රංගන ක්ෂේත්‍රයට එන්නේ වින්සන්ට් වාස් කියන නළුවා නිසා නොවෙයි - චින්තක වාස්

gossiplanka image 1
රොන් සොයා, ගේට්ටුවා මෙන්ම පසුගියදා නිමාවට පත්වුණු පට්ටි ගෙදර ද ඔහු රංගනයෙන් දායක වුණු මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ටෙලි නිර්මාණය. චින්තක වාස් නමින් ඔහු ගැන නොදන්නා ඕනෑම අයකු රොන් සොයාහි විජේට බෙහෙවින්ම ඇලුම් කරයි. නිවට නියාලු පියකු වන පට්ටි ගෙදර නිව්ටන්ට දොස් නොපවරන කෙනෙක් නැති තරම්ය. ගේට්ටුවා ද මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබයි. චින්තක නිර්මාණයකට දායක වන්නේ ප්‍රධානම චරිතයෙන් නොවුණද ඔහුට නිරතුරුවම හිමිවන්නේ නිර්මාණය දරා සිටින ප්‍රබලම චරිතයකි. අද අප හා පිළිසඳරට එක්වන්නේ විජේ මෙන්ම මින්ටන් ලෙසද මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින චින්තක වාස්ය.



චින්තක වාස් කියන්නේ මේ දිනවල ගොඩක් කාර්යබහුල චරිතයක් නේද?


ඔව්. නිර්මාණ කිහිපයක් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුලයි. රොන් සොයා සහ ගේට්ටුවා මේ දිනවල විකාශය වෙනවා. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් පට්ටි ගෙදර පසුගියදා නිමාවට පත්වුණා. පට්ටි ගෙදරට චරිතයට මං ගොඩක්ම කැමැතියි. ඊට අමතරව සෙවණැලි කියලා විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.


ඔබ දායක වන හැම චරිතයක්ම වගේ ප්‍රේක්ෂකයන්ට මතක හිටිනවා. පට්ටි ගෙදර විශේෂයි නේද?


ඔව්. අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක් තවමත් පට්ටි ගෙදර වටා ඉන්නවා. නිව්ටන් මගේ රංගන ජීවිතේට ලොකු ආලෝකයක් ගෙනාවා. ඒ චරිතය ගැන මාත් ගොඩක් තෘප්තිමත්.


පට්ටි ගෙදර මුළු කතාවම ගලාගෙන ගියේ ඔබ වටා. නිව්ටන් අභියෝගයක් වුණේ නැද්ද?


නිව්ටන් කියන්නේ පට්ටි ගෙදර තාත්තා. පිටතින් නොපෙනුණාට ඒක ලොකු චරිතයක්. හරියට තීන්දු තීරණ ගන්න බැරි, නිවට නියාලු තාත්තා කෙනෙක් නිසා පට්ටි ගෙදර දරු කැල සහ බිරිය මුහුණ දෙන ඛේදවාචකය ගැන තමයි කියැවෙන්නේ. මට ඒ චරිතය හරි බරයි. හරි සූක්ෂ්ම විදිහට තිරපිටපත කියවමින්, අධීක්ෂණය කරමින්, අනෙක් රංගන ශිල්පීන් එක්ක සාකච්ඡා කරමින් නිව්ටන් කියන චරිතය ගොඩනඟා ගන්න මම වෙහෙසුණා. උස් මහත් වුණු ගෑනු ළමයි ඉන්න ගෙදරක ඔහු කකා බිබී, ඔහුට ඕන ජීවිතය ගත කරනවා. මේ දේවල් ඉවසන්න බැරිම තැන බිරිය මැදපෙරදිග රැකියාවකට යනවා. ඒ එවන සල්ලිවලිනුත් ඔහු කළේ කසිප්පු බිබී, අරක්කු බිබී පිස්සු නටන එක. උස්මහත් වුණු ගෑනු ළමයි ඉන්න තාත්තා කෙනෙක් කොතරම් දුරට ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනද? ඒත් ඒ බර ඔහුට දැනුණෙ නැහැ.


තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


අනුෂ්ක රසාංජන කියන්නේ අවුරුදු 29ක තරුණයෙක්. අධ්‍යක්ෂවරයා වගේම තිරපිටපත් රචකයාත් ඔහු. තිරපිටපත් රචකයාම අධ්‍යක්ෂවරයා වෙනවා කියන්නේ සාර්ථකම නිර්මාණයක් බිහිවන තැනක්. රංගනය පැත්ත වගේම මේක්අප්, සංගීතය වගේ පැත්තක් ගත්තත් ඔහුගේම අනුදැනුමෙන් සියයට සීයක්ම තිරපිටපතේ තියෙන දේම අරගෙන සාර්ථකව නිර්මාණයක් බිහිකරන්න පුළුවන්. අනුෂ්ක කියන්නෙ මට හමුවුණු මං ගොඩක් ප්‍රියකරන අධ්‍යක්ෂවරයෙක්. දක්ෂතාව, දැනුම වගේම පතපොත කියවන, සෙට් එකට ආවමත් ගොඩක්ම නිවුණු කෙනෙක්. රිහර්සල්වලදි වුණත් නළු නිළියන්ගේ මනෝභාවය බිඳෙන විදිහට හිනාවෙන්නෙ, විහිළු තහළු කරන්නෙවත් නෑ. අඩුම ගානෙ උස් හඬින් කතා කරන්නෙවත් නැති කෙනෙක්. ඒ නිසාම මුළු සෙට් එකමත් එහෙමයි. මේ පරම්පරාවේ එහෙම කෙනෙක් මං මේ දැක්කමයි.


දෙබස් අඩු, හැඟීම් ප්‍රකාශනය ප්‍රබල චරිතයක් පවත්වා ගෙනයෑම එක්තරා අභියෝගයක් නේද?


ඇත්තටම ඔව්. අනුෂ්ක මට භාරදුන්නේ අභියෝගයක්. ගොඩක් ප්‍රශ්න කතාබහ කරන නිර්මාණයක සයිලන්ට් චරිතයක් කරනවා කියන්නෙම ලොකු අභියෝගයක්. මං දැන් මේ රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 23ක්. මේ අවුරුදු 23ටම මට කිසිම අධ්‍යක්ෂවරයෙක් ඒ වගේ කැරැක්ටර් එකක් දීල නැහැ. මමත් කැමති වුණා ඒ වගේ අභියෝගාත්මක චරිතයක ජීවත් වෙන්න. ඒ නිසා මං භාරගත්තා. පවුලෙන් එන පීඩනය, දරිද්‍රතාව, ගෙදර ප්‍රශ්න ටික, ගෙදර ළමයි අකාලයේ බැඳලා, තාත්තා ගෙදර හිටිද්දිම පොඩි දුව සල්ලාල පිරිමියෙක්ගෙන් දූෂණය වෙනවා. මේ සියලු හැඟීම් දරාගෙන ඇක්ෂන් කිව්වම කැමරාවට ප්‍රතිචාර දක්වන්න මූඩ් එකක් හදාගන්නවා කියන්නෙම හරි අමාරු වැඩක්. දෙබස් කිසිවක් නැතිව ‘කට්‘ කියනකල්ම මං ඒ මූඩ් එකේ ඉන්න ඕන. අත්හදාබැලීමක් විදිහට මං ඒක භාරගත්තට ප්‍රතිචාර දිහා බලද්දි අධ්‍යක්ෂවරයාගේ වගේම ප්‍රේක්ෂකයාගේත් පැහැදීමක් තියෙනවා කියලා හිතෙනවා. ඒ ගැන සතුටුයි. රෙබෙකා, දිනක්ෂි ඇතුළු මුළු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එහි සාර්ථකත්වයට හේතුව අධ්‍යක්ෂවරයාම තමයි.


පට්ටි ගෙදර ජනප්‍රිය වීමත් එක්කම අනුෂ්කගෙන් ඔබට සිනමාපටයකට ආරාධනා ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


අනුෂ්ක රසාංජන ද සිල්වා කියන තරුණ අධ්‍යක්ෂවරයා චිත්‍රපටයක් කරනවා කියල මට කතා කළා. ඇත්තටම මේ වගේ තරුණ වයසේ අධ්‍යක්ෂවරු ටෙලි නිර්මාණයක් හිට් වුණ ගමන් සිනමාපටයක් කරන්න යනවා කිව්වම සමහර අධ්‍යක්ෂවරුන්ට මං කියලා තියෙනවා එපා මල්ලි දැන්ම කරන්න. ඔයා තව ටිකක් කියවන්න, තව දේවල් එකතු කරගන්න, ඔයාට තව කල් තියෙනවා කියලා. නමුත් අනුෂ්කට මං එහෙම කියන්න ගියේ නෑ. මොකද ඔහු ළඟ චිත්‍රපට දහයකට වුණත් බඩු තියෙනවා. ඒ නිසා ඔහු චිත්‍රපටයක් කරනවා කිව්වම මං හරි සතුටු වුණා.


ඔබ අලුතෙන්ම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණය ගේට්ටුවා. ඒක වෙනස්ම අත්දැකීමක්?


පට්ටි ගෙදරට පස්සේ මං කැමති මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ගේට්ටුවා ටෙලි නිර්මාණයට. ඒකේ ප්‍රධාන චරිතයේ තාත්තා. සතියේ දින පහේම විකාශය වන නිසා මේ වෙද්දි ගොඩක් කොටස් විකාශය වෙලා ඉවරයි. ලසිත කාරියවසම්ගේ අධ්‍යක්ෂණයක්. පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. ගමේ වුණු සිද්ධියකට මට හිරේ යන්න වෙනවා. හිරෙන් නිදහස් වෙලා එද්දි පුතාව අක්කට භාර දීලා බිරිය වෙන කෙනෙක් එක්ක ගිහින්. ඒ ගෙදර දරුවගෙන් වැඩ ගන්න විදිහ දැකලා මං දරුවත් අරන් යනවා. අපිට ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති නිසා කනත්තක ඉන්නේ. එතන වන සිදුවීම් එක්ක ගලාගෙන යන ගේට්ටුවා හොඳ ප්ලොට් එකක්.


නිවේදකයෙක් විදිහටත් ඔබ මේ දවස්වල දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම මොන වගේද?


මං මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන සෙවණැලි වැඩසටහනේ ප්‍රසන්ටර් විදිහට කටයුතු කරනවා. ඒ හැකියාවත් උරගා බලන්න ගත්ත උත්සාහයක්. බලි තොවිල්, යාග හෝම, අණවින කොඩිවින, නූල් පැන්නුම් වගේ දේවල් ගැන කතා කරන වැඩසටහනක්.


රොන් සොයා කියන්නෙත් ප්‍රේක්ෂකයන් ඔබව ඉහළින්ම තබපු නිර්මාණයක්. ඒ ගැනත් කියන්න යමක් ඇති?


‘රොන් සොයා‘ ගොඩක්ම මිනිස්සු බලන මෙගා නාට්‍යයක්. නිවන්ත ප්‍රසාරනගේ අධ්‍යක්ෂණයක්. ප්‍රවීණ පිරිසක් වගේම නවක පිරිසකුත් රංගනයෙන් දායක වනවා. විජේ කියන චරිතය ගොඩනඟන්නේ නිවන්ත. මම රැවුල, කොණ්ඩෙ කපලා වෙන වැඩකට යනවටවත් නිවන්ත කැමැති නැහැ. එතරම්ම නිවන්ත මේ කැරැක්ටර් එකට පෙරේතයි. සුදු වේට්ටියයි සුදු කමිසයයි විතරයි අඳින්නේ. වත්තේම ඉපදිලා, වත්තේම හැදිලා වැඩිලා, වත්තේම මැරිලා යන්න හිතන මිනිහෙක්. ඔහු චණ්ඩිකම් කරන්නේ වත්තේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන්. ඔහු මුදල් උපයන්නේ අසාධාරණකම් කරලා නෙවෙයි. විජේ කියන්නේ හිත හොඳ චණ්ඩියෙක් කිව්වත් හරි. ඒ නිසාම වෙන්න ඇති මේ තරම් ආදරයක් ලැබෙන්නේ.


මේ දිනවල ඔබ රිදී තිරයේත් දකින්න ලැබෙනවා?


ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල තිරගත වන සූරිය සුළඟ සිනමාපටයේ පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවනවා. ඇත්තම කිව්වොත් මට සිනමාවේ ලොකු කාල පරාසයක රඟපාන්න පුළුවන් චරිත ලැබිලම නැති තරම්. නමුත් මං කරන පොඩි චරිතය වුණත් මිනිස්සුන්ට මතක හිටිනවා. මම හැම වෙලේම උත්සාහ කරන්නෙ ලැබෙන පොඩි කොටසත් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න රඟපාන්නයි. ඒ නිසාම වෙන්න ඇති මට මේ දවස්වල සිනමා නිර්මාණ රාශියකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම සිනමා නිර්මාණ රාශියක් කරලා ඉවර වෙලා ඒවායේ හඬකැවීම් තියෙනවා.


ඔබ කලාවේ පුංචිම තැනින් පටන් ගත්ත කෙනෙක්. මේ වෙද්දි මුළු කතාවක්ම ඔබේ චරිතය වටා ගෙනයන්න තරම් ප්‍රබල භූමිකාවක් බවට වෙලා. මේ ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?


රඟපෑම කියන්නේ ගෞරවාන්විතව, දැනගෙන, ඉගෙනගෙන, හදාරමින්, හදාරන ගමන් එකතු වෙන්න ඕන විෂයක්. පරතෙරක් නැති විෂයක්. එකපාරට ඇවිත් රඟපෑව පමණින් මේකෙ පැළවෙන්න හරි අමාරුයි. එහෙම පැළවෙන ගමන් හදාරන්නත් ඕන. ඕනෙම කෙනෙකුට මම නිළියක් මම නළුවෙක් කියල කියන්න පුළුවන්. නමුත් කාලය නාස්ති කරගෙන අපි දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයාට අපි වගකියන්න ඕන. ඉන්දියාව ගත්තොත් පාරක යන, බස් හෝල්ට් එකක ඉන්න කෙනෙකුට ගන්නෙත් රංගන පාසල්වල මේ විෂය හදාරලා දිගු කාලයක් මේ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති කෙනෙක්. ඒ වගේ හදාරමින් අත්දැකීම් ලබමින් යන්න ඕන ගමනක් මේක. මං ආපු ගමන්මඟ ගැන මට ලොකු සතුටක් තියෙනවා.


ඔබේ පියා වින්සන්ට් වාස් කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔබේ ගමනට ඔහුගෙන් ලැබුණු දායකත්වය කොහොමද?


මම මේ ක්ෂේත්‍රයට එන්නේ චිත්‍රපට සියයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙන වින්සන්ට් වාස් කියන චිත්‍රපට නළුවා නිසා නම් නෙවෙයි. ඔහු මගේ තාත්තා වුණාට ඔහුට ඕන කළේ අපිට හොඳින් උගන්වන්න. ලංකාවේ කතෝලික පිරිමි පාසල් අතර ඉහළින්ම තියෙන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට ඔහු මාව ඇතුළත් කරන්නෙත් ඒ අරමුණෙන්. මටත් නළුවෙක් වෙන්න කිසිම උනන්දුවක් තිබුණෙ නැහැ. පල්ලියේ ගීතිකා ගයන්න යන්නෙත් ගායන හැකියාව මුවහත් කරගන්න. එඩ්වඩ් ජයකොඩි සර් ළඟට යන්නෙත් ගායන හැකියාව වර්ධනය කරගන්න. ඔහුගේ ගීතයක අත්වැල් ගායනයට මාව ස්වර්ණවාහිනියට එක්ක ගිය දවසක කෙනෙක් මාව හොඳින්ම නිරීක්ෂණය කරලා. ඊළඟ දවසේම එඩ්වඩ් සර් කිව්වා ඔන්න ටෙලි නාට්‍යක රඟපාන්න ලේස්ති වෙන්න කියලා. ඒ කාලෙ මට ලොකු ගොතයක් තිබුණ නිසා මං බැහැම කිව්වා. එඩ්වඩ් -චරිතා යුවළගේ දැඩි බලකිරීමට තමයි මං එදා ගියේ. මට කතා කරලා තිබුණේ ජැක්සන් ඇන්තනී. ඒ 2003දී. ඔහු මාව මුලින්ම ඔහුගේ අබා චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. ඒ වගේම යෙහෙළී වාර්තාමය වැඩසටහනේ කැරැක්ටර්ස්වලට සම්බන්ධ කරගෙන පුංචි තිරයටත් දායක කරගත්තා. දිනූෂා රාජපතිරණගෙන් ලැබුණු සහයෝගයත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ටෙලි නිර්මාණයක් විදිහට මුලින්ම දායක වුණේ චාමර පීරිස්ගේ අයාල් ටෙලි නිර්මාණයට. ඊට පස්සේ ඔහුගේම යාය හතර ඇතුළු තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඔහුවත් මං මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ විදිහට හෙමින් හෙමින් ආපු ගමනක් මේක.


ඡායාරූප – තිලක් පෙරේරා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post