සමනලී ටෙලිනාට්‍යයේ දඟකාර අශීගේ චරිතයෙන් කලා ලෝකයට පායපු අලුත්ම තාරකාව තමයි රෙඈන් ඩයස්. කව්ද මේ රෙඈන් ඩයස් කියලා දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.
රෙඈන්ගේ අම්මා නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කෙනෙක් නේද?
ඔව්. මගේ අම්මා රොසෑන් ඩයස්. අම්මා 1997 වසරේ "Look of the Year" ලෙසත්, 2005 වසරේ "Miss Sri Lanka Universe" තරගාවලියේ කිරුළ හිමිකර ගනිමින් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ වෙද්දි මගේ අම්මා නවක නිරූපණ ශිල්පීන් ක්ෂේත්‍රයට දායාද කරන ප්‍රධාන පෙළේ විලාසිතා හා නිරූපණ පුහුණුකාරිනියක් විදිහට කටයුතු කරනවා.
අම්මයි දුවයි අතර මොනවිදිහෙ සම්බන්ධයක්ද තියෙන්නේ?
අම්මයි මමයි හරිම කිට්ටුයි. අම්මයි දුවයි කියන සම්බන්ධයට වඩා අපි දෙන්නා අතර තියෙන්නෙ අක්කයි නංගියි වගේ සම්බන්ධයක් කිව්වොත් හරි.අක්කලා නංගිලා අතරෙ වගේ සමහරවෙලාවට අපි දෙන්නා අතරෙත් පුංචි පුංචි රණ්ඩුසරුවල් කතාබහවල් ඇතිවෙන අවස්ථා තියනවා. හැබැයි ඒ හැම රණ්ඩුවක් අවසානෙම මට තේරෙනවා අම්මා මට හොඳක් කරන්න අදහසිනුයි දෙයක් කියන්නෙ කියලා.
අම්මා වගේ නිරූපිකාවක් නොවී රෙඈන් නිළියක් වුණේ ඇයි?
මම පුංචිකාලෙ ඉඳලා අම්මගේ නිරූපණ වැඩ දැකලා තියනවා. ඉතින් නිරූපණය මට අමුතු දෙයක් විදිහට දැනුණේ නැහැ. මට ඕන වුණා ඊට වඩා වෙනස් දෙයක් කරන්න. ඉතින් මම
මගේ වෘත්තිය විදිහට රංගනය තෝරගත්තා.
රෙඈන් රංගන ශිල්පිනියක් වීම ගැන අම්මගේ අදහස වුණේ මොකක්ද?
මම රංගන ක්ෂේත්‍රයට එනවට අම්මා මුලින් කැමති වුණේ නැහැ. අම්මගේ අදහස වුණේ මාව උසස් අධ්‍යාපනයට පිටරට විශ්වවිද්‍යාලයකට යවලා මම වෙනත් වෘත්තියක් කරනවා දකින්න. හැබැයි අම්මගේ ඒ තීරණයට මම විරුද්ධ වුණා. අපි දෙන්නා ගොඩක් ඒ ගැන කතාබහ කරපු අවස්ථා තිබුණා. සමහර වෙලාවට ඒ ගැන රණ්ඩු කරපු අවස්ථාත් තිබුණා. හැබැයි අවසානයේ මගේ සතුට වෙනුවෙන් අම්මා මගේ තීරණයට එකඟ වුණා.
රෙඈන් නීල සමනලී එකේ අශී වුණේ කොහොමද?
මට රඟපාන්න ඕන කියපු නිසා අම්මා මම ගැන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසේකරට කියලා තිබුණා. ඒ මොහොතෙදී ඩිල්ෂාන් අයියා අම්මට හරි උත්තරයක් දීලා තිබුණේ නැහැ. ටික කාලෙකට පස්සෙ ඩිල්ෂාන් අයියා අම්මට කියලා තිබුණා එයාගේ යාළුවෙක් නීල සමනලී කියලා අලුතින් කරන ටෙලිනාට්‍යයකට ගෑනු ළමයෙක් හොයනවා කියලා. ඉතින් ඩිල්ෂාන් අයියා අම්මට කියලා තිබුණා අම්මා විනිශ්චය මණ්ඩලයේ ඉඳගෙන තෝරපු අවුරුදු කුමරිය තරගයක ගෑනු ළමයින්ව audition එකට එවන්න කියලා. ඉතින් අම්මා තෝරපු අවුරුදු කුමරිකාවො ටික audition ගියහම ඒ ගෑනු ළමයින්ව කතාවේ තිරරචකාවිය ප්‍රමෝද්‍යා අක්කිට ගැළපිලා නැහැ. ඒ මොහොතෙදී ඩිල්ෂාන් අයියා මං ගැන ප්‍රමෝද්‍යා අක්කිට කියලා තිබුණා. ඉතින් ප්‍රමෝද්‍යා අක්කි මට කතා කරලා කිව්වා audition එකට එන්න කියලා. Audition එකේදී තේරිලා තමයි මම නීල සමනලී ටෙලිනාට්‍යයේ අශී වුණේ.
නීල සමනලී ටෙලිනාට්‍යයේදි රෙඈන් දඟ කෙල්ලෙක් නේද?
ඔව්. අම්මයි තාත්තයි නැතුව අයියලා දෙන්නෙක් එක්කයි එයාලගේ යාළුවො හතර දෙනෙක් එක්කයි හැදෙන පවුලෙ එකම නංගි විදිහටයි මම නීල සමනලී ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. ඉතින් අයියලා හය දෙනෙක් එක්කම හැදෙන පවුලෙ එකම නංගි නිසා
මම නීල සමනලී ටෙලිනාට්‍යයේ ගොඩාක් දඟ හුරතල් කෙල්ලෙක්.
රෙඈන් පවුල ඇතුළේ මොනවිදිහෙ කෙනෙක්ද?
සැබෑ ජීවිතයේදී මම නීල සමනලී එකේ අශී වගේම දඟයි. අපේ පවුල ඇතුළේ මට බාල මල්ලි කෙනෙක් ඉන්නවා. එයාටත් වඩා ගොඩක් මම දඟයි. මම පවුලේ වැඩිමලා වුණාට වගකීම් සහගතව හැසිරෙන්නෙ නැතුව දඟකාර ජීවිතයක් ගතකරන්නයි පුංචිකාලෙ ඉඳලා පුරුදුවෙලා ඉන්නේ.
නීල සමනලී ටෙලිනාට්‍යයේ අශීවෙලා ඉස්සෙල්ලම කරන්න තිබුණේ තාප්පෙන් ඉස්කෝලේ ඇතුළට පනින්න නේද?
ඔව්. මම මීට කලින් තප්පෙකින් පැනලා නැහැ. ජීවිතයේ පළමුවෙනි වතාවට තාප්පෙකින් පනින අත්දැකීම මට ලැබුණේ නීල සමනලී ටෙලිනාට්‍යයෙන්. පුංචිකාලෙදී කරන්න තිබුණ දඟවැඩක් නීල සමනලී ටෙලිනාට්‍යයේ හරහා කරන්න ලැබුණා කියලයි තාප්පෙන් පැනපු අත්දැකීම ගැන මට හිතෙන්නෙ. රංගන ජීවිතය පටන්ගත්ත ගමන්ම ඒ විදිහෙ අත්දැකීමක් විඳින්න ලැබීම මට ගොඩක් විනෝදජනක දෙයක් වුණා.
නීල සමනලී ටෙලිනාට්‍යයේ අයියලා මැද හැදෙනවා වගේ සැබෑ ජීවිතයේදීත් රෙඈන්ට වැඩිමල් සහෝදරයො ටිකක් හිටියා නම් හොඳයි කියලා හිතිලා නැද්ද?
ඔව්, ඇත්තෙන්ම. මට අපේ පවුලෙ වැඩිමලා වෙන්න ලැබීම ගැන තියෙන්නෙ නොසතුටක්. පුංචිකාලෙ ඉඳලා මම හරි ආසාවෙන් හිටියෙ අයියෙක් හරි අක්කෙක් හරි මට හිටියා නම් කොච්චර දෙයක්ද කියලා. නමුත් ඉතින් මම වැඩිමලා විදිහට ඉපදිලා ඉවර හින්දා ඒකට කරන්න දෙයක් තිබුණේ නැහැ. සැබෑ ජීවිතයේදී මට අයියලා අක්කලා නැති හින්දමද මන්දා රංගනයෙදී මට අයියලා හයදෙනකුගෙම හුරතල් චූටි නංගි කෙනෙක් වෙන්න වාසනාව ලැබුණා. නීල සමනලී ටෙලිනාට්‍යයේ අයියලා හයදෙනා කැමරාව ඉදිරියේදී මාව නංගි කෙනෙක් විදිහට බලාගන්නවා වගේම සාමාන්‍ය වෙලාවටත් එයාලගෙම නංගි කෙනෙක් විදිහට
මාව ආදරෙන් බලාගන්නවා.
දිගටම රඟපාන්නද අදහස?
ඔව්. මම දැන් රංගන ක්ෂේත්‍රයේ වෘත්තිය නිළියක් විදිහට කටයුතු කරන්න පටන්ගත්තා. චරිතාංග නිළියක් විදිහට රංගන ක්ෂේත්‍රයේ දිගටම ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.
රෙඈන්ගේ රඟපෑම ගැන අම්මා මොනවද කියන්නෙ?
මගේ රඟපෑම දැකලා අම්මා විශේෂ දෙයක් මට කිව්වෙ නැහැ. අපේ අම්මගෙන් හොඳක් අහන්න ගොඩක් මහන්සිවෙන්න ඕන. නිරූපණ ක්ෂේත්‍රයට එන නවකයොන්ව පුහුණු කරන ගුරුවරියක්නෙ අපේ අම්මා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක සමහරවිට අම්මා හිතන්න ඇති එකපාරම මට හොඳයි කියලා ඉහළින් තිබ්බොත් මම රංගනය ඇතුළේ මුකුත් නොකර ඒ අදහසින් ආඩම්බර වෙලා ඉඳියි කියලා. නමුත් ඉතින් මම දන්නවා අම්මගේ ආශිර්වාදය මට තියනවා කියලා.
ලක්ෂාන් ජයසූරිය