වේලපහින් සැඳෑ සමය ඇවිත්’මං ගැන පොතක් ලියාගෙන යනවා-කුමාර තිරිමාදුර

gossiplanka image 1
 


වසර දාහතරක් උපාලි පුවත්පත් මාධ්‍ය ආයතනයේ වෘත්තීය ජීවිතය ගත කළ නමුත් ඔහුගේ වැඩි ඇල්ම, බැඳීම තිබුණේ වේදිකාව සමඟය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන විසින් එම විද්‍යාලයෙන් මෙරට වේදිකාවට තිළිණ කළ ප්‍රතිභාපූර්ණ රංගධරයන් අතර කුමාර තිරිමාදුරට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. පාසල් වේදිකාව සිය ජීවන ගමනේ මූලික අඩිතාලම වූවා සේ ම මොරටුව රාවතාවත්තේ ඉපදී හැදී වැඩුණු තිරිමාදුරට මොරටුව ද සොයිසාරාම දහම් පාසල ද සිය කලා ජීවිතයට සෙවණැලි සැපයූ අපූර්ව ස්ථානයක්ම විය.


දහම් පාසල් නාට්‍ය මෙන් ම පද්‍ය ගායනා, භක්ති ගීත ආදියට තිරිමාදුර නැතුව ම බැරි ශිෂ්‍යයෙක් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළ තිරිමාදුර රැන්ටින් ද සොයිසා සහ ජෝතිමුණි මාලිනී මියුරින් පෙරේරා යුවළට දාව උපන් දියණිවරු පස් දෙනෙක් සහ පුතුන් තුන්දෙනෙක් සිටි පවුලේ හයවැනි දරුවා වූයේ පසු කලෙක ලෝක ප්‍රකට, විශ්ව සම්මානයෙන් පිදුම් ලද අපගේ ප්‍රතිභාපූර්ණ රංගවේදී සේ ම ගායන, ලේඛන, නිවේදන, නිෂ්පාදන ක්ෂේත්‍රය ද ජය කෙහෙළි නැංවූ කුමාර තිරිමාදුර යි. විචාරකයින් ඔහු ව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලාංකේය වේදිකාවේ ආධිපත්‍ය දැරූ රංගවේදීන් පස් දෙනා අතර කෙනෙකු ලෙසිනි. ජැක්සන් ඇන්තනි ඔහුව වරක් හඳුන්වා දී තිබුණේ ඔහු හැරුණු කල කලා ක්ෂේත්‍රයේ සිටින මල්ටි ටැලෙන්ටඩ් මෑන් කුමාර තිරිමාදුර කියා යි.


එසේ ම ඔහු කියා තිබුණේ සිනමාවේ රස්තියාදුකාරයා ද කුමාර තිරිමාදුර බව යි. කුමාර තිරිමාදුර මෑතකදී අතිශය ගෞරවාදරයට පත් වූයේ ‘ද නිවුස්පේපර්‘ චිත්‍රපටයේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම නිසා ය. තිරිමාදුර සරත් කොතලාවල හා එක් ව පිටපත නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය ද ඔවුන් දෙදෙනා ම ය. 2022 බැංගලෝර් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ (BIFFes) ආසියානු සිනමා තරගයේ දෙවැනි හොඳම චිත්‍රපටය ලෙසත්, එම වසරේ ම ලන්ඩනයේ පැවැති 23 වන රේන්බෝ චිත්‍රපට උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් දිනූ ‘ද නිවුස්පේපර්‘ චිත්‍රපටය මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උලෙළේදී දකුණු ආසියානු රටවල චිත්‍රපට අතර “හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත්‍රපටය” සඳහා වන සම්මානයට නිර්දේශ වුණි. 2022 සැප්තැම්බරයේ පැවති 18 වන කසාන් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී ඒකාබද්ධ හොඳම නළුවන් ලෙස කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල සම සම්මානයට පාත්‍ර වුණි. කුමාර තිරිමාදුර ප්‍රධාන චරිතයක් රඟපෑ ධර්ම යුද්ධය 1 සහ 2 චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත් වුණු අතර එහි 3 වන කොටස ද මේ වනවිට ආරම්භ කිරීමට සූදානමින් පවතී. ධර්ම යුද්ධය 1 හි රඟපෑම වෙනුවෙන් පසුගිය හිරු, දෙරණ, සිග්නීස්, ජනාධිපති, සරසවි සම්මාන උලෙළ පහේදී ම හොඳ ම සහාය නළුවා වූයේ කුමාර තිරිමාදුර යි. එක ම චරිතයක් සඳහා, එක ම නළුවෙකුට, එක ම වසරකදී, සම්මාන උලෙළ පහකදී ම හොඳ ම සහාය නළුවා සම්මානය හිමි වීම සම්මාන ඉතිහාසයේ වාර්තාගත වූවකි.


තවදුරටත් සිනමා නිර්මාණ කිහිපයකට ම සම්බන්ධ වෙමින් රූගත කිරීම්වල නිරත ව කාර්යබහුල වී සිටියත් ජීවන ගමනේ සැබෑම සීයාගේ භූමිකාව අත්විඳිමින් පුංචි මුනුබුරා සමඟ විවේකය ගත කරන්නට කුමාර දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. “ඇත්ත වශයෙන් ම මගේ ජීවිතයේ මේ වනවිට සියලු ජයග්‍රහණ අත්විඳලා, ඉතා ම සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්නවා. මට තවත් හඹා යන්න ඉලක්ක නැහැ. ලෝකයේ රටවල් ගත්තොත් විශාල සංඛ්‍යාවකට මම ගිහින් තියෙනවා. කලාකරුවෙක් වීම නිසා මම මුළු ලෝකය ම දැක්කා. දැන් මම ජීවිතය දිහා බොහොම සැහැල්ලුවෙන් දකිමින් මේ මොහොත සතුටින් ගත කරනවා. මගේ බිරිඳ, දරුවන් වෙනුවෙන් මම යුතුකම් ඉටු කර තිබෙනවා. නමුත් එක පැත්තකින් බැලුවා ම මට වඩා මගේ දරුවන්ගේ වගකීම් දරමින් එයාලාගේ අනාගතය ගොඩනංවන්න පුදුමාකාර සටනක යෙදුණේ මගේ බිරිඳ තුෂාරා යි. මම බොහො ම නිදහසේ නාට්‍ය වැඩවලට, සිනමාව සහ ටෙලි නාට්‍ය රූගත කිරීම් ආදිය වෙනුවෙන් ම ජීවිතය කැප කළා මිස දූලා දෙන්නා ගැන බලන්න කාලයක් මට තිබුණේ නැහැ. ඇය ලොකු කැප කිරීමක් කළා. තවමත් ඇය නොකඩවා ඒ කාර්යයන් ඉටු කරනවා. දැන් මට ඉස්සර වගේ ගෙදරින් එළියට බැහැලා රූගත කිරීමකටවත් යන්න හිතෙන්නේ නැහැ. ඒ මගේ පුංචි මුනුබුරා නිසා යි. එයා ලැබුණාට පස්සේ මගේ ජීවිතයේ පුදුමාකාර ප්‍රබෝධයක්, පිබිදීමක්, නැවත ඉපදුණා වගේ හැඟීමක් දැනුණා. එයා මගේ වැඩිමල් දියණිය අමා තිරිමාදුරගේ පුතා දේව් අව්‍යාන් තිරිමාදුර වුණත් සීයාගේ නම ගෙනියන්න ඉන්න පුතා නිසා එයාට තිරිමාදුර වාසගම ලබා දී තිබෙනවා. මොකද මට ඉන්නේ දියණිවරුන් දෙදෙනෙක් විතරයි.“


ධම්ම ජාගොඩගේ නාට්‍ය නිර්මාණයක් වූ ‘සකලජන‘ කුමාර තිරිමාදුරගේ පළමු වේදිකාප්‍රාප්තිය යි. එදා මෙදාතුර වේදිකා නාට්‍ය 250කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති කුමාර තිරිමාදුර දැනටමත් චිත්‍රපට 120ක පමණ රඟපා ඇත. ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට සහ අලුතෙන් රූගත කිරීම් සිදු කෙරෙන චිත්‍රපට ද බොහෝමයකි. සුබ සහ යස, වරෙන්තු, බල්ලොත් එක්ක බෑ, චරිතේ හොරු අරන්, කෝ කුක්කෝ, නරි බුරති, අං ආවු, දෙයියොත් දන්නේ නෑ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ම සිටින කුමාර තිරිමාදුර සිය ටෙලි නාට්‍ය රංගනය ආරම්භ කරන්නේ ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා‘ ටෙලි නාට්‍යයෙනි. එතැන් පටන් ඔහු පබා, කටු ඉඹුල, ආටක නාටක, ඉසුරු සංග්‍රාමය වැනි ජනප්‍රිය නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූයේ ය.


ජැක්සන් ඇන්තනිගේ ‘ජුලියට්ගේ භූමිකාව‘ චිත්‍රපටයෙන් සිය සිනමා රංගනය ආරම්භ කළ කුමාර තිරිමාදුර එක් අවස්ථාවක හාස්‍ය රංගනයේ ද තවත් විටෙක නපුරු රංගනයක ද තවත් විටෙක ගාම්භීර රංගනයක ද ආදි වශයෙන් විවිධාකාර වූ කළු, සුදු චරිත නිරූපණය කරන්නට සමත් ය. ඒ අතර සොඳුරු දඩයම, ඉර මැදියම, අක්ෂරය, මචං, ආකාස කුසුම්, සිංහාවලෝකන, ගාමණී, නිකිණි වැස්ස, ධර්මයුද්ධය, සුනාමි, ද නිවුස්පේපර්, තාත්තා, සිංහබාහු, ගඩාෆි ආදි සිනමා රංගනයන් ද සුවිශේෂ විය.


“සම්මාන ගෞරවවලත් ඉහළ ම සම්මාන මට හිමි වුණා. ජාත්‍යන්තර ඇගයීම් වගේ ම අපේ රට තුළ පවත්වන සම්මාන උලෙළවලදීත් සම්මාන රාශියක් ලැබී තිබෙනවා. 2003 දී ‘සොඳුරු දඩබිම‘ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු වුණා. 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳ ම නළුවා වුණා. ‘තන්හා රති රඟා‘ චිත්‍රපටයේ තිර රචනය සරත් කොතලාවලයි, මම යි එක් ව සිදු කළා. ඒ සඳහා 2014 දී දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම තිර රචනය සඳහා සම්මාන හිමි වුණා. ඊට පස්සේ අපි දෙන්නා ‘ද නිවුස් පේපර්‘ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා සම්මානත් දිනා ගත්තා. සුමති සම්මාන – 2011 කුසලතා සම්මාන, පළමු දෙරණ චිත්‍රපට සම්මානය – 2012 ‘ගාමණී‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳ ම සහාය නළුවා, 3 වන දෙරණ ලක්ස් චිත්‍රපට සම්මානය – 2014 ‘තණ්හා රතී රාඟා‘ හොඳම තිර රචනය, සුමති සම්මාන – 2017 කුසලතා සම්මානය හා ජූරියේ විශේෂ සම්මානය, එම වසරේදී ම ‘ග්‍රැහැම්බෙල්වත් සිතුවද‘ රංගනය වෙනුවෙන් රයිගම් ටෙලි මෙරිට් සම්මානය, 2018 වසරේ හිරු ස්වර්ණ චිත්‍රපට සම්මාන හොඳ ම සහාය නළුවා සම්මානත් මට ලැබුණා.


ඊට අමතර ම මගේ ගමෙන් මට ලැබුණු සම්මානයත් මට රටක් වටිනවා. මොරටුව මහා නගර සභාවේ ‘සාහිත්‍යාංජලී‘ සාහිත්‍ය කලා මහෝත්සවයේදී වසරේ විශිෂ්ටත ම මොරටු පුත්‍රයාට හිමි සම්මානය 2021 වසරේදී මට හිමි වුණා. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කලාවට බෙහෙවින් ආදරය දක්වන හිටපු නාගරික කොමසාරිස් සචිත් තෙවරප්පෙරුම මහතා ප්‍රධාන කොට ගත් මොරටු පුත්‍ර සම්මානය වෙනුවෙන් ඇප කැපවුණු සැමට මම උපන් ගම වෙනුවෙන් ස්තුතිය පුද කරනවා.“


කුමාර චරිත නිරූපණය කළ චිත්‍රපට පහක් ඇතුළත් කර 2021 මාර්තු මාසයේදී චිත්‍රපට උලෙළක් කොල්ලුපිටියේ ලිබර්ටි ශාලාවේදී “ඔටුනු නොදැමූ කුමාරයාගේ හැඟීම් සහිත සිනමා පෙරහැර” ලෙස නම් කර පැවැත්වූ අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණි. “මේ දවස්වලත් මම අලුත් නිර්මාණ කිහිපයකට ම සම්බන්ධ වෙලා ඉන්නවා. ‘ඕල්ඩ් මෑන්‘ චිත්‍රපටයේ වැඩ නිම කළා. ‘බල්රාජ්‘ චිත්‍රපටයේ වැඩ කෙරෙමින් තියෙනවා. මේ චිත්‍රපට දෙකේ ම තිර පිටපත් ලියලා, අධ්‍යක්ෂණය කරලා ප්‍රධාන චරිතත් කළා. මගේ පොඩි දුව සුචේතා තිරිමාදුර ‘බල්රාජ්‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරන ගමන් මම චිත්‍රපටයේ තිර පිටපතට සහය වෙමින් සහය අධ්‍යක්ෂ හැටියටත් කටයුතු කළා. ගායිකාවක් හැටියටත් මේ වනවිට ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තියෙනවා. ලංකාවේ වගේ ම විදේශ රටවල ප්‍රසංගවලටත් දුව මාත් එක්ක ම සම්බන්ධ වෙනවා. දැනටත් රටවල් කිහිපයකින් සංගීත ප්‍රසංගවලට ඇරයුම් ලැබී තිබෙනවා. ඉදිරියේදී ‘ලයිෆ් ගාඩ්‘ නමින් අලුත් චිත්‍රපටයක් ආරම්භ කිරීමටත් සූදානමක් තියෙනවා. ඊට අමතර ව ‘ධර්ම යුද්ධය 3‘ චිත්‍රපටය සඳහා ආරාධනා ලැබුණා.


මොරටුව රාවතාවත්ත සොයිසාරාම දහම් පාසලේ භක්ති ගීත ගායනයෙන් ඇරැඹි තිරිමාදුරගේ ගායන දිවිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උසස් ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වුණි. 2016 වර්ෂයේදී ප්‍රථම වරට ගීතයක් රූප රචනයක් සහිත ව එළි දැක්වීමත් සමඟ ගායන ශිල්පියෙක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත් කුමාර තිරිමාදුර ‘මං බොරැල්ලේ ඈ බදුල්ලේ‘, මාලබේ කියූ කිසිවෙකු, මේ උඩැක්කි කෝලම, පාට පාට මල් ගොඩේ ආදි වශයෙන් ගීත දහයකට වැඩි සංඛ්‍යාවක් එළි දක්වා ඇත. 2017 වර්ෂයේදී ‘කුමාරයා මං – දෙවැනි ගමන‘ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ ඔහු ගායන ශිල්පියෙක් ලෙස ප්‍රසංග වේදිකාවේ ද ජය කෙහෙළි නැංවූයේ ය.


“මම 2019 වර්ෂයේදී මගේ ජීවිත කතාව ග්‍රන්ථයකට නැඟුවා. ඒක අධ්‍යාපනික ග්‍රන්ථයක් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රදානය කර තිබුණා.‘කරළියේ රස කතා‘ මම මුලින් ම ලියන්න ගත්තේ තීරු ලිපි හැටියට යි. ඒ පොත මුද්‍රණය කළ යුතු ව තිබෙනවා. ‘වේලපහින් සැඳෑ සමය ඇවිත්‘ කියලා මං ගැන හිතලා අලුත් පොතක් ලියාගෙන යනවා. සාමාන්‍යයෙන් සැඳෑ සමය ආරම්භ වෙන්න වයස අවුරුදු හැටක් හැත්තෑවක් වෙන්න ඕනේ නේ. මට තව ම අවුරුදු පනස් පහක් වගේ වුණත් සැඳෑ සමය මට දැනෙනවා. මගේ ජීවිතය සෑම අතින් ම සම්පූර්ණ යි. දිවයින පුවත්පතේ මා ගත කළ මාධ්‍ය ජීවිතය මගේ ලිවීම වැඩි දියුණු කරන්න හේතු වුණා. සෝදුපත් කියවන්නෙක් ලෙසත් මම එහි රාජකාරි කළ නිසා ලිවීමෙහි ඇති නිරවද්‍යතාව පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක් ලබා ගන්න හැකි වුණා. සෑම තැනකදී ම මම යමක් ඉගෙන ගත්තා. මම මේ දවස්වල පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේගේ, පූජ්‍ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් කියවනවා. වේලාසනින් ම සැඳෑ සමය අත්විඳිනවා. මට කනගාටුවකට තියෙන්නේ මේ රටේ අනාගතය ගැන. මේ වනවිටත් තරුණ තරුණියෝ අති විශාල පිරිසක් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉවරයි. අනාගතය නෙවෙයි මේ වනවිට වර්තමානයත් සෑහෙන දුරකට විනාශ වෙලා අවසාන යි.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post