නාඩගම්කාරයො, සර්කස්කාරයො, දෑස මත මොහොතක් ටෙලිනාට්‍ය වලින් සහ මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූ නිපුනි පූජිතා ගුණවර්ධන මේ දිනවල ජාතික රූපවාහිනියෙන් සහ රිදී තිරයෙන් දැක ගන්න ලැබෙනවා. ඒ ‘ගේට්ටුවා‘ ටෙලි නිර්මාණයෙන් සහ චින්තන ධර්මදාසගේ අභිසාරි චිත්‍රපටය තුළින්. මේ කතාබහ නිපුනි පූජිතා ගුණවර්ධන සමඟයි.
නිපුනි මේ දවස්වල පුංචි තිරේ ඔබ සිටින නිර්මාණ මොනවද?
ජාතික රූපවාහිනියේ මේ දවස්වල ‘ගේට්ටුවා‘ නාට්‍යය විකතාශය වෙනවා. එහි මගේ චරිතය හිමාෂි. පසුගියදා එහි රූගත කිරීම් අවසන් කළා. ඒ එක්කම අලුත්ම වේදිකා නාට්‍යයක සහ චිත්‍රපටයක වැඩ අවසන් කළා. තවත් අලුත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ ගැන මට හරි සතුටුයි. නාට්‍යය පැත්තෙන් ගත්තම ස්වාධීන රූපවාහිනියේ දැන් විකාශනය වෙනවා හසුන් සමීර අයියාගේ ‘මල් බිඟුන්‘ නාට්‍යය.
කොහොමද පුංචි තිරෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
මේ කාලේ නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ‘ගේට්ටුවා‘ නාට්‍යයේ හිමාෂි ටීචර්ගේ චරිතයට. ලසිත කාරියවසම් අයියා තමයි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ.
අභිසාරි දැන් රිදී තිරෙන් දැකගන්නත් ලැබෙනවානේ. කොහොමද අභිසාරි චරිතය ලැබෙන්නේ?
මට අභිසාරි චිත්‍රපටයට ඇරයුම් ලැබෙන්නේ සහය අධ්‍යක්ෂ චතුරංගි පතිරණගේ අක්කාගෙන්. එයාට ස්තුතිවන්ත වෙනවා මාවත් මේ ලස්සන නිර්මාණයට සම්බන්ධ කර ගත්ත එකට.
මේ නිර්මාණය තුළ කතාවෙන තේමාව ගැන මොකද හිතෙන්නෙ
අභිසාරි කියන්නේ චින්තන ධර්මදාස අයියාගේ අලුත්ම චිත්‍රපටය. හරිම සතුටුයි චින්තන අයියා එක්ක වැඩ කරන්න ලැබීම ගැන. කතා කළ යුතුම මාතෘකාවක් ගැන අභිසාරි තුළින් චින්තන අයියා කතා කරනවා. අභිසාරි කියන්නේ වෙනස්ම අත්දැකීමක්. අභිසාරි බැලුවම ප්‍රේක්ෂකයන්ට එය තේරුම් යයි. ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා එන්න අභිසාරි චිත්‍රපටය නරඹන්න කියලා.
අන්සතු පෙම මියුසික් වීඩියෝ එකෙන් පස්සේ මියුසික් වීඩියෝ කළේ නැද්ද?
මම තවම මියුසික් වීඩියෝ කරනවා. මෑතක රිලීස් වුණා මම ඉන්න අලුත්ම මියුසික් වීඩියෝ එකක්. ‘තරු අතරේ‘ කියන ගීතයේ රූප රචනාව.
ඔබට ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත් ද?
ඔව්, මමත් තෝරා ගැනීම් එක්ක තමයි නිර්මාණ භාර ගන්නේ. ඒ දේවල් එක්ක මට ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත්. අද වෙද්දී සෑහෙන නිර්මාණ එනවා, ඒ එක්කම නළු නිළියන් රැසක් බිහිවෙනවා. අපිට ගොඩක් නිර්මාණ ලැබුණට වැඩක් නැහැ ඒ නිර්මාණවල හරයක් නැත්නම්. ඒ නිසා අපි දැන ගන්න ඕනේ මේ ගමනේ දී අපි කොතනද ඉන්න ඕනේ කියලා. ඒ අවබෝධයෙන් තමයි මම වැඩ කරන්නේ. මම හැමවිටම මට ලැබෙන නිර්මාණය තුළ උපරිමය කරන්න උත්සහ කරනවා.
යම් චරිතයක් භාර ගන්න කලින් මොනවාද බලන්නෙ?
ඒ චරිතෙට මට කොච්චර දුරට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ද කියන එක සහ මට කා එක්ක ද රඟපාන්න තියෙන්නේ කියන එක මම මුලිකවම බලනවා.
රංගනය තුළදී පනවා ගත් සීමාවන් මොනවාද?
සීමාවන් කියන්නේ මට යන්න පුළුවන් සීමාවන් තුළ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කොහොමද කියන එක බලලා තමයි රඟපාන්න භාරගන්නේ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
මේ වෙද්දී ටෙලිනාට්‍යය කිහිපයක්ම කරලා තියෙනවා. නමුත් මට අදහසක් නැහැ ඒවා කොයි කාලේ ප්‍රේක්ෂකයන් අතරට එයිද කියලා. ඒ එක්කම ඩිල්ශාන් පතිරත්නගේ යකාගේ කතාවක් 1 චිත්‍රපටයට දායක වුණා.
පෞද්ගලික ජීවිතේ තොරතුරු කිව්වොත්?
මට ඉන්නවා අයියලා දෙන්නෙක් සහ අක්කලා දෙන්නෙක් සහ අම්මා. අයියලා දෙන්නා සහ පොඩි අක්කා විදෙස්ගත වෙලා ඉන්නේ. ලොකු අක්කා ලංකාවේ ඉන්නේ. අම්මයි මමයි තමයි ගෙදර ඉන්නේ. අපි හරි සතුටින් කාලය ගෙවනවා.
හෙට ගැන තියෙන බලාපොරොත්තු මොනවාද?
අනාගත බලාපොරොත්තු තියෙනවා. හැබැයි දන්නේ නැහැනේ අනාගතයේ මොනවා වෙයිද කියලා. ඒ නිසා මේ මොහොතේ උපරිම සතුටින් ඉන්න තමයි උත්සහ කරන්නේ.