මේ දිනවල විකාශය වන ‘සෝනු මන්දාරා’ ටෙලියේ මන්දාරාගේ ලොකු අයියා නිමේෂ් ඔහුයි.. පවුලට තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුකරමින් තනියෙන් ජීවිතයට මුහුණදෙන නිමේෂ් ගැන අද බොහෝ දෙනා කතා කරති. එකී චරිතයට ජීවය දෙන යොවුන් රංගන ශිල්පි සමුදිත උදාර සිය චරිතය ගැනත් කලාදිවිය ගැනත් රසඳුන හා මෙසේ අදහස් දැක්වීය.
“කෙටියෙන්ම කීවොත් මන්දාරාගේ වැඩිමහල් අයියා නිමේෂ් මමයි. ටිකක් කේන්‍ති ගන්න අයියා කෙනෙක්. ඔහුගේ පියා විදුහල්පතිවරයෙක්. මව ගෘහණියක්. නිමේෂ්ට නංගි සහ මල්ලි කෙනෙක් ඉන්නවා. නංගි තමයි මන්දාරා. ගමේ කොල්ලො එක්ක සෙට් වුණු, එහෙත් තමන්ගේ පවුල වෙනුවෙන් පණ වුණත් දෙන කොල්ලෙක්. තව විදිහකින් කීවොත් තමන් විසින්ම ජීවිතය හදාගත්ත තනියෙන් ජීවිතයට මුහුණදෙන ශක්තිමත් චරිතයක්. එසේම තමන්ගේ වගකීම් ඉටුකරමින් සිටින ආදරණීය චරිතයක් ලෙස මට නිමේෂ්ව දැනෙනවා”.
‘සෝනු මන්දාරා’ හි අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක සහ තිර රචිකා ගයනි අසිංසලා යන දෙදෙනාගේ ආරාධනයෙන් තමන්ට නිමේෂ් චරිතය ලැබුණු බවත් අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයකුට වඩා සහෝදරයකු ලෙස තමන් සලකන බවත් පැවසීමට ද ඔහු අමතක නොකළේය.
“අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක මහතා මගේ කලාදිවියේ හමුවූ දක්ෂතම, විශ්වාසවන්ත පුද්ගලයෙක්. මට දැනෙන්නේ ඔහු මගෙ සහෝදරයෙක් වගෙයි. ඔහුගෙන් ලැබෙන සහායත් නිසා නිමේෂ් චරිතය තවතවත් ඔපමට්ටම් කරගන්න පුළුවන් වුණා. එසේම කැමරා අධ්‍යක්ෂ ඉන්දික ලක්මාල්, වේශ නිරූපණ ශිල්පි ඇතුළු රංගන ශිල්පීන්, කාර්මික පිරිසගෙනුත් උපරිම සහයෝගයක් මට ලැබුණා. අපි එකම පවුලක් වගෙයි වැඩකරන්නේ.”
කුඩා කල සිටම ඔහුට රංගනයට උණක් තිබූ තරුණයෙකි. මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද සමුදිත උදාර, එකී පාසලේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වූ අද වනවිට ප්‍රවීණයන් වන ජගත් චමිල, කුමාර තිරමාදුර ආදීන් එකල පාසල් වේදිකාවේ රඟපෑ අයුරු දුටුවේය. එහි ආභාසයෙන් තමන් ද පාසල් වේදිකාවේ රඟපෑ බවත් අවුරුදු 20ක පමණ කාලයක සිට රඟපෑම වෙනුවෙන් වෙහෙසෙන බවත් අද වනවිට තමා ගැන ප්‍රේක්ෂක කතාබහක් ඇතිව තිබෙන බවත් ඔහු කීවේ ඉමහත් සොම්නසිනි.
සමුදිත උදාර පුංචි තිරයට පමණක් නොව සිනමාවට ද අවතීර්ණව සිටියි.
“තිනේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කළ ‘අධිරන්’ චිත්‍රපටය මගේ රංගනදිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙය සිංහල, දෙමළ සුසංයෝගයෙන් යුත් චිත්‍රපටයක්. එසේම තිනේෂ් කනගරාජ් අයියගේම ‘ ගන්ධාරා’ චිත්‍රපටයේ රූගතකිරීම්වලට මේ දවස්වල දායක වෙනවා. ඉදිරියේදී විදෙස් සිනමාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මලයාලම් සිනමාවටත් දායක වෙන්න අදහසක් තිබෙනවා.”
පාසල් සමයේ නාට්‍ය හා රංගකලාව විෂයක් ලෙස හදාරමින් අනතුරුව මෙරට ප්‍රවීණයන්ගේ මෙන්ම විදෙස් ජාතිකයන්ගේ රංගන වැඩමුළු රැසකට ද සහභාගි වෙමින් සමුදිත රංගන කලාව පිළිබඳ අධ්‍යයනයක ද නිරතව තිබේ.
චරිතයකට ආරාධනා ලද පසු ඔහු විශේෂයෙන් සලකා බලන කරුණු ද වෙයි.
“මුලින්ම මම බලන්නේ පිටපතයි. මට ලැබෙන චරිතයට පිටපත තුළින් උපරිම සාධාරණයක් කළ හැකිද කියා අනිවාර්යයෙන් බලනවා. චරිතය මනාව ඔපමට්ටම් කළ හැකි අධ්‍යක්ෂවරයෙක් සිටීමත් අපට වටිනවා. ඒ ගැනත් අවධානය යොමු කරනවා. ”
තමන් රඟපෑ චරිත අතරින් ‘සෝනු මන්දාරා’ හි නිමේෂ් චරිතයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන බවත් පැරණි කාලයේ ගම්බද චරිතයකට පණපෙවීමට කැමැත්තෙන් සිටින බවත් පැවසූ සමුදිත, ආදරය ගැන පවසන්නේ මෙවන් අදහසකි.
“ආදරය අපි හැමෝටම නැතිව බැරි දෙයක්. අනෙක් අයට වගේ මටත් ඒක එහෙමයි ”
රංගනයට අමතරව ව්‍යාපාරයක ද නිරතව සිටින සමුදිත උදාර, රංගනය මෙන්ම සිය ව්‍යාපාරය ද දියුණු කරගනිමින් ඉදිරියට යෑමට අදහස් කරගෙන සිටියි.