ඉගෙනගත්තේ ගණකාධිකාරිවරියක් වෙන්න-නෙත්මි රොෂෙල්

gossiplanka image 1
 


සාරංග මෙන්ඩිස් පළමු සිනමා අධ්‍යක්‍ෂණය ‘කල්පනා’, මේ දවස්වල රිදී තිරයේ දිගහැරෙනව. එහි කල්පනාගේ චරිතයෙන් ඔබ හමුවන ඇය නෙත්මි රොෂෙල්. මේ වන විට චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙන නෙත්මිගෙ තවත් නිර්මාණයක් තිරගත වෙන්නත් තියෙනව.


ඒ ගැන වගේම කල්පනා ගැනත් නෙත්මි අපිත් එක්ක ගොඩක් දේවල් කතා කළා. ඒ කතාබහ තමයි මේ විදිහට ඔබ හමුවේ පෙළගැස්වෙන්නෙ.


‘කල්පනා’ එනතුරු අපි වගේම දෙවෙනි ඉනිමෙන් පස්සෙ අපිට ආදරය කරපු ගොඩක් දෙනෙක් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ.


චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නෙ සාරංග මෙන්ඩිස්. ඔහු සහ ඔහුගේ බිරිඳ ශානිකා මෙන්ඩිස් තමයි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියල මට ආරාධා කරන්නෙ. මට ඔහුගෙ අධ්‍යක්‍ෂණය හුරුපුරුදුයි. මොකද දෙවෙනි ඉනිමේත් අධ්‍යක්‍ෂවරයා ඔහු නිසා. විශේෂයෙන්ම ඔහුගෙ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ආරාධනය කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනව.


‘කල්පනා’ පසුගිය 13 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළා. කියන්න සතුටුයි, අද වෙනකොට ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.


නෙත්මි ඒ වචන ටික කියන්නෙ ඇත්තටම සතුටින්. තමන් රංගනයෙන් දායක වුණ නිර්මාණයක් ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැලඳගන්නවා දකින තරම් සතුටක් කලාකරුවකුට තවත් නැහැ. නෙත්මිත් අද විඳින්නෙ ඒ සතුට.


නෙත්මි ගැන දැන් ගොඩක් දෙනෙක් දන්නව. ඒත්… කල්පනා කියන්නෙ මොන වගේ කෙනෙක්ද?


කල්පනා කියන්නෙ තමන්ගෙ පවුල මූලික කරගෙන, ඒ පවුලට ගොඩක් ආදරය කරන ගැහැනු ළමයෙක්. එයාගෙ තාත්තා නැහැ. ජීවත් වෙන්නෙ අම්මා එක්ක. මේ අතරතුර කෙනකුගෙ ආදරයක් ගැන එයා ලොකු බලාපොරොත්තුවක් තියාගන්නව. ඒ ආදරය ලැබෙන තුරු, කල්පනාගේ ජීවිතය ගලාගෙන යන විදිහ තමයි මේ නිර්මාණයෙන් දකින්න ලැබෙන්නෙ.


යම් චරිතයක් වෙනුවෙන් අපේ අතට පිටපතක් ලැබුණ මොහොතේ පටන් ඒක අපිට ලොකු අභියෝගයක්. මොකද චරිතයක් සාර්ථක වෙන්නෙ ඒ වෙනුවෙන් අපි කරන කැපවීම සහ මහන්සියත් එක්ක. ඉතිං මම හිතනව ඒ සාර්ථකත්වය ළඟාකරගන්න අපිට පුළුවන් වුණා කියල.


විවාදයක් නෑ. ආටිස්ට් කෙනකුගේ එකම හීනය වෙන්නෙ රිදී තිරය. නෙත්මි ඒ හීනයට යන්නෙ ‘කල්පනා’ට කලින්.


මං හිතන්නෙ ඕනෑම ආටිස්ට් කෙනෙක් ආසයි රිදී තිරයට එන්න. මටත් කාලයක් ඒ හීනය තිබුණා. ආදරණීය ප්‍රාර්ථනා සහ කම්බිලි, සිනමා නිර්මාණත් එක්ක මට මගේ හීනයට යන්න පුළුවන් වුණා. ආදරණීය ප්‍රාර්ථනා එක්ක මම හොඳම නිළියටත් නිර්දේශ වෙනව. කල්පනා කියන්නෙ මට ඒ වාසනාව ලැබුණ තුන්වැනි වතාව.


නෙත්මි දැන් රිදී තිරයේ ජනප්‍රිය තරුවක්. මේ නිසාම නිර්මාණකරුවන්ට ඇයව මගහරින්න බැරිවෙලා.


මගේ හතර වැනි සිනමා නිර්මාණය ‘එදා රෑ’. හැම ජෙනරේෂන් එකකම අය ආසා කරන කටහඬක් සහ කිසිවකුට අමතක කළ නොහැකි පුද්ගලයෙක් වන මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ජීවිත කතාව අලළා නිර්මාණය කෙරෙන මේ චිත්‍රපටයට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගේ චරිතය නිරූපණය කරන්න. මේ ගැන කතාබහ කරගන්න මුණගැහුණ වෙලාවේ, තමන්ගේ චරිතය වෙනුවෙන් මාව තෝරා ගැනීම ගැන එතුමිය ගොඩක් සතුටු වුණා. ඉදිරියේදී නිතර දකිනවාට වඩා වෙනස් පෙනුමකින් මාව දැකගන්න පුළුවන්.


රවීන් කණිෂ්ක කියන්නෙ නෙත්මිට බොහොම හුරු පුරුදු කෙනෙක්. ටෙලි නාට්‍යයෙන් පස්සෙ රිදී තිරයට අරගෙන එන මේ සහසම්බන්ධතාව කොතෙක් දුරට සාර්ථක වෙන්න ඇතිද.


රවීන් අයියව මුණගැහෙන්නෙ මම රංගන ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලෙ. ඒ යාළුකම අදටත් තියෙනව. මේ නිසා කතාබහ කරල ගොඩක් දේවල් හදාගන්න අපිට පුළුවන් වුණා. ඒ හැම දෙයක්ම නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවක් වෙන්න ඇති.


විශේෂයෙන්ම රොෂාන් අයියත් එක්ක වැඩක් කරන්න මම හරි ආසාවෙන් හිටියෙ. ‘එදා රෑ’ චිත්‍රපටයත් එක්ක මට ඒ අවස්ථාව ලැබෙනව. ඔහු ඉතාමත් හොඳ සහයෝගයකින් කටයුතු කළා.


නෙත්මිගෙ රංගන ජීවිතයේ ඇරඹුමට ඇරයුම ගෙනෙන්නෙ ඔහු. ඒ අරුණ ජයවර්ධන. අදටත් ඇය ඔහුව මතක් කරන්නෙ කෘතගුණ පූර්වකව.


අවුරුදු කුමරිය තරගයෙන් පස්සෙ මට මුලින්ම රඟපාන්න ආරාධනා කරන්නෙ අරුණ ජයවර්ධන අයියා. ඒ ඔහුගේ සක්කාරං ටෙලි නාට්‍යය වෙනුවෙන්. මගේ රංගන ජීවිතයේ පළමු අධ්‍යක්‍ෂවරයාගෙන් සිනමා නිර්මාණයකට ලැබුණ ආරාධනය මම ඉතාමත් සතුටින් භාර ගත්තා.


නෙත්මි රංගන ශිල්පිනියක් කියලනෙ හැමෝම දන්නෙ. ඒත් ඇයගේ අධ්‍යාපනය තිබුණෙ වෙනස්ම පැත්තකින්.


ඇත්තටම මම රංගන ශිල්පිනියක් වෙන්නෙ අහම්බයකින් වගේ. නමුත් මම ඒ වෙනකොට වරලත් ගණකාධිකාරිවරියක් වීමේ අරමුණින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදුකරමින් හිටියෙ. ඉතිං යම් විදිහකින් මේ අවස්ථාව මගහැරුණා නම් අද මාව රංගන ක්‍ෂේත්‍රයේ දකින්න ලැබෙන එකක් නැහැ. අහම්බයකින් හරි ලැබුණ මේ අවස්ථාවට අද මම හරි කැමතියි. මොකද අවුරුදු කුමාරිය වගේම රංගන ශිල්පිනිය කියන්නෙත් පුංචි කාලෙ ඉඳන්ම මට තිබුණ හීන දෙකක්. දැන් ඒ දෙකම සැබෑ වෙලා.


මෙතෙක් ලැබුණ චරිත හැම එකකටම මම කැමතියි. ඒ වගේම මෙතෙක් නොලැබුණ අන්ධ කෙනකුගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නව.


නෙත්මි ආසාවෙන් ඉන්න චරිතය ලැබුණොත් රසිකයන්ටත් වෙනස්ම අත්දැකීමක් වෙයි නේද.


ගොඩක් දෙනෙක් නෙත්මිව දකින්නෙ චාම් වගේම ලස්සන විලාසිතා කරන කෙනෙක් හැටියට. ඒ ගැන ඇය කිව්වෙ මේ වගේ දෙයක්.


මම ලස්සනට ඉන්න කැමති කෙනෙක්. නමුත් විලාසිතා කළාට එන එන හැම ටේ‍රන්ඩ් එකක්ම ෆලෝ කරන්නෙ නැහැ. මට ගැළපෙන දේ විතරක් අරගෙන


අනෙක් දේවල් කොච්චර අලුත් වුණත් මම ඒ විලාසිතා කරන්නෙ නැහැ.


මහේෂ් එදිරිසිංහඡායාරූප – සජීව ලක්‍ෂාන්ඇඳුම් – යූ. ආර්. බ්‍රයිඩ්ල් ඩේ‍රස්හැඩගැන්වීම – දිල්රුක්‍ෂි නාරංගොඩ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post