වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ‘නටත් අයෙක් සුරා මතින්’ නාට්‍යයේ වින්දකට -අමිරු කෝරළගේ

gossiplanka image 1
 

මතකද 5 සමත් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනා ගත් අමිරු කෝරළගේ. ‘නටත් අයෙක් සුරාමතින්‘ නාට්‍යය බලන අයට නම් අමිරු දැන් ප්‍රතිභාසම්පන්න නව යොවුන් රංගන ශිල්පියෙක් බව තහවුරු වී අවසන්. ළමා නළුවෙකු ලෙස ක්ෂේත්‍රයට ආ අමිරු දැන් ඉන්නේ භද්‍ර යෞවනයේ.



‘5 සමත්‘ චිත්‍රපටයේ ‘සමත්’ විදිහට මුළු රටක්ම හඳුනගත්ත ළමයා, අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ කාලය ගැන ආපහු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?


දැන් අවුරුදු නවයකටත් වඩා වෙනවා පහ සමත් චිත්‍රපටය තිරගත වෙලා. ඒත් ඒ කාලේ වෙච්ච හැම දෙයක්ම අද වුණා වගේ මතකයි. ආයෙත් ඒ කාලෙට යන්න තිබුණ නම් මං අනිවාර්යෙන් යනවා. ඒ කාලේ ‘පහ සමත්‘ චිත්‍රපටයට මට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබුණා. මං හිතනවා දැනට කරන නිර්මාණත් එක්ක නැවතත් මට ප්‍රේක්ෂක ආකර්ෂණය ඇතිවෙයි කියලා.


එදා ‘සමත්’ ගේ චරිතයට ඔබට ආරාධනාව ලැබුණු ඒ අතීත මතකය අලුත් කළොත්?


මට ඒ නිර්මාණයට ආරාධනාව ලැබෙන්නේ අහම්බෙන්. මම පාරේ සෙල්ලම් කර කර ඉන්නකොට අහම්බෙන් වාහනයක වැදුණු ක්‍රිකට් බෝලයක් නිසා තමයි මට තිර පරීක්ෂණයට ආරාධනාව ලැබෙන්නේ. බෝලෙ වදින්නේ තිරපිටපත් රචක රසික සුරවිරආරච්චි මාමාගේ වාහනයට.


මම එදා ගිය තිර පරීක්ෂණයෙන් ප්‍රධාන චරිතයට සුදුසුකම් ලබනවා.


ළමා නළුවෙක් විදිහට එක රැයකින් ලැබුණු ඒ දැවැන්ත ජනප්‍රියත්වය එදා පාසල් ජීවිතයට බලපෑවේ කොහොමද?


මම ඒ නිර්මාණය කරන කාලය වෙනකන් පාසලේ හිටපු සැඟවිච්ච චරිතයක්. නිර්මාණයත් එක්ක තමයි මම පාසලේ කැපී පේන්න ගන්නේ. පාසලේ තිබුණ විවිධ උත්සවවල දී මගේ හැකියාවන් පෙන්වල තියෙනවා. මගේ පාසලෙන් මට ලොකු පිළිගැනීමකුත් ලැබුණා.


‘5 සමත්‘ චිත්‍රපටයෙන් පස්සේ ඔබව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැති තරම්. ඒ කාලයේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබුණද?


විශේෂ හේතුව තමයි අධ්‍යාපනය. මම රඟපෑමත් එක්ක අධ්‍යාපනය සමබරව කරන් යන්න ගොඩක් උත්සාහ කරපු කෙනෙක්.


ඒ නිස තමයි මම වැඩිපුර නිර්මාණවල පෙනෙන්න හිටියේ නැත්තේ. අධ්‍යාපනයට ලොකු බාධාවක් නොවුණු පොඩි නිර්මාණ කිහිපයක් මං ඒ කාලෙදි කළා.


දිගු නිහඬතාවයකින් පස්සේ මෑතකදී ‘නටත් අයෙක් සුරාමතින්‘ ටෙලි නාට්‍යය හරහා ඔබ නැවත ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒකට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම ගොඩක් හොඳයි. මම කරපු නිර්මාණවලින් මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු නිර්මාණය විදිහට ‘නටත් අයෙක් සුරා මතින්‘ ටෙලි නාට්‍ය කියන්න පුළුවන්.


මම මට පුළුවන් හැම වෙලාවෙම අන්තර්ජාලයේ පළවෙන සියලුම ප්‍රතිචාර කියවන්න උත්සාහ කරනවා. ලැබෙන හොඳ ප්‍රතිචාර නිහතමානීව පිළිගෙන නරක ප්‍රතිචාරවලින් ඉගෙන ගන්න මං කැමතියි .


ළමා නළුවෙකුගේ සිට යොවුන් නළුවෙකු (Youth Actor) දක්වා වෙනස් වෙනකොට රංගනය කියන විෂය ඇතුළේ ඔබට දැනුණු අභියෝග මොනවාද?


ලොකුම අභියෝගය තමයි අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වෙන විදිය. ළමා නළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන රංගනයකට වඩා වැඩි දෙයක් යොවුන් නළුවෙකුගෙන් අධ්‍යක්ෂවරයෙක් බලාපොරොත්තු වෙනවා.


මම හිතනවා ‘නටත් අයෙක් සුරා මතින්‘ටෙලිනාට්‍යයේදි රොෂාන් මාමා බලාපොරොත්තු වෙච්චි විදිහට මට චරිතය නිරූපණය කරන්න පුළුවන් වුණා කියලා. අනිත් දෙය තමයි යොවුන් නළුවෙක් විදියට ක්ෂේත්‍රයේ තිබෙන තරගකාරීත්වය. ලංකාවේ දැනට රඟපාන යොවුන් නළුවො බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කිසි දෙයක් හිතට නොගෙන නිදහසේ චරිතය ඉදිරිපත් කිරීමට වගබලා ගන්නවා


ඔබ රංගනය සඳහා චරිත තෝරාගැනීමේදී විශේෂ සීමාවන් හෝ කොන්දේසි පනවාගෙන තිබෙනවාද?


ඒ චරිතය කරන්න මට පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා නම් විතරයි මම චරිතය තෝරගන්නේ.


ඔබ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දක්ෂ ආදි සිසුවෙක්. වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබනවා. කලාව සහ ගණිතය කියන්නේ හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. මේ දෙක එකට ගළපගන්නේ කොහොමද?


පිටතින් බැලුවම ගැළපෙන්නෙ නැහැ වගේ පෙනුනට ගණිතය සහ කලාව අතරත් එක හා සමාන ගුණාංග තියනවා. ගණිතයේදි එන තර්කානුකූල චින්තනය, රටා හඳුනා ගැනීම වගේ ගුණාංග, පිටපතේ ලියැවුණු චරිතයක් අධ්‍යයනය කිරීමේදී ගොඩක් උදවු වෙනවා.


මම විශ්වාස කරනවා පොඩි කාලේ මගේ රංගනයට වඩා, ඉගෙනීමත් එක්ක මං චරිතයකට ප්‍රවිෂ්ට වෙන විදිහ ගොඩක් වෙනස් කියලා.


විශ්වවිද්‍යාලයේ දේශන, විභාග අස්සේ රූගත කිරීම්වලට කාලය වෙන් කරගන්නේ කොහොමද?


විශ්වවිද්‍යාල ආරම්භ වුණාට පස්සේ මට නිර්මාණයකට සහභාගි වෙන්න අවස්ථාවක් තවම ලැබුණේ නැහැ.


නමුත් පාසල් කාලයේදී නම් උපරිමව ඒ දෙකම සමබරව කරගෙන යන්න මං උත්සාහ කළා. මඟහැරුණු වැඩ මම කොහොම හරි ආවරණය කරගත්තා. ඒකට මට පාසලෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.


ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන අලුත්ම නිර්මාණ මොනවාද?


‘නටත් අයෙක් සුරාමතින්‘ නිර්මාණයට අමතරව සුදර්ශන බණ්ඩාර අයියගේ ටෙලි නාට්‍යයක් විකාශය වීමට තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post