට හොලිවුඩය වර්තමානයේ අධි පිරිවැයක් දරා නිපදවන මාලා චිත්‍රපට (Franchises) වලින් මිදී අඩු මුදලකින් නිපදවිය හැකි නවමු සංකල්ප කෙරෙහි යොමු වීමේ ලකුණු පහළ වී ඇති බවයි.
Obsession චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය වශයෙන් වාර්තා වන්නේ ඩොලර් 75,000 කි. එය සෙසු හොලිවුඩ් නිපැයුම් සමඟ සැලකූ කල අතිශය අවම අගයකි. නමුත් Obsession ආදායම් ඉපැයීම සහ විචාරක පැසසුම් අතින් සෙසු දැවැන්ත සිනමාපට පරයමින් ඉදිරියට පැමිණ තිබේ. මේ හරහා අපට එක් දෙයක් පැහැදිලි වේ. එනම් චිත්‍රපටයක සාර්ථක භාවය උදෙසා ඒ වෙනුවෙන් කොතරම් මුදලක් වියදම් කළේද යන්න ද්විතීයික සාධකයක් බවයි. වඩා වැදගත් වන්නේ සිනමාකරුවා සිය නිර්මාණය හදවතට එකඟව සහ ප්‍රේක්ෂකයාට රසවිඳිය හැකි ලෙස සිනමාත්මක අයුරින් ඉදිරිපත් කිරීමයි.