ෂෙහානි කහඳවල කියන්නේ බොහෝ දෙනෙකුගේ නෙත් ඇය වෙත නතු කරගත් සුන්දර නිළියක්. නිතර රූප තිරෙන් දකින්න නොලැබුණත් තමන් තෝරා ගන්නා චරිතය තුළ මැනවින් ජිවත් වෙමින් ඒ සඳහා උපරිම සාධාරණය ඉෂ්ට කරන්න හැකි දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය ගැන කතා වෙන්නේ බෝල්ට් ඇණයක් නාට්‍යයේ ඩයනා නිසා.
කොහොමද ඩයනා ට ලැබෙන ප්‍රතිචාර?
ඩයනාට ලැබෙන ප්‍රතිචාර හරි ෂෝක්. ඒක වෙනස්ම චරිතයක්. කාලෙන් කාලෙට වෙනස් අත්දැකීම් සහිතව ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඩයනා කියන්නෙත් එහෙම චරිතයක්.
හිතුවද මේ තරම් ප්‍රේක්ෂක කතාබහක් ඇති වෙයි කියලා
භාර ගන්න කලින්ම මම දැනගෙන හිටියා බැණුම් අහන්න වෙනවා කියලා. මටම ආවේණික වුණු ප්‍රේක්ෂක පිරිසක් කොහොමත් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයෝ මාව තේරුම් ඉන්නේ. වෙනම පිටස්තර විදිහට චරිතෙට ආදරේ කරන අය ඉන්නවානේ. ඒ අය කමෙන්ට් එක දෙන්නේ නිර්මාණයටම. එහෙම නැතුව ෂෙහානි කහඳවලට නෙමෙයි. මම ඉතින් ඕනෙම දෙයක් ආදරෙන් භාර ගන්නවා. ඩයනා කරන වැඩ වැරදියි තමයි.
ඩයනා ඉස්සරහට තව වෙනස් වෙයිද?
ඒවා කියන්න බැහැ. මොනවා වෙයිද කියලා.
කාලයක් රංගනයෙන් ඈත් වෙලා සංගීතයට නැඹුරු වෙලා හිටියනේ, දැන් ආයේ සංගීතේ යටපත් වෙලා ද?
නැහැ. මම සංගීතයෙන් ඈත් වෙලා නැහැ. මේ ටිකේ මම සින්දු කිහිපයකම වැඩ කරගෙන යනවා. මේ අවුරුද්දේ මාර්තු මාසේ මල් වියන් කියන සින්දුව රිලීස් කළා. යූ ටියුබ් එකෙන් ඒක බලන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනට මම අලුත් සින්දුවක් රිලීස් කරනවා.
මේ දවස්වල ෂෙහානි කාර්යබහුල ද?
මේ දවස් වල මම ITN එකේ නිවේදන කටයුතු කරනවා. බෝල්ට් ඇණයක් නාට්‍යය එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ අතරේ මම මියුසික් කරනවා. අලුත් ගීතයක් ලියාගෙන යන ගමන් ඉන්නේ. හිමින් සැරේ මේ වැඩ ටික ඔක්කොම කරගෙන යනවා. ඒ අස්සේ මම, මම ගැනත් බලා ගන්න ඕනේ. ඔය දේවල් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
මෝඩ තරිඳු එකේ සොෆියා නිසා ජනප්‍රිය වෙලා හිටියා, ඉදිරියේදි සිනමාවෙන් දකින්න ලැබෙනවද?
ඉදිරියේදි සිනමාවෙන් දකින්න පුළුවන් වෙයි. හැබැයි ඒ ලස්සන කතාවකට මට ආරාධනා ලැබුණොත් තමයි.
ෂෙහානි චරිත තෝරනවද?
එහෙමත් නැහැ. මම කැමැති ෂෙහානි කහඳවල අතහැරලා චරිතයක් හසුරුවන්න පුළුවන් කියලා මට දැනෙනවා නම් මම ඒ චරිතේ භාර ගන්නවා. පිටපතට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට දැනෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මෝඩ තරිඳු එකෙන් පස්සේ ගොඩක්ම ඇරයුම් ආවේ සොෆියාගේ තවත් පැතිකඩක්. ඒ නිසා මම කැමැති වුණේ නැහැ. මම කැමැති නැහැ එහෙම එක චරිතෙකට සීමා වෙන්න. මම කැමැති විවිධාකාර චරිත කරන්න. ලස්සන චරිතයක් ආවොත් මම අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මේ අතර අලුතින් නාට්‍යය කිහිපයකත් වැඩ කළා.
මේ වැඩ අස්සේ තමන්ව බලා ගන්නත් කාලය වෙන්කරනවා කිවුවනේ.. මොනවද ඒ වෙනුවෙන් කරන්නේ?
ඉස්සර මම ජිම් එකේ වැඩි කාලයක් ගත කළා. නමුත් දැන් එහෙම නැහැ. මේ දවස්වල මගේ ඇඟ හදාගන්නවට වඩා මානසික සුවය ගැන හිතනවා. අපි මිනිස්සුනේ ඒ නිසා අපිට දුක සතුට දැනෙනවා. මේ වැඩත් එක්ක මම කොහොමද මට ආදරේ කරන්නේ සහ මම කොහොමද ඒ දේවල් බැලන්ස් කරන්නේ කියන එක මම හිතනවා. අපේ හැඟීම් තියෙනවා. ඒ දේවල් ගැන මම දැනුමක් ලබා ගන්න වැඩි කාලයක් යොමු කරනවා.
ෂෙහානි කියන්නේ ෆැෂන් කරන්න ආස කෙනෙක්නේ, දැන් ඒ අදහස් වෙනස් වෙලා ද?
ඉස්සර වගේ දැන් ලොකුවට ෆැෂන් කරන්නේ නැහැ. මම හරි ආසයි ෆැෂන් කරන්න. මේ කාලේ මගේ පෞද්ගලික ජීවිතේ එක තැනක මනස තියා ගන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසා මගෙ හිත නිදහසේ නැහැ කියලා මට තේරුණා. එතකොට මම හිර වෙනවා. මම මං ගැන හිතන්නේ නැහැ, මම ආස දේවල් කරන්නේ නැහැ. හැබැයි දැන් මම ටික ටික ආයෙම මාව බලා ගන්නවා. මම හරිම ආසයි විලාසිතා කරන්න. කවුරුත් මොනවා කිවුවත් මට වැඩක් නැහැ. මම ඒකට ආසයි නම් සහ ඒ දිහා බලලා තව කෙනෙක් ආස වෙනවා නම් මම ආසයි ඒ දේ කරන්න.
ප්‍රේක්ෂක ආදරේ ෂෙහානිට දැනෙනේ කොහොමද?
මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 14ක් වෙනවා. මම වැඩ කරන ප්‍රමාණය අඩු වුණාට කවදත් මම ප්‍රේක්ෂකයින් අතර ඉන්නවා. මගේ සෝෂල් මීඩියා ඇක්ටිව්. මම කවදාවත් ෂෙහානි කහඳවල කියන එක අතහැරලා නැහැ. එයා ඉන්නවා. එයා මියුසික්වලින් ආවා. කාලයකට නර්තනයෙන් ආවා. මම කවදාවත් මාව මැකෙන්න දෙන්නේ නැහැ. හැමදාම මම ප්‍රේක්ෂකයින් අතර ඉන්නවා. ප්‍රේක්ෂකයින් අපිට ආදරේ කරන්නේ එයාලගේ පවුලේ අයට වගේ. ඒ දෙන ආදරේට මමත් ගොඩක් ආදරේ කරනවා.