සමාජයේ තියෙන එහෙත් කවුරුත් කතා නොකරන මාතෘකා කරළියට ගෙනත් පුංචි තිරයේ කතිකාවතක් ඇතිකරන කතානායකයෙක් පසුගිය දවසක අපිට මුණගැසුණා. ඔයාලට මතකද වීදුරු තිර, නැතිනම් පහේ ළමයි වගේ ටෙලි නිර්මාණ. මේ ටෙලිකතාවල නිමැවුම්කරු තමයි ශාන් ජයරත්න. ඔය අතරේ ඔහු චිත්‍රපට දෙකකුත් නිර්මාණය කරලා තියෙනවා. මේ දවස්වල ඔහු නිර්මාණය කළ අසංධිමිත එවැනි ආන්දෝලනාත්මක නිර්මාණයක්. ඔන්න මීවිත අපිටත් ශාන් එක්ක පොඩි කයිවාරුවක් ගහන්න වෙලාවක් හම්බවුණා.
අසංධිමිත නිර්මාණය වුණු තැනින්ම මේ කතාව ශාන් පටන් ගත්තා ඇත්තටම මට අසංධිමිත පිටපත ගැන මුලින්ම කියන්නේ ශලනි තාරකා. ඊට පසුව මම කියවලා බලද්දී තේරුණා ඒක ඉතාම විශිෂ්ට ගණයේ පිටපතක් කියලා. අන්තිමේ ශලනි තාරකා එක්ක එකතුවෙලා අපි අසංධිමිත නිර්මාණය කරන්න ආරම්භ කළා. පූර්ණිමා රණවක මහත්මිය නිෂ්පාදනයෙන් එකතුවෙලා තමයි අසංධිමිත අවසානයේ ටෙලිනාට්‍යයක් බවට පත්වුණේ.
අපි මෙහිදී කතාබහ කරන්නේ ගෘහස්ථ හිංසනය කියන කාරණාවයි. ගෘහස්ථ හිංසනය කියන කාරණාව ගොඩක් කාන්තාවන් කතා කරන්න අකමැති නමුත් අත්විඳින මාතෘකාවක්. අපිට ඕනෑවුණේ සැඟවුණු සත්‍ය සහ ඒ සැඟවුණු ජීවිතවල තියෙන ප්‍රශ්න එළියට අරගෙන ඇවිත් ඔවුන්ට යම්කිසි අත්වැලක් සැපයීමටයි. මෙහිදී විවිධ පරාසයන්වල ජීවත්වන විවිධ පන්තිවල ජීවත්වන පවුල් ප්‍රමාණයක් අපි පෙන්වනවා.
ඇත්තටම අසංධිමිත වෙනුවෙන් අධ්‍යක්ෂවරයා විදිහට ඉතාම හොඳ ප්‍රතිචාර ෂාන්ට මේ වෙලාවේ ලැබෙනවාලු. ගොඩක් වෙලාවට මේ අත්දැකීම් ලබන කාන්තාවන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ ගලාගෙන එනවාලු. මේ ආකාරයේ සමාජ දැනුවත් කිරීම් තුළින් අපිට මේක වළක්වා ගැනීමට පුළුවන් යන අදහසේ ඔහු ඉන්නවා.
හැමෝම කතාබහ නොවන කතා, කතා කරන්නේ ඇයි කියන කතාවටත් ෂාන් උත්තරයක් දුන්නා.
ඇත්තටම මගේ සියලු නිර්මාණ දෙස ආපසු හැරී බැලුවොත් තියෙන්නේ ඒ වගේ මාතෘකාවන්. වීදුරු තිර, පහේ ළමයි ඊට හොඳම උදාහරණ. මගේ නිර්මාණ ඇතුළෙන් සමාජයේ වැරදි පෙන්වාදීමට තමයි නිතරම උත්සාහ ගන්නේ. ඒක යම්තාක් දුරකට අභියෝගයක් තමයි. නමුත් මම හිතනවා ඒ අභියෝගය සාර්ථක කරගත්තා කියලා.
ශාන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වන කන්නගි තුළින් කතාබහ කරන්නෙත් අසම්මත කතාවක්ද යන වග අපි විමසුවෙමු.
මෙච්චර කාලයකට ලංකාව ඇතුළේ කතා නොකරපු මාතෘකාවක් තමයි කන්නගි ඇතුළෙත් තියෙන්නේ. එහි විශේෂත්වය වන්නෙ කන්නගි කියන්නේ මගේ පළමු තිර රචනය. මීට වසර පනහකට පෙර ලංකාවේ සිද්ධවුණ කතාවක් හැටියට තමයි මම මේක ගොඩනැඟුවේ.
මොකද ප්‍රේක්ෂකාගාරය හැම වෙලාවේම බලාපොරොත්තුවෙන් හිටියා ක්‍රයිම් ත්‍රිලර්, සීරියල් ත්‍රිලර් වගේ මාතෘකා. අපේ සිනමාවට එවැනි නිර්මාණ කළේ නැහැ කියලා පොඩි දෝෂාරෝපණයක් තිබුණා. ඉතිං මම උත්සාහ කළා ඒක බිඳින්න. කන්නගි කියන්නේ ඒ වගේ නිර්මාණයක්.
කන්නගි නිර්මාණය බිහිකරද්දී ඇත්තටම තුෂාන්ත චන්දිම මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. විශේෂයෙන් කන්නගි කියන්නේ විශාල බරපැනක් යොදලා නිර්මාණය කරපු චිත්‍රපටයක්. මොකද මේකේ අපි අලි ඇතුන් පවා රූගත කිරීම්වලට සම්බන්ධ කරගත්තා. මගේ අනෙකුත් නිර්මාණ වන සරා සුසුම් හි ෂෙරාන් ජයසිංහ, අසංධිමිත ටෙලිනාට්‍යයේ පූර්ණිමා රණවක, පහේ ළමයි නිර්මාණයේ රුෂාන් පෙරේරා වගේ මාත් එක්ක හිටපු නිෂ්පාදකවරුන් මතක් කරන්න ඕනෑ.
ටෙලිනාට්‍ය හදපු ශාන් සිනමාවට එනකොට තිබුණේ මෙන්න මේ වගේ අභියෝගයන්ලු.
මගේ පළමු සිනමා නිර්මාණය කරනකොට මම සිනමාව ගැන කිසිම දෙයක් දන්නේ නැතිව හිටපු කෙනෙක්. මට හදිසියේ ලැබුණු ආරාධනාවකට අනුව තමයි සිනමාවට එන්නේ. දෙවැනි සිනමා නිර්මාණය කරනකොට තමයි හරියට සිනමාව කරන්න පටන් ගත්තේ. සිනමාව කියන විෂය මගේ පළමු සිනමා නිර්මාණයෙන් ඉගෙන ගත්තා කිව්වොත් නිවැරදියි. මේ වෙනකොට ඒ අභියෝගය ජයගත්තා කියලා හිතනවා.
ශාන්ට රඟපෑම ගැන ආසාවක් නැතිද කියලා මේ කතාබහේදී අපි අහන්න අමතක කළේ නැහැ.
මම හිතන්නේ ඇත්තටම මට ඒ කාලේ ඉඳලා රඟපෑම ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. මගේ කැමැත්ත තිබුණේ අධ්‍යක්ෂණ භූමිකාවට. මට තවමත් ඒ ගැන හැඟීමක් ඇවිත් නැහැ.
ශාන් ගොඩක් වෙලාවට වැඩකරන්නේ ශලනි එක්ක. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද කියන පැනයටත් ඔහුට දෙන්න උත්තරයක් තිබුණා.
විශේෂ හේතුවක් නැහැ. මගේ පළමු නිර්මාණයේ ඉඳලාම ඉන්නවා. දැන් වසර අටක ඉඳලා මේ නිර්මාණය කාර්යයේ අපි නොකඩවා වැඩ කරනවා. ඉතිං ශලනි තාරකා කියන්නේ මගේම සහෝදරියක් වගේ. අපි දෙන්නා අතර ලොකු මිත්‍රකමක් තියෙනවා. රංගන ශිල්පිණියක් විදිහට මම විශ්වාස කරනවා ඇය මේ වෙලාවේ ඉහළම ඉන්න රංගන ශිල්පිණියක් කියලා. මගේ නිර්මාණයන් ඇතුලේ ඇයට ගැළපෙන චරිතයක් තිබුණොත් සම්බන්ධ කරගන්නවා.
ශාන් ආපු ගමන් මග ගැන ආපසු හැරී බැලීමක් සිදුකළා.
මම අධ්‍යක්ෂවරයෙක් වෙලා අවුරුදු හතරක් වෙනවා. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයයි. මේ කෙටි කාලය තුළ මම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ඇතුළුව නිර්මාණ දොළහක් විතර අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. මම ඉන්න තැන ගැන සතුටුයි.
අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලොකු කට්ටක් කෑවා. මොකද ගොඩක් තැන්වල මීට කලිනුත් කියලා තියෙනවා. මගේ පෞද්ගලික වාහනය විකුණලා තමයි මගේ පළමු ටෙලිනාට්‍ය අක්ෂි නිර්මාණය කළේ. ඒක මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා ගත්ත ඒ තීරණය තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය. වාහනයක් විකුණලා ටෙලියක් හදපු ශාන් අද ඉන්නේ ඉමහත් සතුටින්. මොකද නිෂ්පාදකවරුන්ගෙන් දැන් ෂාන්ට හරි හරියට ආරාධනා ලැබෙනවා. අතීතයේ නිෂ්පාදකයෙක් හොයාගන්න බැරිව වාහනය විකුණලා ටෙලිනාට්‍යක් හදපු මට අද වෙනකොට නිෂ්පාදකවරුන් මම නිදහස් වෙන තැන දක්වා ගොඩනැඟෙන්න ලැබීම මම ලබපු ජයග්‍රහණයක්.