රිදී තිරය කලඹන අකලංක

gossiplanka image 1
 


පුංචි තිරයේ මෙන්ම සිනමා තිරයේද එක ලෙස සිය විශිෂ්ට රංගන කෞෂල්‍යයන් පෙන්නුම් කරන ඔහු මෙරට සිටින අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකි. මේ දිනවල සිනමාහල්වල තිරගත වන අභිසාරි මෙන්ම සංජීව පුෂ්ප කුමාරගේ විහඟ ප්‍රේමය තුළින් ද ඔහුගේ රංගන හැකියාවන් දැකබලා ගැනීමට පුළුවන. ඔය අතරේ පුංචි තිරය හරහා බැද්දේගම ටෙලි නාට්‍ය හරහා බබුන්ගේ චරිතයෙන් ද ඔහු ඔබ හමුවට එයි. ආදරයට අපි ඔහුට කියන්නේ අකා කියලා. ඔහු නමින් අකලංක ප්‍රභාෂ්වර. මේ ඔහුගේ හඬයි.


අකලංක, අභිසාරි චිත්‍රපටයට ලැබෙන්නේ මානවගේ ප්‍රතිචාරද?


ඇත්තටම මට, පබෝධාට සහ ජෙනට්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර කතාබහ හින්දා මට යමක් ඉගෙන ගන්නත් පුළුවන්. රංගනය වගේම තාක්ෂණික කාරණා ගැන ද සාධනීය විදිහේ කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ලොජිකල් හිතලා ප්‍රතිචාරයක් දක්වනවා නම් ඉතාම හොඳයි ඒක ඇත්තටම මේ දිනවල විඳිනවා.


විහඟ ප්‍රේමය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් සිනමා නිර්මාණයක් නේද?


පසුගිය 07 වැනිදා තමයි ප්‍රේක්ෂකාගාරයට මුදාහැරියේ. ජූලි මාසයේ පවත්වපු මංගල දර්ශනයේදී හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුණා. කොහොමත් ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරනේ. අනික කවුරුවත් මුහුණට නරකයි කියලා කියන්නෙත් නැහැනේ. ප්‍රේක්ෂකාගාරයට තිළිණ කළාට පස්සේ තමයි ඇත්තම ප්‍රතිචාරය බලා ගන්න පුළුවන්. මොකද චිත්‍රපටය දුවනවාද නැතිද කියලා තීරණය කරන්නේ ඒ ගොල්ලොනේ. ඔවුන්ටනේ චිත්‍රපටය කළේ.


විහඟ ප්‍රේමය සිනමා නිර්මාණයට ආරාධනා ලැබුණේ කොහොමද?


මාව මෙහි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරට හඳුන්වලා දෙන්නේ සිතාරා පුංචිහේවා. සිතාරයි මායි වේදිකාවේදී මුණගැසිලා තියෙනවා. ඒ දැනහැඳුනුම්කම මත තමයි සංජීව පුෂ්පකුමාරට මාව මුණගස්සවන්නේ.


සංජීව සිනමාව අතපත ගාන්නේ ඔහුගේ ශාස්ත්‍රීය දැනුමත් එක්කයි. සිද්ධාන්ත අනුවයි ඔහු වැඩ කරන්නේ. ඒ වගේ අධ්‍යක්ෂවරු අපි වගේ ඇමචරි ඇක්ටර්ස්ලාට හොඳ පුහුණුවක් ලබාදෙනවා.


විහඟ ප්‍රේමයේ අමිල වෙනුවෙන් මොනවගේ කැප කිරීම් ද සිදු කළේ?


මම කොහොමත් කෙට්ටු මනුස්සයෙක්නේ. සංජීව කිව්වේ අවුරුදු 19 යි අමිලගේ වයස. එයාට අවශ්‍ය මුහුණුවර එන්න තව ටිකක් කෙට්ටුවෙන්න ඕනෑ කියලත් කිව්වා. එතකොට තව ටිකක් කෙට්ටු වෙන්න ඕනෑ කියලා කිව්වහම මට හිතාගන්න බැරි වුණා. මොකද මම කොහෙන්ද පටන් ගන්නේ කියලා. මට මාසයක් එකහමාරක් ඒ රූගත කිරීමට සූදානම් වෙන්න තිබුණ හින්දා කිලෝ කිහිපයක් අඩු කරගත්තා. ඒ කාලය ඇතුළත මගේ ඩයට් ප්ලෑන් එකක් වගේම වර්ක් අවුට් එකක් හදා ගත්තා. ඒ වගේම පිටපත එක්ක ගොඩාක් ගැඹුරින් වැඩ කළා.


මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගේ ‘හන්තානට ඇහෙනවාද’ කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලයි ඉන්නේ.


මේ වෙලාවේ බැද්දේගම බබුන් ගැනත් කතා නොකරම බැහැනේ?


බබුන් කියන්නේ ලෝක පූජිත නව කතාවක චරිතයක්. ලංකා ඉතිහාසයේ ජීවත් වෙච්ච තවත් මනුස්සයෙකුගේ චරිතයක්. විජය කුමාරතුංග වගේ දැවැන්ත රංගන ශිල්පියෙක් ප්‍රතිනිර්මාණය කරපු චරිතයක්. නිර්මාණය බලපු මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න කොහොමද කරන්නේ කියන එක ගැනත් මම හිතුවේ නැතිව නෙමෙයි. මට සෑහෙන සහයෝගයක් ලැබුණා. අධ්‍යක්ෂවරයා වන ප්‍රියන්ත කොළඹගේ ගෙන්. ඒ වගේ ම සෞම්‍ය ලියනගේ සහ උමාලි තිලකරත්නගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා. ඒ උපදෙස් යටතේ තමයි සමහර සිද්ධි හදා ගන්නේ. මොකද මට ලොකු විවේකයක් තිබුණේ නැහැ. ඒ වගේම මේ චරිතය වෙනුවෙන් පෙර සූදානමක් වෙන්නත් ලොකු කාලයක් තිබුණේ නැහැ. කරන්න පුළුවන් කාලය ඇතුළත මට ඒක කරගන්න පුළුවන් වීම ගැන සතුටක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම මේ චරිතයට සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළා කියලා. අඩුපාඩු නැතිවාම නෙමෙයි. නමුත් මම හිතනවා යම්කිසි ප්‍රමාණයකට මම සාර්ථකයි කියලා.


අකලංක මේ ගමන ලේසි ගමනකුත් නෙමෙයි නේද?


මම හිතනවා අපි හැමෝටම අපේ ගමන ගැන ආපසු ආවර්ජනයක් කරන්න හම්බවුණොත් මම හිතන්නේ නැහැ කාටවත් සුන්දර තැන් තියෙනවා කියලා. හැම තැනම තියෙන්නේ බාධක, බාධක, බාධක, ඒ බාධක පහු කරගෙන ආපු ගමන තමයි මේ ජීවත්වෙනවා කියලා කරන්නේ.


ටෙලිනාට්‍ය වැඩකටයුතු එහෙම කොහොමද?


අලුතෙන් ටෙලිනාට්‍යයක ලබන මාසේ රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා. දැනට එච්චර තමයි. වැඩ කිහිපයකට කතා කළා. අනික මම පුද්ගලිකව තීරණය කළා එක දිගටම වැඩ කරපු හින්දා පොඩි විවේකයක් ගන්න. මටත් හොඳයි මගේ මනසටත් හොඳයි මිනිසෙක් විදිහටත් මටත් හොඳයි කියලා හිතනවා.


ටෙලිනාට්‍යවලට පොඩි විරාමයක් ගත්තද?


අනේ නැහැ. එහෙම එකක් නෙමෙයි. අපි හැමෝම තෙල් ගහලා දුවන වාහන වගේ තමයි. අපේ තෙල් ගැහැව්වේ නැති වුණාට අපේ මනස යම්කිසි තැනකදී වෙහෙසට පත්වෙනවා. පොඩි විරාමයක් දෙන්න ඕනෑ. එයාටත් යම්කිසි විදිහක විරාමයක් ගන්න.


මොන මොනවා ගැන හරි හිතලා පොතක් පතක් ගැන කියවලා සමාජයේ බැහැලා ඇවිදලා මිනිස්සුන්ව ඇසුරු කරලා මේක පුරවගන්න එපායැ. රඟපානවා කියන්නේ මම ජීවත් වෙනවා කියන එකනේ.


දිනේෂ් විතානඡායාරූප – සම්පත් පතිරත්න

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post