ටෙලි නාට්‍යවල මට ලැබුණු චරිත තවමත් සිනමාවේ ලැබුණේ නැහැ -හිමාලි සයුරංගි

gossiplanka image 1
 


ඇය හිමාලි සයුරංගි.නමින් එසේ පහසුවෙන් හැඳීන්වුවත්, කලාකාරිනියක් ලෙස ඇයව එක ක්ෂේත්‍රයකින් හැදින්වීම පහසු නැත. තමන්ටම ආවේණික මිහිරි කටහඬක් ඇති ඇය දක්ෂ හඬකැවීම් ශිල්පිනියකි. එසේම, ඒ කටහඬින් පමණක්ම හඳුනාගත හැකි තරමට නිවේදන ක්ෂේත්‍රය අතික්‍රමණය කළ අයෙකි. තමා පණ පොවන රංගනයට ජීවය පිඹමින්, එම ජීවී ගුණය ප්‍රේක්ෂකයාගේ සිත් සතන් තුළට කාවද්දා, එම චරිතය පිළිබඳව සදා අනුස්මරණීය මතකයක් ඇති කිරීමට ඇය සමත් වේ. “ඉසුරු ගිරි තරණය, දිවිතුරා, දෙවෙනි ඉනිම, වීදුරු තිර” වැනි ටෙලි නාට්‍ය තුළිනුත් “සිකුරු හතේ, ගොවි තාත්තා, සුනාමි” වැනි සිනමාපට තුළනුත් ප්‍රේක්ෂක සිත් සතන් ස්පර්ශ කළ ඇයගේ කලා දිවිය දශක දෙකකටත් වඩා දිගුය. මේ වන විට රොෂාන් රවීන්ද්‍රගේ “නටත් අයෙක් සුරා මතින්” ටෙලි නාට්‍යයේ “නන්දිසාලා” ඇයයි. කොටු ටෙලිනාට්‍යයේ “නිරෝ” ඇයයි. කාර්යබහුලත්වය මැද වුවද ඇය සරසවිය සමඟ පිළිසඳරට එක් වුණේ මෙසේයි.


දිගු ඉනිමක් නිම කරලා අවසන් උනා විතරයි නේද?


ඔව්. ඇත්තටම ප්‍රේක්ෂකයින් තදින් වැලඳ ගත්ත නාට්‍යයක් තමයි “දෙවනි ඉනිම” කියලා කියන්නේ. ඉතින් ඒක හරිම ලස්සන විදිහට ඉවර කරන්න පුළුවන් වුණා කියන සතුට අද වෙනකොට හිතේ තියෙනවා.ප්‍රේක්ෂකයින්ගේ වගේම ක්ෂේත්‍රයේ විවිධ අයගේත් විවිධ මත තියෙනවා මෙගා නාට්‍ය පිළිබඳව. ඇත්තටම දෙවෙනි ඉනිම පටන් ගන්නකොට මෙගා නාට්‍යයක් කියන අදහසක් තිබුණේ නැහැ. කොටස් දෙසිය පනහකින් නිම කරන අදහසක් තමයි තිබුණේ. නමුත් නාට්‍ය දිගින් දිගට විකාශය වීමේදී ප්‍රේක්ෂකයින් යම් ප්‍රමාණයක් ඒක වැලඳ ගත්තා. යම් ප්‍රමාණයක් එක අතහැර ගියා. ඉතින් අර වැලඳ ගත්ත ප්‍රේක්ෂකයින්ගේ තිබුණු ආකර්ෂණය මත තමයි මේ තරම් කාලයක් “දෙවෙනි ඉනිම” දිව්වේ .අවුරුදු ගාණක් ටෙලි නාට්‍යයක් එක දිගට දුවනවා කියන එක ලේසි කටයුත්තක් නෙමෙයි.


විශේෂයෙන්ම කියන්න ඕනේ “දෙවැනි ඉනිම” කරළියට ආවේ ඉන්දියානු නාට්‍යවලට ශශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඇබ්බැහි වෙලා හිටපු කාලෙක. ඉතින් මං හිතනවා “දෙවෙනි ඉනිම” නිසා ඒ ඇබ්බහිකමෙන් අපේ ප්‍රේක්ෂකයින් මිදුණා කියලා. මෙගා නාට්‍ය වටා අපේ ප්‍රේක්ෂකයින් පිරිසක් එකතු වුණා. ඒ වගේම මේකේ තව පැත්තක් තියෙනවා. ලාංකික කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීන්ට හෝ තාක්ෂණික ශිල්පීන්ට හෝ අධ්‍යක්ෂකවරන්ට හෝ මේ හරහා යම් මුදලක් හරි හම්බ කරගන්න අවස්ථාවක් ලැබුණා.ඔවුන්ගේ ආරථික මට්ටම ඉහළ නංවා ගන්න යම් අවස්ථාවක් ලැබුණා. ඉතින් මං හිතනවා ඒක ලොකු දෙයක් කියලා. මොකද, කොවිඩ් වසංගත කාලෙදි පවා “දෙවෙනි ඉනිම” නතර වුණේ නැහැ.මම මේ ටෙලි නාට්‍ය තුළින් යම් ආර්ථික ප්‍රතිලාභයක් ලැබුවා. ඇත්ත ඒකනේ.ඒකෙ ගුණගරුකභාවය ඇත්තටම තියෙන්න ඕනේ. මං හිතනවා මෙගා නාට්‍ය අතරන් “දෙවෙනි ඉනිම” ප්‍රේක්ෂකයින්ගේ හිතේ රැඳී පවතින නාට්‍යයක් වෙයි කියලා.


වසර ගණනාවක් එකම නිරමාණයක් තුළ රැඳී සිටීමට සිදුවීම නිසා ඔබේ කලා ජීවිතයට සිදුවුණේ මොන වගේ බලපෑමක්ද?


මෙහෙමයි. කොහොමත් මම මධ්‍යස්ථ මතධාරිනියක්. ඒ නිසා මේ දිහා මම බලන්නෙත් ඒ විදිහටයි. මගේ මුල් කාලයේදී මම නිර්මාණ බාර ගත්තේ තෝරා බේරා ගෙන.ඒ මගේ තිබිච්ච පෞද්ගලික නිදහස නිසා. නමුත් මම මවක් වීමත් සමඟ ඒ නිදහස ඇහිරුණා. ස්වභාවයෙන්ම ඒක වෙන දෙයක්නේ.මගේ දුව වෙනුවෙන් කාලය ගත කරන්න, අම්මාගේ සෙනෙහස නොඅඩුව ඇයට ලබා දෙන්න ඕනේ කියන තැන තමයි මම හිටියේ. ඉතින් ඒකත් සමඟ කොළඹින් පිට නිර්මාණ සඳහා දායකවීම මට තරමක් අසීරු වුණා. ඒ නිසා මට ඇත්තටම පහසුවක් වුණා, දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණු එක. මොකද, මේ මගේ වෘත්තිය.මම මුදලක් හරි හම්බ කරගන්නේ මේ වෘත්තිය හරහා. වර්ගීකරණය ගැන නොහිතා ඉන්න මට එතනදි සිද්ධ වුණා. ඒ වගේ වටපිටාවකදී දෙවැනි ඉනිම මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා. අනෙක් අතට කොහොමත් මම කුමන නිරමාණයක කුමන චරිතයක් බාර ගත්තත් ඒ චරිතයට සියයට සියයක් සාධාරණයක් ඉෂ්ට කරනවා. ඒක මගේ ප්‍රතිපත්තිය. මම හිතනවා දෙවැනි ඉනිමටත් මම සාධාරණයක් කළා කියලා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්.


හිමාලි සයුරංගි කියන පාසල් ශිෂ්‍යාව මොන වගේද?


අනේ ඇත්තටම එයා නම් හරිම අහිංසක, නිහතමානි, කුලෑටි ළමයෙක්. මගේ පාසල් ජීවිතයේ මුල් කාලයේදී මම පාසලේ කිසිම දේකට ඉදිරිපත් වෙලාවත් නැහැ. ඒ කාලේ පාසැල් වේදිකාව පවා මට නුහුරු දෙයක්. නමුත්, උසස් පෙළ කාලයේදී මගේ පාසල් ජීවිතය ගොඩක් වෙනස් වුණා. උසස් පෙළ සඳහා මම ඇතුළු වුණේ අනුලා විද්‍යාලයට.අනුලාවේ කලා අංශයෙන් තමයි මම උසස් පෙළ හැදෑරුවේ. ඒ නිසා,නිතරම කලා කටයුතුවල නිරත වෙන්න අපට සිද්ධ වුණා. හැම වෙලාවෙම නටන්න, ගයන්න, නිවේදනය කරන්න වගේ දේවල්වලට ඉදිරිපත් වුණා. මගේ ජීවිතයේ අද මම ඉන්න තැනට එන්න අනුලාවේ ගත කරපු ඒ කාලය ලොකු පිටුවහලක් වුණා කියලා මම හිතනවා. මම මගේ සැබෑ දක්ෂතා පවා හඳුනා ගත්තේ එතනදි. පසු කාලෙක කලාවට ආදරය කරන්නත්, ආශා කරන්නත් මං පෙලඹුණේ අනුලාවේ ගත කරපු ඒ සුන්දර කාලය නිසයි.


මේ වෙනකොට ,”හිමාලි සයුරංගි” කියන රංගන ශිල්පිනිය විසින් “හිමාලි සයුරංගි” කියන නිවේදිකාව යටපත් කරලද?


මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ නිවේදනය තුළින්. නමුත් මම හිතන විදිහට මගේ ලොකුම සහජ දක්ෂතාවය තියෙන්නේ රංගනයට. නිවේදනයට දක්ෂතාවය නැතුව නෙමෙයි.නමුත් මං හිතනවා රංගනය තමයි මගේ ජීවිතයේ ප්‍රමුඛතාවය කියලා. පසුකාලීනව මට වැටහුණා, නිවේදනයට වඩා රංගනයේදී මට වඩා වැඩි පහසුවක් දැනෙන බව. නිවේදනය කියලා කියන්නේ හරිම අවදානම්සහගත, ලොකු බරක්, වගකීමක් තියෙන දෙයක්. ඒක හරිම වෙහෙසකාරීයි. අපි සජීවී නිවේදනයක් කරනකොට කොයිතරම් සැලකිලිමත්ද?. අපි කතා කරන භාෂාව ගැන, භාෂාව හසුරවන විදිහ ගැන, වැඩසටහනේ මුඛ්‍ය පර්මාරථ ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක හරිම වෙහෙසකාරී දෙයක්. අදටත් කොයිතරම් පුරුදු පුහුණු වෙලා හිටියත්, කොයිතරම් අත්දැකීම් තිබුණත්, සජීවී නිවේදනයක් කරන්න ආරම්භ කරලා විනාඩි දෙක තුනක් යනකම් මගේ පපුව හරි හයියෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඒක නතර වෙන්නේ විනාඩි දෙක තුනක් ගියාට පස්සේ. ඒ එතන තියෙන වගකීම් සහගත බව වැඩි නිසායි.


හැබැයි, ඊට වඩා හරිම පහසුවෙන් මම රංගනයේ නිරත වෙනවා. ඒ නිසා මගේ හිත වැඩිපුර ඇදිලා යන්නේ රංගනය දිහාවට. නමුත් නිවේදන කටයුතු වලින් ඈත් වෙලාවත් නිවේදන කටයුතු නතර කරලාවත් නැහැ. අවශ්‍ය අවස්ථාවලදී ඒවාටත් සහභාගී වෙනවා.


ඔබ හිතන විදිහට නිවේදකයෙකුගේ හෝ නිවේදිකාවකගේ “පෞරුෂය”රැඳී ඇත්තේ කටහඬේද? රූපයේද?


මෙහෙමයි. “පෞරුෂය” කියලා කියන්නේ එක දෙයකට නෙමෙයි. පෞරුෂය කියන්නේ ගොඩක් දේවල්වල එකතුවකට. එතන ආකර්ෂණීය කටහඬක් වගේම ඒ හඬ පාලනය කරගන්න ඇති දැනීමත්, රූපය, ආත්ම විශ්වාසය, ආත්මාභිමානය, දැනුම, වගකීම් සහගත බව, මතක තබා ගැනීමේ ශක්තිය සහ විශේෂයෙන්ම සම්මා සතියත් තියෙන්න ඕනේ. සම්මා සතිය නැතිව නිවේදන කටයුතු කරන්න බැහැ. නිවේදකයෙක් හැමවිටම තමා කරන කියන දේ පිළිබඳව මනා සිහි බුද්ධියෙන් සිටිය යුතුමයි. ඉස්සර ගුවන් විදුලියේ නිවේදක ශිල්පීන්ට ශිල්පිනියන්ට ප්‍රේක්ෂකයින් ආශක්ත වුණේ ඒ කටහඬ අහලා මිසක් රූපය දැකලා නෙමෙයිනේ. නමුත් රූප මාධ්‍යයට, “රූපය” වැදගත්.රූපය කියලා කියන්නේ පෞරුෂයෙන් කොටසක් විතරමයි.


නිවේදිකාවකට හෝ නිවේදකයෙකුට තිබිය යුතු තව දෙයක් තමයි ආත්මාභිමානය.ප්‍රේක්ෂකයින් දහස් ගණනක් ඉස්සරහා තමන්ගේ කටහඬේ වෙව්ලීමක් නැතිව කතා කරන්න නම්, අනිවාර්යයෙන්ම ඔහු තුළ හෝ ඇය තුළ ආත්මාභිමානය තිබීම වැදගත්. ඒ නිසා මං හිතනවා රූපය හෝ කටහඬ කියන දේට වඩා, නිවේදකයෙකුට හෝ නිවේදිකාවකට වඩා වැදගත් වන්නේ පොදු වශයෙන් සමස්ත පෞරුෂයක් තිබීම කියලා.


වර්තමාන නිවේදන ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස මොන වගේද?


අපි නිවේදන ක්ෂේත්‍රයට පිවිසුණු කාලයේදී මහා දැවැන්තයින් පිරිසක් ඒ ක්ෂේත්‍රයේ හිටියා. ප්‍රේමකීර්ති ද අල්විස්, කුසුම් පීරිස් වගේ අය දිහා තමයි අපි ඒ කාලේ බැලුවේ. ඔවුන්ව තමයි අපි ආදර්ශයට ගත්තේ. වුන්ගේ කතා විලාසය විතරක් නෙමෙයි, ඒ වගේ අඳීන්න-පළඳීන්න; ඒ වගේ කොණ්ඩය හදන්න; සාරිය අඳීන්න පවා අපි පෙළඹුණා. මං මේකෙන් අදහස් කරන්නේ නෑ වර්තමාන නිවේදක නිවේදිකාවනුත් ඒ වගේ අදින්න පලඳීන්න ඕනේ කියලා. කාලයක් සමඟ හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ නිසා තැනට සහ තමන්ට සුදුසු පහසු ඇඳුමක් පැලඳුමක් තෝරා ගැනීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් දැනුම්වත්භාවය, කියවීම සහ හැදෑරීම කියන කාරණා සරවකලීනව අත්‍යවශ්‍යයි. අතීතයටත් වඩා වර්තමානය තුළ ඒවාට වැඩි වැදගත්කමක් තියෙනවා. මේ දේවල් වලින් සන්නද්ධව ක්ෂේත්‍රයට පිවිසුණොත් ඕනම කෙනෙක්ට ඉදිරියට යන්න කිසිම බාධාවක් නැහැ. එතනදී ප්‍රේක්ෂකයා ඔවුන්ව වැළඳ ගන්නවා.


දැන් වෙලා තියෙන්නේ බහුතරයක් අයගේ ඇඳුමෙන් වැඩකුත් නෑ; පෙනුමෙන් වැඩකුත් නෑ; ඉදිරිපත් කරන දෙයින් ගතයුත්තකුත් නැහැ.ඒ ගැන හරි කණගාටුයි. වර්තමානයේ නිවේදන ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් පිරිසට තමන්ගේ වෘත්තිය පිළිබඳව වෘත්තිමය අවබෝධයක් නැහැ.වගකීම සහ වගවීම පිළිබඳව ඔවුන් දන්නේ නැහැ. මේක හරිම බරපතළ තත්ත්වයක්.


“නටත් අයෙක් සුරා මතින්” ගැනත් කතා කරමු.


ඔව්. ඇත්තටම මේ නාට්‍යය මට ලැබුණේ නිර්මාණයක් වෙනුවෙන් උපරිම ශක්තිය වැය කරන්න පුළුවන් කාලෙක. ඉතින් ඒ නිසා බොහොම කැමැත්තෙන් සහ සැහැල්ලුවෙන් මම මේ නිරමාණයට දායක වුණා. මගේ ජීවිතේ එක්තරා කාලයක් තිබුණා අනිත් අය කරන හොඳ නිර්මාණ දිහා බලාගෙන පැත්තකට වෙලා හිටපු.ඉතිං අද මට අවස්ථාවක් ලැබිල තියෙනවා ඒ වගේ හොඳ නිර්මාණයකට දායක වෙන්න.කාලෙකට පස්සේ ලැබුණු හිතට දැනෙන චරිතයක්. ඒ නිසා මම සියයට දෙසීයක් මගේ ශක්තිය ඒ වෙනුවෙන් කැප කරලා ඒ චරිතය ගොඩනැගුවා.ඒ වගේම තමයි අධ්‍යක්ෂවරයා විදිහට රොෂාන් හැමවිටම ඔහුට අවශ්‍ය “නන්දිව”මගෙන් ගන්න උත්සාහ කළා. මට මගේ චරිතය ගොඩනඟා ගන්න ඒක ලොකු පහසුවක් වුණා. ඔහු හරිම විදිහට චරිතය ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව අපිව දැනුම්වත් කරනවා.කලාකාරයෙක් විදිහට මං හිතනවා ඒක අගය කරන්න ඕනේ කියලා.


අද හැමෝම “නන්දි” ගැන කතා කරනවා. අගය කරනවා.”හිමාලි නියමෙට ඒක කරලා තියෙනවා”කියලා කෙනෙක් කිව්වාම මගේ හිතට දැනෙන සතුට කොච්චරක්ද කියල කියන්න බැහැ. මම මේ ක්ෂේත්‍රයේ මහා ලොකු දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ චරිතය ගැන මට ලැබෙන ප්‍රතිචාර අහලා දැකලා මම අවංකව නිහතමානී සතුටක් විඳීනවා.


කුටුම්භයක ගෘහ මූලිකයාගේ “බීමත්කම” පවුලකට කුමන ආකාරයකට බලපානවා කියලද ඔබ හිතන්නේ?


මේ ලෝකයේ අංග සම්පූරණ මිනිස්සු ගැහැනු නැහැ. සම්මිශ්‍රිත මිනිස්සු තමයි අපිට මුණ ගැහෙන්නේ. බීමත්කම හෝ වෙනත් විවිධ පුරුදු ඒ අය ළඟ තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම තුලනය කරන එක තමයි අපි කරන්න ඕනේ. සැමියා සහ බිරිඳ කියන දෙපැත්තෙන්ම ඒක ඉටුවිය යුතුයි.


සමබරතාවය කියන එක ජීවිතයට හරි වැදගත්. පෞද්ගලිකව මං හිතන විදිහට කෙනෙකුට ජීවත් වෙන්න ගොඩක් දේවල් ඕනේ නැහැ. තමන්ට සතුටු වෙන්න පුළුවන් තරමට දේවල් තිබුණහම ඇති.අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනේ අපිව සතුටු කරන්න:අනුන්ව සතුටු කරන්න නෙමෙයි.අනුන්ට පේන්න දේවල් කරන්න ගිහිල්ලා අපේ සතුට අපිට නැතුව යනවා නම්,ඒ දේවල්වලින් වැඩක් නැහැ.අද සමහර අය ලොකු ණය අරගෙන ගෙවල් හදනවා;වාහන ගන්නවා.ඒ තමන් සතුටු කරනවට වඩා අන් අයව සතුටු කරන්න.ඉතින් එතන සතුටක් ඇති කියලා මම හිතන්නේ නැහැ නැහැ. අපි හැමදේම සමබරව අරගෙන යන්න ඕනේ.ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ.


“ලද්දු” වැනි චරිත නිසා සැබෑ ලෝකයේ “ගැහැනිය” කියන පොදු සාධකයට මොන වගේ බලපෑමක්ද වෙන්නේ?


“ලද්දු” කියන්නේ නරක පුද්ගලයෙක් නෙමෙයි. ඔහු ළඟ හොඳ ගතිගුණ තියෙනවා. බිරිඳට සහ දරුවාට ඔහු ආදරෙයි. පවුල ආරක්‍ෂා කරනවා. කෑම උයනවා, රෙදි සෝදනවා. ඔහුට තියෙන එකම දුර්වලතාවය තමයි ඔහුගේ බීමත්කම.ඒ දේ තුලනය කරගන්න බැරිකම තුළින් ලොකු ඛේදවාචකයක් ගොඩනැගෙනවා.


ගැහැනියක් නැතුව පිරිමියෙකුට හෝ පිරිමියෙක් නැතුව ගැහැනියකුට හෝ තනි ගමනක් යන්න බැරි කමක් නැහැ. එහෙම ශක්තිමත් මිනිස්සුන් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු හරියට යකඩ වගේ. ඕනම දේකට ඔරොත්තු දෙනවා. ඇත්තටම නොගැළපෙන දෙයක් ළං කර ගන්නවාට වඩා ඒක හොඳයි.


ගැහැනිය සහ පිරිමියා මේ ලෝකෙට බිහිවෙලා තියෙන්නේ මේ ලෝකයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය නිසා. නැත්නම්, මේ ලෝකයට ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් පමණක් බිහිවෙනවානේ. අනෙක් අතට ආදරය, රැකවරණ, ලිංගිකත්වය කියන දේවල් භේදයකින් තොරව හැමදෙනාට අවශ්‍යයි. ගැහැනියකගෙන් පිරිමියෙකුටත් පිරිමියෙකුගෙන් ගැහැනියකටත් අසාධාරණයක්, අපහසුතාවයක්, සිත් රිදවීමක් වෙන්න පුළුවන්. නමුත්, දෙදෙනෙක් වඩා ලස්සන වෙන්නේ යුගලයක් විදිහට ඉන්නකොට කියලයි මට හිතෙන්නේ. ඒකට හොඳ වැටහීමක් තියෙන්න ඕනේ.


“නන්දි” කියලා කියන්නේ ප්‍රේක්ෂකයා ඔබෙන් බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්ද?


කොහොමටත් මුල සිටම මට ලැබුණේ මව්වත් ගුණය, අහිංසකත්වය, ආදරය වගේ ලක්ෂණ තිබුණු චරිත.සමහර විට ඒ මගේ ආසියාතික පෙනුම නිසා වෙන්න ඇති.සාමාන්‍ය ජීවිතයේදීත් මම වැඩි මෝස්තරවලට කැමති කෙනෙක් නෙමෙයි.මං කැමති හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.ඒකත් මේ වගේ චරිත ලැබෙන්න මට හේතුවක් වෙන්න ඇති.


“නන්දි “කියන්නේ ඒ වගේ ලාංකික බිරිඳ නිරූපණය කරන චරිතයක්. මම දකින විදිහට ප්‍රේක්ෂකයා මේ චරිතය වඩාත් හොඳීන් වැලඳ ගන්න ඇත්තේ, ලංකාවේ බහුතරයක් කාන්තාවන් තුළ, නන්දි අඩු වැඩි වශයෙන් ජීවත් වන නිසයි.අපි හැම කෙනෙක් තුළම නන්දිගේ වගේ සිතුම් පැතුම්, හැසිරීම්, වන රටා යම් පමණකට හරි තියෙනවා. ප්‍රේක්ෂකයින් අතරට නන්දිට වඩා පහසුවෙන් යන්න පුළුවන් වුණේ ඒකයි. ඔවුන්, තමන්වම වැළඳ ගන්නවා වගේ අදහසකින් නන්දිව වැළඳ ගත්තා. ලාංකික බිරිඳගේ චරිතය යථාර්තවාදීව ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදිහට මම මේ චරිතය දකිනවා.


කොටු ටෙලි නාට්‍ය ගැන සහ සිනමාපටය ගැනත් විස්තර ටිකක් කියමුද?


“කොටු” සිනමාපටයේ ටෙලි නාට්‍යයට වඩා හාත්පසින්ම වෙනස් කතා සන්දර්භයක් තමයි තියෙන්නේ. කොටු ටෙලිනාට්‍යයේ මගේ චරිතය මෙතෙක් මං කරපු චරිතවලට වඩා ටිකක් වෙනස් විදිහේ සැර පරුෂ චරිතයක්. කොටු සිනමාපටයේ මගේ චරිතයත් නාට්‍ය චරිතයට වඩා වෙනස්. කොටු සිනමාපටයේ රූ ගතකිරීම් සහ හඩ කැවීම් අවසානයි. මේ නිරමාණ දෙකෙන් වෙනස් අත්දැකීම් දෙකක් තමයි ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ.


අසංක සායක්කාරගේ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය ගැන ඔබ බොහෝම පැසසුම් මුඛයෙන් කතා කරනවා අපි දැක්කා.


ඔව්. සායාගේ දෙබස් හරිම ආකර්ෂණීයයි. සරලයි. එක වචනයක්වත් වෙනස් කරන්න දෙයක් නැහැ. එදිනෙදා භාවිත කරන වචන, දෙබස් හරි අපූරුවට ලියන්න ඔහුට පුළුවන්. ඒවා මතක තබා ගන්නත් හරිම පහසුයි.සායක්කාර කියලා කියන්නේ හොඳ හිතක් වගේම හොඳ ඔළුවක් තියෙන නිර්මාණකරුවෙක්.”ලිවීම” කියන්නේ පහසු දෙයක් නෙමෙයි. කෙනෙකුගේ ජීවිතයක් ගැන තවත් කෙනෙක්ට දැනෙන විදිහට ලියන ඒක හරිම අමාරුයි. පිටපත කියලා කියන්නේ හරියට නිර්මාණයක අත්තිවාරම වගෙයි. ඒක හරියට තිබුනෙ නැති වුණොත් ඒ මත ගොඩනඟන සමස්ත නිර්මාණයම අසාර්ථක වෙනවා. නිර්මාණයක තිර පිටපත අනිත් හැමදේටම වඩා ප්‍රබලයි කියලයි මම හිතන්නේ. ඉදිරියට වෙනස් ආකාරයේ නිර්මාණ රැසකින් ඔහුව දකින්න මම බලාපොරොත්තු වෙනවා.


සිනමා ක්ෂේත්‍රයට ඔබේ දායකත්වය අඩුයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?


ඔව්.ඒ ගැන ලොකු කනගාටුවක් මට තියෙනවා.මොන හේතුවක් නිසාද කියලා කියන්න දන්නේ නැහැ; සිනමා ක්ෂේත්‍රයේ යමක් කරන්න පුළුවන් හොඳ චරිත මට ලැබුණේ නැහැ.ටෙලි තිරයේ නම් විවිධ තේමාවල් ඔස්සේ දිවෙන විවිධ චරිත මම රඟ දක්වලා තියෙනවා. නමුත් සිනමා ක්ෂේත්‍රයේදී මට මගේ හැකියාවන් පෙන්වන්න මෙතෙක් හොඳ අවස්ථාවක් උදා වෙලා නෑ.ඉතිං සිනමාවේ හොඳ චරිතයක් කරන්න මට උරුමයක් තියෙනවා නම්, ඉදිරියේදී ඒක ලැබැයි.


පෞද්ගලික විස්තර ගැන ටිකක් කිව්වොත්?


රංගන ශිල්පිනියකට හරිම අමාරු දෙයක් තමයි එයාගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් කැපවෙන එක. විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය ආදරය, රැකවරණය දෙන එක. මම, මගේ දුව පුංචි කාලෙදි ඇය වෙනුවෙන් මගේ උපරිම කාලය කැප කළා. ඇගේ පෝෂණය, වර්ධනය, වගේම ඇගේ අධ්‍යයන කටයුතු පිළිබඳවත් උපරිමයෙන් සොයා බැලුවා. දුවට දැන් අවුරුදු දොළහක්.දැන් එයා තමන්ගේ දේවල් හිමින් හිමින් කරගන්න නිසා මට පොඩි නිදහසක් තියෙනවා. ඒ කාලය, හොඳ නිර්මාණ සඳහා උපරිමයෙන් යොදවන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ වගේම දුවත් එක්ක ලස්සනට ජීවත් වෙන්න මං ආසයි. ඒකට දෙවියන් මට ආශිර්වාද කරයි කියලා මම හිතනවා.


ප්‍රියංවදා පෙරේරා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post