අද සිනමා ක්ෂේත්‍රය මාෆියා රැල්ලක් තියෙනවා - දසුන් පතිරණ

gossiplanka image 1
 

ඔහු සිනමාවේ පෙරළිකාරයෙකි. ප්‍රේක්ෂකයින් ඔහුගේ සිනමාපටයක් තිරගත වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ජලය, දමන භාජනයේ හැඩය ගන්නා සේ ඔහු ද ඔහු පණ පොවන විවිධ චරිත මත ඒ ඒ චරිතයට අදාළව අපූරු හැඩතල මවයි. ඔහුගේ ආවේණිකත්වය ඔහුගේ පෙනුමේ සිට රංගනය දක්වා දිවෙන විශාල පරාසයකි.මෝටර් බයිසිකල්,කන්දක් සේ මා,සය පෙති කුසුම,ආයු,දැවෙන විහඟුන්, හුස්ම,මාරියා ආදී සිනමාපට තුළ ඔහුගේ අද්විතීය රංගන කෞශල්‍යය විදහා දැක්වෙයි. මේ වන විට ඔහු, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ද ඔහුටම ආවේණික මං සලකුණු තබා හමාරය. ගිරි දේවී, සත් පියවරු, මගේ ආදර අවනඩුව, තණමල්විල කොල්ලෙක්, අඩෝ, ඒ/ඹ් ඉවරයි ආදී වූ ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය නම් මාලාව තව දිගුය.වයස අවුරුදු 17 දී සිය කලා ගමන ආරම්භ කළ ඔහු 2013 දී “අහසින් වැටුණා” ටෙලි නාට්‍ය වෙනුවෙන් “හොඳම නැගී එන නළුවා සම්මානය” දිනා ගත්තේය.එවක් පටන් ඔහු දිනූ සම්මාන බොහොමයකි. ක්ෂේත්‍රයේ හිතවතුන් අතරත් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින් අතරත් “දස්සා” යන ආදරණීය නාමයෙන් හඳුන්වන ඔහු දසුන් පතිරණයි.


කොහොමද දසුන් මේ දවස්වල කලා කටයුතු ?


මේ දවස්වල නම් මම මඩකලපුවේ ඉන්නේ. පහුගිය දවස්වල දිනේෂ් කනගරාජ්ගේ “ගාන්ධාර” සිනමාපටයේ රූගත කිරීම් අවසන් කළා. මේ දිනවල මාස්ටර් ක්‍රිෂ්ණාගේ “වීරා” සිනමා පටයේ රූ ගතකිරීම්වල තමයි ඉන්නේ. මාත් එක්ක අකිල ධනුද්ධර මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා. මේ සිනමාපටයේ මම ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය තමයි රඟපාන්නේ. කලින් මම කරපු චරිතවලට වඩා ටිකක් විතර වෙනස් චරිතයක්. මේ චිත්‍රපටය නිසා ලංකාවේ ද්‍රවිඩ සිනමාකරුවන් සමඟ එකට කටයුතු කරන්න අවස්ථාවක් මට උදා වෙලා තියෙනවා. මං හිතනවා ඒක හොඳ සුසංයෝගයක් කියල. ඒ ගැන සතුටුයි. මඩකලපු ප්‍රදේශයේ සුන්දර පරිසරයක මේ දිනවල එහි රූගත කිරීම් පැවැත්වෙනවා.


විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. පළමු වතාවට තමයි රූගත කිරීමක් සඳහා හෝ මම මඩකලපුවට පැමිණියේ. අපේම රටේ වෙලත් අපිට නිදහසේ මඩකලපුව වගේ ප්‍රදේශයකට යන්න හැකියාවක් තිබුණේ නෑ , අපේ ජීවිතයේ හොඳම කාලෙදි. දැන් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඉතින් හරි සතුටින් මේ දවස්වල ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා.


ඔබ කලාවට අවතීරණ වෙන්නේ වේදිකාව තුළින්. ඊට ඔබේ දායකත්වය කොහොමද?


මහේන්ද්‍ර අයියාගේ Academy එකෙන් ආවට පස්සේ මම මුලින්ම සම්බන්ධ උනේ වේදිකාවට. තිසර ඉඹුලාන ඇතුළු පිරිසක් එදා අපිත් එක්ක හිටියා. මම වේදිකා නාට්‍යය ගොඩක් කරලා නැහැ; තුන හතරක් විතරයි කරලා තියෙන්නේ. ඒ කරපු නාට්‍ය ඒ කාලේ හොඳ නමක් දිනාගත්තා. මට වේදිකාවේ “හොඳම නළුවා” සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් ලැබිලා තියෙනවා. පස්සේ කාලෙක ටිකක් වේදිකාවෙන් ඈත් වෙන්න වුණා. දැන් නං මට ආයෙත් වේදිකා නාට්‍යවලට කතා කරනවා. නමුත් ඒවා වේදිකා නාට්‍ය විදිහට මම දකින්නේ නැහැ. ඒවා “රට යන්න හදන නාට්‍ය”. මං ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. වේදිකා නාට්‍යයක් හදනවා කියන්නේ හෝ වේදිකා නාට්‍යක රඟපානවා කියන්නේ විශාල කැපවීමකින් කළ යුතු දෙයක්. මාස හය හතක කැපවීමක් ඊට තියෙන්න ඕනේ. පුරුදු පුහුණු වෙන්න ඕනේ.ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි ඉගෙන ගත්ත වේදිකාව එහෙමයි. තමන් කරන දේ අවංකව කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් දෙවරක් නොහිතාම මං ඒක අද වුනත් බාර ගන්නවා. විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍යයක් කරන්න, ඊට සම්බන්ධ වෙන්නෙ ලොකු අදහසක් හිතේ තියෙනවා. ඒක අනාගතයට භාර දීලා තියෙන්නේ.බලමු.


“රංගනය” කියන කාර්යය ඔබ දකින්නේ කොහොමද?


රංගනය කියන්නේ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් “ඕක ඉගෙන ගන්නේ මොකටද, දක්ෂතාවය තියෙනවා නම්,මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්නේ” කියලා. දක්ෂතාවයත් ඕනේ තමයි. නමුත් ඔහුගේ හෝ ඇයගේ රඳා පැවැත්ම පවතින්නේ හැදෑරීම මතයි.ඒක මේ ක්ෂේත්‍රයට පමණක් නොවෙයි,ඕනෑම ක්ෂේත්‍රයකට පොදු දෙයක්. අද අපේ ක්ෂේත්‍රයට එන සමහරුන් ක්ෂේත්‍රයට එන්නේ රඟපාන්න ඇති ආසාව නිසා. නමුත් ආසාවට කිසිම තැනක රස්සාවක් අපිට ලැබෙන්නේ නැහැනේ. ඒ සඳහා පුහුණුවක් හා හැදෑරීමක් තිබිය යුතුයි. ශිල්පීය දක්ෂතාවයක් නැති කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න අමාරුයි.තමන් මේ ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න කාල සීමාව තීරණය කරන්නේ තමන්මයි. මහේන්ද්‍ර අයියලා කෞශල්‍යා අක්කලා වගේ අයගෙන් ලැබෙන දැනුම මේ ක්ෂේත්‍රය තුළ ස්ථිර රඳා පැවැත්මක් හදාගන්න ලොකු පිටුවහලක් වෙනවා.තමන්ට ම වෙන් වූ අනන්‍යතාවයක් ඇති කර ගන්න ඕනේ නම්,ක්ෂේත්‍රය තුළ ස්තීර පැවැත්මක් හදා ගන්න ඕනේ නම්,රංගනය කියන එක ඉගෙනගෙන එන්න ඕනේ.


ඔබ ඕනෑම ක්ෂේත්‍රයක හොඳීන් “පැල වෙන” කෙනෙක්.මේකට හේතුව විදිහට ඔබ දකින්නේ කුමක්ද?


ඒකට හේතුව විදිහට මම දකින්නේ වේදිකාවෙන් මම ලබපු පන්නරය. වේදිකාව කියලා කියන්නේ මගේ රංගන ජීවිතයේ අත්තිවාරමයි. එය තුළින් ලබපු දැනුම, ශක්තිය කිසිවකට සම කරන්න පුළුවන් කමක් නැහැ.ඒ අත්දැකීම් නිසා අදටත් අයාලේ යන දේවල් කරන්න අපට පුළුවන් කමක් නැහැ. හරි දෙයක් හරි විදිහට කරන්න ඕනේ කියන තැන තමයි මම හැමදාමත් ඉන්නේ. මම එක වතාවකට බාරගන්නේ එක වැඩක් විතරයි; වැඩ දෙක තුනක් එකවර කරන්න කවදාවත් බාරගන්නේ නැහැ. එහෙම වුණාම එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. අද සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන් එකවර චරිත දෙක තුන කරන්න බාර ගන්නවා.ඒක මට හරි යන්නේ නැහැ.


වේදිකාවෙන් මං ඉගෙන ගත්ත සංයමය තමයි මාව මේ විදිහට හිතන්න පොලඹවන්නේ. රංගන ශිල්පියෙක්ට,වේදිකාව කියලා කියන්නේ ඔහුගේ වාසනාවට ලැබෙන හොඳ තෝතැන්නක්. ඒකට විකල්ප නැහැ.


සිනමාව තුළ ඔබ රඟපෑ චරිත බොහොමයක් සමාජයේ කතාබහට ලක්වුණ චරිත. මේ පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?


ඇත්තටම කිව්වොත් ඔය කියන චරිත බොහොමයක් කතාබහට ලක්වුණේ , “ලිංගිකත්වය” හා සම්බන්ධ නිසා. නමුත් “ලිංගිකත්වය” කියන්නේ සුවිශේෂී දෙයක් නෙමෙයි.ඒ දිහා අමුතු ඇසකින් බැලිය යුතු නැහැ. ඒකත් මිනිස් සිතක ඇතිවන දුක සතුට, ඊරෂ්‍යාව, ආදරය, කරුණාව වගේ සාමාන්‍යය දෙයක්. ඒ දිහා අමුතු විදිහට බැලුවොත් තමයි එක අමුතුයි වගේ පේන්නේ. මේක “මැජික්” එකක් වෙන සමහර අය ලංකාවේ ඉන්නවා. නමුත් මට ඒක “මැජික්” එකක් නෙමෙයි. ලිංගිකත්වය දිහාත් කලාත්මකව බලන්න බුද්ධිමත් මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ. චරිතයට හෝ නිර්මාණයට අත්‍යවශ්‍යයි නම්, ඒ වගේ චරිතයක් මං අභියෝගයක් කියලා හිතන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ, මං කරන චරිතය මට දැනෙන්න ඒ දර්ශනය අවශ්‍යද කියන ප්‍රශ්නෙට, මගේ හෘද සාක්ෂිය දෙන ‘ඔව්” කියන පිළිතුර සහ නිරමාණයට එම සිදුවීමේ ඇති වැදගත්කම පමණයි.


“දොරකඩ දෙවොලේ” “දාවිත්ට” මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ?


බැනුම් තමයි ඉතිං.කොහොමත් “දාවිත්” කියන්නේ කතාවේ විදිහට බැනුම් ඇසීමට සිදුවන චරිතයක්.හැබැයි ඉතින් කට්ටිය මට බනින්න බනින්න මට හිතෙනවා මම අති සාර්ථකයි කියලා.යම් චරිතයක් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයා ඒ තත්ත්වයට පත් කරන්න යම් රංගන ශිල්පියෙකුට පුළුවන් නම්, ඒ නිරූපණය සම්බන්ධයෙන් ඔහු සමත්. සාමාන්‍යයෙන් ගොඩක් කලාකරුවෝ කැමති නැහැ බැණුම් අහන චරිත කරන්න. හුඟක් වෙලාවට එයාල කැමති කතාවේ “හීරෝ” වෙන්න. නැතිනම් සුදු චරිතවලට. නමුත්, මම නළුවෙක් විදිහට විවිධ තේමාවල් ඔස්සේ දිවෙන විවිධ චරිත ඉදිරිපත් කරන්න කැමතියි. මට එහෙම චරිත ලැබිලත් තියෙනවා. ප්‍රේක්ෂකයින් මට බනිනවා කියලා කියන්නේ මම ඒ චරිතෙට සාධාරණයක් කළා කියන එක. ඒ නිසා ප්‍රේක්ෂකයින් බනින එක මට සතුටක්.දාවිත්ගේ චරිතයත් ඒ වගේ.


වර්තමාන සමාජය තුළත් දොරකඩ දෙවොලට සමාන සිදුවීම් නැතුවා නෙමෙයි. වර්තමාන මිනිස් සිතක උපදින හැඟීම් ගැන දසුන් හිතන්නේ මොනවද?


වර්තමාන සමාජය තාක්ෂණීකරණය වෙලා තියෙන්නේ. අද හැදෙන ළමයි පවා හරිම බුද්ධිමත්. ඒ වගේම තමයි ඒගොල්ලෝ තාක්ෂණය අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ අපිට වඩා. හැබැයි, මානුෂික හැඟීම් අතින් අද සමාජයේ හුඟක් අය දුරවලයි. මුළු ජීවිතයම රඟපෑමක් කියලා තමයි මේ අය හිතන්නේ.සමාජ මාධ්‍ය තමයි එයාලට තියෙන ලොකුම දේ.කෑවත් බිව්වත් සමාජ මාධ්‍යයේ දානවා. කාට හරි උදව්වක් කළත් ඒකත් දානවා. තව කෙනෙක් සතුටු කරන්න තව කෙනෙක්ට පේන්නෙ තමයි ඔවුන් ජීවත් වෙන්නේ.අපි තමයි ස්වාභාවිකත්වයත් එක්ක හිටපු අන්තිම පරම්පරාව.මේ වගේ වපසරියක් තුළ අනාගතයේ දී සමාජයේ විවිධාකාර ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.


නවකතා පොතක් ටෙලි නාට්‍යයකට හෝ සිනමාපටයකට නැගීම පිළිබඳව ඔබ සිතන්නේ කුමන ආකාරයටද?


ඒක හරිම අසීරු කාර්යයක්. මම රඟපෑ “ගිරිදේවි,මගේ ආදර අවනඩුව, දොරකඩ දෙවොල” වගේ නිර්මාණ රැසකට මුල් වුණේ නවකතා පොත්. පොතකින්, ටෙලි නාට්‍යයක් හෝ සිනමාපටයක් හෝ කෙරෙනවා නම්, එතනදී ඒ නිර්මාණය පොතට වඩා ගොඩක් වෙනස් වෙනවා.පොතේ තියෙන දේම නෙමෙයි සිනමා කෘතියේ හෝ ටෙලි නාට්‍යයේ තියෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් ලැබෙන්නෙත් රස දෙකක්. මේක හරිම දුෂ්කර කාර්යයක් නිසා හරියටම කරන්නත් ඕන. එහෙම නොවුණොත් අනිවාර්යයෙන්ම නිර්මාණය අසමත් වෙනවා. එහෙම බලනකොට මට සම්බන්ධ වෙන්න ලැබුණේ සාර්ථක නිරමාණවලට.


තව එක දෙයක් කියන්න ඕනේ.පොත් ඇසුරින් නිර්මාණය වුණු ටෙලි නාට්‍ය කීපයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා වුණත්, ඒ එක පොතක්වත් මම කියවලා නැහැ.ඒක මගේ ප්‍රතිපත්තියක්.මම කියවන්නේ තිර පිටපත විතරයි. මොකද,පොතට වඩා අනිවාර්යයෙන් තිර පිටපත වෙනස් වෙනවා.ඒ නිසා අපි රැදෙන්න ඕනේ තිර පිටපතත් එක්කයි.


ඔබට යම් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණාම ඔබ එම නිරමාණය භාර ගැනීම තීරණය කරන්නේ කුමන සාධක මතද?


මම පළවෙනියෙන්ම බලන දේ තමයි නිරමාණයේ අධ්‍යක්ෂකවරයා කවුද කියන එක.නිරමාණයක අධ්‍යක්ෂවරයා කියන්නේ,ඒ නිර්මාණයේ සාර්ථකත්වයට වැඩි ප්‍රතිශතයකින් වග කියන පුද්ගලයා.ඔහු මත තමයි නිරමාණය ඉදි වෙන්නේ.ඒ වගේම එහි පිටපත සහ මගේ චරිතය මට දැනෙන එකක් වෙන්න ඕනේ.ඒක අනිවාරයයයි.මම හැම වෙලාවෙම මගේ හිතට එකඟවයි වැඩ කරන්නේ.මොන තරම් මූල්‍යමය ප්‍රතිලාභ තිබුණත් මම මට දැනෙන්නේ නැති චරිතයක් කවදාවත් කරන්නේ නැහැ.මම කරන දේ තුළින් මට අවංක තෘප්තියක් නැත්නම්, ඒකෙන් වැඩක් නැහැ.


ඊළඟ කාරණාව තමයි මාත් එක්ක වැඩ කරන කණ්ඩායම. නිර්මාණයක් කියලා කියන්නේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.ඒ නිසා සාමුහිකත්වය ගැන දන්න පිරිසක් එක්ක වැඩ කරන එක හරි පහසුයි.මම මගේ සහෝදර ශිල්පීන් එක්ක හරිම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්.ඒක මාත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා.මගේ චරිතය ඉස්මතු වෙන්න මං අවට ඉන්න අය බලපානවා වගේම අනිත් අයගේ චරිත ඉස්මතු වෙන්න මගේ සහයෝගයත් බලපානවා. තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ.ඒකට සහයක් අවශ්‍යයි.ඒ නිසා වැඩ කරන කණ්ඩායම මොන වගේද කියලා හොයා බලන එක අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.මොකද, අපි දන්නවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ කවුද නැත්තෙ කවුද කියන එක.ඒ වගේම මගේ ගාණටත් එන්න ඕනේ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිර්මාණයක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා.ඒකට වටිනාකමක් තියෙන්න ඕනේ. ඒ නිසා මම ඒ ගැනත් හිතනවා.ඒ හැම දෙයක්ම හරි නම්,මම අනිවාරයයෙන්ම ඒ නිර්මාණය බාර ගන්නවා.


කලා ක්ෂේත්‍රය තුළ විවිධ කාලවලට විවිධ රැලි ඇතිවෙනවා අපි දකිනවා.මේ වගේ විවිධ රැලි ගැන ඔබේ අදහස කුමක්ද?


රැලි ඇතිවෙන එක වළක්වන්න බැහැ. ඒක ස්වභාවයක්.නමුත් ඒක “හොඳ රැල්ලක්ද?” “මෝඩ රැල්ලක්ද?” කියන එක බලන්න ඕනේ.අපි ඒ රැල්ලට ගහගෙන යනවාද ඒ රැල්ලට ඔරොත්තු දීලා රැදෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ මත.ඒකට හොඳ පෞරෂත්වයක් තියෙන්න ඕනේ.රැලිවලට විතරක් නෙමෙයි, වෙන අභියෝගවලට ඔරොත්තු දෙන්නත් මේ ක්ෂේත්‍රය තුළ පදම් වෙන්න ඕනේ.ඒක ඇතිවෙන්නේ පුහුණුව සහ කාලයත් එක්ක.මෙගා නාට්‍ය කියන්නෙත් රැල්ලක්.මම ඒකට අහු වුණේ නැහැ. මොකද, පෞද්ගලිකව මම හිතනවා දිගු කාලයක් එකම චරිතයකට හිරවෙලා ඉන්න එක මගේ හැකියාවට බාධාවක් කියලා.සාමාන්‍යයෙන් මම එක චරිතයක් කරල ඉවර උණහම ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි ඊළඟ චරිතයට අවතීරණය වෙන්නේ ඒ නිදහස මට තියෙන්න ඕනේ. ඒ නිසා මම මෙගාවලට සම්බන්ධ වෙන්නේ නැහැ.


අද වෙනකොට සිනමා ක්ෂේත්‍රයේත් “මාෆියා රැල්ලක්” ඇවිල්ලා තියෙනවා.සිනමාව කියන්නේ මුදල් හම්බ කරන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් කියලා සල්ලිකාරයින් දැන් දන්නවා.ඒ නිසා දැන් හැමෝම බලනවා මේකට මුදල් යොදවන්න.එක කාලයක් තිබුණා සිනමාව කඩන් වැටුණු.නමුත්, ආසන්න කාලයේ තිරගත වූ චිත්‍රපට වැඩි ප්‍රමාණයක් සාර්ථක වුණා. දැන් හැමෝම බලන්නේ මොකක් හරි චිත්‍රපටියක් කරලා මුදල් උපයා ගන්න. මෙතනදී, රංගන ශිල්පීන් විතරක් නෙමෙයි, අධ්‍යක්ෂකවරුන් පවා ගසා කෑමකට ලක් වෙනවා. ඇත්තටම මේක හරිම අවදානම් සහගත වැඩක්.මේ වෙනකොට සිනමා ක්ෂේත්‍රය නැඟීමකට ලක්වෙලා තියෙනවා වගේම ලොකු අවධානමකටත් ලක්වෙලා තියෙනවා කියලයි මම හිතන්නේ.


මෙතෙක් ඔබට ලැබුණු සම්මාන ගැන කිව්වොත්?


දැනට ලංකාවේ තියෙන හැම සම්මාන උළෙලකින්ම මට සම්මාන හිමිවෙලා තියෙනවා.හොඳම නළුවා විදියට හතර වතාවකුත් හොඳම සහාය නළුවා විදිහට තුන් වතාවකුත් මම සම්මානයට පාත්‍ර වුණා.එකම සිනමාපටයේ එකම චරිතයට එකම වසරක දී කීප වතවක් සම්මාන හිමිවුණු අවස්ථාත් තියෙනවා. ඒ ගැන සතුටුයි. නමුත් මම කවදාවත් මට ලැබුණු සම්මාන ඔළුවෙ තියාගත්ත කෙනෙක් නෙමෙයි. අදටත් මගේ සම්මාන ඔක්කොම තියෙන්නේ මගේ තාත්තාගේ ගෙදර.මට පළවෙනි සම්මානය ලැබුණ වෙලාවේ මම මහේන්ද්‍ර අයියට කිව්වා, “අයියේ මට සම්මානයක් ලැබුණා” කියලා. ඒ වෙලාවේ අයියා මට කිව්වා, “ඔය සම්මානේ ඔලුව උඩ තියාගන්නේ නැතුව,ගිහින් රාක්කෙන් තියපං” කියලා.ඒක තමයි මට මේ ජීවිතේ ලැබුණු හොඳම අවවාදය. සම්මානයක් කියලා කියන්නේ රංගන ශිල්පියකුගේ ජීවිතයට ආශිර්වාදයක්. අපි කවුරුත් සම්මානයක් ලැබෙනවට කැමතියි. ඇත්ත ඒකනේ. හැබැයි, සම්මානයක් ලැබුණම ඒකෙන් අනවශ්‍ය විදිහට අහංකාර වෙනවා නම්,දැන් සේරම හරි කියලා හිතනවා නම්, ඒක තමයි ලොකුම මෝඩකම.තත්පර තිහකින් මීටර් සියය දිව්වා කියලා කියන්න පුළුවන්. නමුත් “හොඳම නළුවා” කියන එකට ඒ වගේ මිම්මක් නැහැ.අපිට සම්මාන ලැබෙන්නේ, “වසරේ හොඳම ඉදිරිපත් කිරීමටයි”.ඒ නිසයි අපි උත්සහා කරන්නේ අපේ ඊළඟ චරිතය කලින් එකට වඩා හොදින් කරන්න.


නමුත් අද අපේ ඇතැම් නළු නිළියන් ජනප්‍රිය සම්මානය ලබා ගන්න කරන කියන දේවල් දැක්කම හරිම අප්‍රසන්නයි .SMS ගන්න පුදුම පොරයක් තියෙන්නේ. එයාලා බලන්නේ සල්ලි දීලා හරි වසරේ ජනප්‍රියම නළුවා හරි නිළිය හරි වෙන්න.ඒක හරිම කැතයි.ඒ වගේම තමයි සමහර සම්මාන උලෙළවල්. ඒවා හරියට සල්ලි දීල සම්මාන ගන්න පුළුවන් සම්මාන කඩ වගේ. සරසවිය, රයිගම්, සුමති වගේ සම්මාන උලෙළවල එදා ඉඳන් හොඳ ප්‍රමිතියක් තිබුණා. අදටත් ඒක තියෙනවා.නමුත් අද තියෙන සමහර සම්මාන උලෙළවල් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒවාවල කාලෙන් කාලෙට සම්මාන දෙන කාණ්ඩකරණය පවා වෙනස් වෙනවා. සමාන අර්ථ තියෙන වචන දාලා සම්මාන කීපයක් දෙනවා.හිත් සතුටු කරන්න. ඉතිං ඒවට සම්මාන උලෙළවල් කියලා කියන්න පුළුවන්ද?


හුඟක් වෙලාවට රංගන ශිල්පීන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි එකම ආකාරයේ චරිතවලට කොටුවීම. හැබැයි ඔබට විවිධ ශානරවල චරිත ලැබිලා තියෙනවා. ඒ ගැන කිව්වොත්?


ඒවා මට ලැබුණේ නැහැ. මම ඒවා ලබා ගත්තා.මම මුලින්ම කලේ  “baech boy”  චරිතයක්.ඒ “අහසින් එහා” ටෙලි නාට්‍යයේ.එතනින් පස්සේ මට දිගටම ලැබුණේ ඒ වගේ චරිත.මම කළේ “අහසින් එහා” රූ ගත කිරීම් අවසන් වුන ගමන්ම මගේ කොණ්ඩය සහ රැවුල සම්පූර්ණයෙන්ම කැපුව එක. මගේ ස්වරූපය වෙනස් කරගත්තා.ඊට පස්සේ තමයි මට වෙනස් චරිත ලැබෙන්න පටන් ගත්තේ.අපි තමයි ඒක වෙනස් කරගන්න ඕනේ.නැත්තම් අපිව එක වගේ චරිතවලට කොටු වෙන එක වළක්වන්න බැහැ. එහෙම වෙනවා කියන්නේ නිරමාණකරුවෙකුට සිදුවන ලොකු අසාධාරණයක්. ඒක වෙනස් කර ගන්න අපි දැනගන්න ඕනේ.


අධ්‍යක්ෂණයෙන් ඔබේ හැකියාව උරගා බලන්න අදහසක් නැද්ද?


තාම නෑ.ඇත්තම කිව්වොත් මම තාම රංගනයත් ඉගෙන ගන්නවා.රංගනය ගැන ඉගෙන ගන්න මට තව ගොඩක් දේවල් තියෙනවා. රංගන විෂයෙන් මම තාම ළමයෙක්.ඉතිං අධ්‍යෂකවරයෙක් වෙන්නේ කොහොමද?


ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?


ඉදිරියේ දී ඩෙල්ෆ්ට් සහ Bee honey සිනමාපට එන්න තියෙනවා.ඒ වගේම දිනේෂ් කනගරාජ්ගේ ගාන්ධාර සිනමාපටයේ වැඩ අවසන්.අපේ රටේ නිරමාණය වන, ද්‍රවිඩ සිනමාපටයක් රූ ගත කරන්න සූදානම් කරලා තියෙනවා.මම ඒකෙත් චරිතයක් නිරූපණය කරනවා.මේ දවස්වල මාස්ටර් ක්‍රිෂ්ණාගේ වීරා සිනමාපටයේ රූ ගත කිරීම්වල ඉන්නේ.ඉතිං ඉදිරියට මේ සිනමාපට සේරම තිරගත වේවි.


ප්‍රියංවදා පෙරේරා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
Previous Post Next Post