රංගනය යනු වචනවලට වඩා හැඟීම් කතා කරන කලාවකි. එම හැඟීම් ප්‍රේක්ෂක හදවත් වෙත රැගෙන යන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ඩිනාරා පුංචිහේවා හැඳින්විය හැකිය. ඇය තම රංගන දිවියේ මුල් පියවර තැබුවේ ප්‍රසන්න විතානගේ ගේ ‘ගාඩි’ චිත්‍රපටයෙනි. ප්‍රථම සිනමා නිර්මාණයෙන්ම තම දක්ෂතාව තහවුරු කළ ඇය, ශ්‍රී ලංකාවේ මතු බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකිය. අද දවසේ අපට ඇය හමුවන්නේ සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්‍ෂණය කළ ‘විහඟ ප්‍රේමය’ සිනමා නිර්මාණය තුළිනි. ඩිනාරා සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
ඩිනාරා, ආයුබෝවන්. කොහොමද මේ දවස්වල ජීවිතේ?
ආයුබෝවන් මේ දවස්වල ජීවිතේ හොඳයි, මේ දවස් ටිකේ මම ීබදඅ ඊසරාි කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට එකතු වෙනවා. ීබදඅ ඊසරාි කියන්නේ ආකාෂ් සුනෙත් කුමාරගේ ගේ ඇක්ෂන් ෆිල්ම් එකක්. ඒක මගේ රංගන ජීවිතයේ වෙනම අත්දැකීමක්. පළමු වැනි වතාවට තමයි ඇක්ෂන් ෆිල්ම් එකක රඟපාන්නේ. ඒ වගේම මම රඟපෑ ‘විහඟ ප්‍රේමය’ කියන චිත්‍රපටයත් මේ දිනවල තිරගත වෙනවා.
කොහොමද කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ?
පොඩි කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තෙන් හිටියේ. ඒක මම පටන්ගත්තේ පාසල් වේදිකාවෙන්. ඊට පස්සේ මම නාට්‍ය සහ රංගනය පිළිබඳව උසස් අධ්‍යාපනය කළේ එංගලන්තයේ ක්වීන්මෙරි යුනිවර්සිටි එකේ. ඊට පස්සේ ලංකාවට ඇවිත් වේදිකා නාට්‍යවලට සහභාගි වුණා. ඒ අතරතුර මට ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ‘ගාඩි’ චිත්‍රපටයේ ඔඩිෂන් එකකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එතැනින් තමයි ඇත්තටම මගේ සිනමා ජීවිතය පටන් ගත්තේ.
‘ගාඩි’ සිනමා නිර්මාණයට දායක වීමක් එක්ක ඔබේ ජීවිතයට ලැබුණු අත්දැකීම් සහ ප්‍රතිචාර කොහොමද?
‘ගාඩි‘ කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය. ප්‍රසන්න විතානගේ වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ අඩු වයසකදී ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණ එක ලොකු වාසනාවක්. ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙන්, ලෝක සිනමා උළෙල වලින් වගේම සමාජ මාධ්‍ය හරහා සෑහෙන ආදරයක් හම්බ වුණා. ගාඩි කියන්නේ 1815 වර්ෂයේදී කන්ද උඩරට සිදුවුණ සිද්ධියක්. මේ කතා තුළ ආදරය, කුලමල බේද මේ ඔක්කොම තියෙනවා. ඇත්තටම එදා තිබුණු සමාජ ගැටලු අදටත් වලංගුයි. ඉතින් මං හිතනවා ලොකු අත්දැකීමක් මට මේකෙන් ලැබුණා කියලා. ඒ වගේම ප්‍රසන්න සර් එක්ක රඟපාන්න ලැබීමත් ලොකු වාසනාවක්.
ඔබ රංගනයෙන් දායක වුණ ‘විහඟ ප්‍රේමය’ මේ දිනවල තිරගත වනවා නේද?
‘විහඟ ප්‍රේමය’, අපේ රටේ එක් කාලයක පැවැති බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම සහ එහි කතා නොවන යථාර්ථය පිළිබඳව අවධානය යොමු කරන චිත්‍රපටයක්. ඒ වගේම අඳුරු මොහොතකත් ආදරය, බලාපොරොත්තු, සහ ආරක්ෂාව කොතරම් වැදගත්ද යන්නත් එමගින් කියා දෙනවා. මම නිරූපණය කරන්නේ අඩු වයසේ මවක් වන නදීගේ චරිතය. ඇයට තම දරුවා වෙනුවෙන් දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවෙනවා. නදී වැනි කාන්තාවන්ගේ හඬට නියෝජනයක් වීමට හැකිවීම ගැන මම සතුටුවෙනවා වගේම, මේ සංවේදී චිත්‍රපටය නැරඹීමට සියලු දෙනාටම ආරාධනා කරනවා.
බොහෝවිට පසුගිය වසරවල බිහි වුණේ එකම ආකෘතියකට කොටු වුණ නිර්මාණ. නමුත් දැන් එහි වෙනසක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
ඔව් මං හිතන්නේ කාලයකට කලින් එහෙම තත්ත්වයක් තිබුණා. අපිම ප්‍රේක්ෂකයාට එකම දේ දීලා පුරුදු කරා. දැන් ඒක වෙනස් වෙලා, ප්‍රේක්ෂකයන් දැනුවත් වෙලා ඉන්නේ. දැන් එයාලට ඕනා අලුත් නිර්මාණ. අපේ වැඩේ තමයි ඒ විශ්වාසය කඩ නොකර හොඳ නිර්මාණ කරන එක.
රංගනයට තරුණියක් හෝ තරුණයෙක් යොමු වෙද්දී බොහෝ පිරිසක් ආදරය කරන අතර, ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරනවා. ඒ පිළිබඳ ඔබේ මතය මොකක්ද?
රංගනයට ආදරය කරන අය වගේම චෝදනා කරන අයත් ඉන්නවා. ඒක ස්වභාවිකයි. ඕනෑම ප්‍රසිද්ධ දේකට විවේචන තියෙනවා. ඒත් ඒ නිසා දක්ෂ, තරුණ කලාකරුවන්ට අවස්ථාව නැති කරන්න බැහැ. අපි වැඩේට ගරු කළොත්, විනයක් තියාගෙන කලාවට ආදරෙන් වැඩ කළොත් ඒවත් එක්ක අපේ වටිනාකම නිර්මාණය වේවි කියන එක තමයි මගේ විශ්වාසය. චෝදනා ගැන හිතනවාට වඩා හොඳ නිර්මාණවලින් පිළිතුරු දෙන එක තමයි වැදගත්.
අද පවතින තරගකාරී බවත් එක්ක කන්ටෙන් ක්‍රියේටර් කෙනකුට තමන්ගේ අනන්‍යතාව රැකගෙන ඉදිරියට යෑමේදී මුහුණ දෙන්න වෙන අභියෝග විදිහට ඔබ දකින්නේ මොනවාද?
අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි අනන්‍යතාව නැති වෙන එක, අනිත් එක තමයි වැඩේ නවත්තන්න බය වෙලා දවසෙම වැඩ කරන එක. ඉතින් මං හිතන්නේ විසඳුම සරලයි. trends follow කරන්න ඕනේ නම් කරන්න. ඒත් මං හිතන්නේ තමන්ගෙ හඬ නැති කරන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට ඇත්තටම ඕනේ රියල් කෙනෙක්.
ඔබගේ ගමනට හයියක් වුණ පිරිසක් තිරය පිටුපස ඇති, ඉතින් ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගමු?
ඔව් අනිවාර්යෙන්ම, මට රංගන ශිල්පිනියක් වෙන්න ලොකු සහයෝගයක් ලබාදුන් අය අතර මගේ දෙමව්පියන්, නංගි, මල්ලි වගේම මගේ හස්බන්ඩ් ඉන්නවා. එයාලා නැතුව මේ ගමන යන්න හරි අමාරුයි. ඉතින් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා මගේ පිටුපසින් ඉඳන් දක්වන සහයට.