මේක වෙනස් වැඩක් – තෙල්මා මේඩිස්

gossiplanka image 1
 




මෙරට මොනෝ ඩ්‍රාමා (Mono Drama) හෙවත් ඒක පාත්‍රීය නාට්‍ය කලාව වෙනුවෙන් සුවිශේෂී නාට්‍ය උළෙලක් එළැඹෙන 2026 අගෝස්තු මස 04 වැනිදා කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර් (Borella Punchi Theatre) හිදී පැවැත්වීමට තියඩෝරා තෙල්මා තියටර් පදනම විසින් කටයුතු සූදානම් කර ඇත.


2026 කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ (CITF) අවසාන වටය සඳහා තේරී පත්වූ විශිෂ්ට නිර්මාණ දෙකක් සහ 2025 වර්ෂයේ එම උළෙලෙහි සම්මානයෙන් පිදුම් ලැබූ නාට්‍ය ද ඇතුළත්ව, එකම වේදිකාවක වෙනස්ම මානයන් හතරක් ඔස්සේ මෙම නාට්‍ය උළෙල දිගහැරේ. එහිදී වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ බානුල විජේසිංහගේ ‘171 පිටකොටුව’ ප්‍රවීණ අධ්‍යක්ෂිකා සහ රංගන ශිල්පිනී ශාස්ත්‍රපති තෙල්මා මේඩිස්ගේ ‘SALT and BLOOD’ ප්‍රවීණ අධ්‍යක්ෂ රන්දික විමලසූරියගේ ‘Unknown Writer’ සහ ප්‍රවීණ රංගන ශිල්පී මෙන්ම අධ්‍යක්ෂ ගාමිණී විජේවර්ධනගේ ‘සලිත සිත්’ යන විශිෂ්ට ඒක පාත්‍රී නාට්‍ය හතර එදින සවස 3.30 ට සහ සවස 6.30 ට වේදිකාගත වීමට නියමිතය. තියඩෝරා තෙල්මා තියටර් පදනමේ අධ්‍යක්ෂිකා තෙල්මා මේඩිස් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.


ඒක පාත්‍ර නාට්‍ය උළෙලක් සංවිධානය කරන්න හිතුවේ ඇයි?


ඇත්තෙන්ම මෙය වෙනස් වැඩක්. ඒක පාත්‍ර උළෙලක සංකල්පය මුලින්ම එන්නේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල හරහා. මෙහිදී දක්ෂ අධ්‍යක්ෂවරුන් පාත්‍ර නාට්‍ය ගණනාවක් නිර්මාණය කොට තිබෙනවා. මෙම ඒකපාත්‍රී නාට්‍ය සියල්ලම නිර්මාණය වූයේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල නියෝජනය කිරීමටයි. එහිදී අප මෙම නාට්‍ය උළෙල සඳහා සියලු දෙනා නිර්මාණය කරන ලද ඒක පාත්‍ර නාට්‍ය කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලෙන් අවසන් නොවී එම නාට්‍යය ලංකාව පුරා රැගෙන යෑමයි අප සියලු දෙනාගේ මේ ප්‍රයත්නය.


මේ නාට්‍ය උළෙලට සම්බන්ධ වන නාට්‍යකරුවන් කවුද?


මෙම නාට්‍ය උළෙලේ නාට්‍ය හතරක් රඟ දක්වනවා. එහිදී රන්දික විමලසූරිය විසින් අධ්‍යක්ෂණය කළ Unknown Writer ගාමිණී විජේවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ සලිත සිත්, බානුල විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ 171 පිටකොටුව සහ මා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Salt and Blood සිංහල වේදිකා නාට්‍යය රංග ගත වෙනවා. Salt and Blood වේදිකා නාට්‍ය යේ සිංහල අනුවාදය තමයි ඔබට එදාට දැකගන්න ලැබෙන්නේ.


ඒක පාත්‍ර නාට්‍ය උළෙලක් කරගෙන යෑමේදී මුහුණ දෙන අභියෝග මොනවාද?


ඒක පාත්‍ර නාට්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරයා, එහි රඟපාන නළුවන් සහ සියලුම ආනුෂාංගික ශිල්පීන් මූලිකව මනා නිරීක්ෂණයක් සේම එය හොඳින් අධ්‍යයනය කළ යුතු දෙයක්. මෙහිදී රඟපාන්නට ලැබෙන්නේ එක් චරිතයක් පමණයි. වේදිකාවේ සිටින මේ තනි රූපණ ශිල්පියා එම රංගනය කිරීමට මනා සංයමයක් සේම ඔහු තුළ ඉවසීම සහ සජීවීව සිදුවන අභියෝග ජයගැනීමට උපක්‍රමශීලී විය යුතුයි. අධ්‍යක්ෂවරයා ද රූපණ ශිල්පියාව මනාව අවබෝධ කර දිය යුතුයි. එමෙන්ම මෙම කලාවේම රූපණ ශිල්පියා මූලික කරගත් රංගන ක්‍රමවේදයක්. මෙය ලංකාව තුළ ව්‍යාප්තවීම ඉතා සුබ ලකුණක්.


කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලටත් ඔබේ නාට්‍ය තේරී පත්වී තිබෙනවා නේද?


ඔව්. මා විසින් අධ්‍යක්ෂණය කරන Salt and Blood ඒක පාත්‍ර නාට්‍යය දකුණු ආසියාතික තරග වටයට තේරී පත්වී ඇති අතර එය අගෝස්තු 23 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රංගගත වීමට නියමිතයි. මෙහිදී ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි අනුවාදයයි. විශේෂයෙන්ම මෙම නාට්‍ය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම නිර්මාණය කොට තිබෙනවා.


පසුගිය කාලයේ Resurrection of කුවේණිය සම්බන්ධයෙන් ඔබ නිර්මාණය කළ පර්යේෂණාත්මක නාට්‍යයට මොකද වුණේ?


ඇත්තෙන්ම Resurrection of කුවේණි නාට්‍යයට අදාළව පුහුණුවීම් සහ ඉදිරි මහජන ප්‍රදර්ශනවලටත් සූදානම් වනවා. එහි පර්යේෂණ කටයුතු තවමත් සිදුවෙනවා. විශාල පිරිසක් සමග ඉදිරියට යෑම සතුටක්. එහි පවතින රංග රීතීන් සහ කුවේණිය පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.


වේදිකා නාට්‍ය කලාවට වර්තමානයේ ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවද?


ප්‍රේක්ෂක රුචිකත්වය මත විවිධ නාට්‍යවලට ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවා. එය සතුටක්. නමුත් වේදිකා නාට්‍ය කලාව නව්‍ය මාවත් සොයායෑම අතිශය වැදගත් කාරණයක්.


මෙවැනි නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?


නිර්මාණකරුවකුගේ නිර්මාණයක් ඉදිරියට ගෙනයෑම ඉතාමත් වැදගත්. අප සියලු අධ්‍යක්ෂවරුන් එකමුතුව සිටිනවා. මෙමගින් ඒක පාත්‍රය නාට්‍ය සංකල්පය ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා සේම හොඳ නාට්‍ය ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම කිවයුතු කාරණය වන්නේ ජාත්‍යන්තර නාට්‍ය විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර රංග කලා උළෙල හරහා ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. මා හිතනවා එය ඉතාමත් ධනාත්මක රංග කලාවක ආරම්භයක්. අපට එකතුව නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමේදී අධ්‍යක්ෂවරුන් ගණනාවක් සිටින නිසා පහසුවක් වනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post