මෝඩ තරිඳුගේ සොෆියා අලුත් පෙමක - ෂෙහානි

gossiplanka image 1
 


රිදී තිරයට ආපු රට ම කතා වුණු මෝඩ තරිඳු ඔයාලට මතක ඇති නේද? ඒ මෝඩ තරිඳු පස්සෙන් ගිය සොෆියා ඔයාලට අමතක වෙන්න විදිහක් නැහැ කියලා අපි හිතනවා. ඔන්න දැන් එයා ඔබේ ආලින්දයේ කොනක තියෙන පුංචි තිරයේ බෝල්ට් ඇණයක් ටෙලියට සෙට් වෙලා. ජාලියට සෙට් වුණු ඩයනාගේ කතාව අපිට කියන්න හදන්නේ ෂෙහානි කහඳවල. එහෙනම් බෝල්ට් ඇණයක් කතාව බලන ගමන් ෂෙහානිගේ කතාවත් කියවලා බලන්නකෝ.


“මේ දවස්වල මම බෝල්ට් ඇණයක් එක්ක ඔට්ටු වෙනවානේ. මේක මගේ අලුත්ම ටෙලිනාට්‍යය. මට මේ වැඩේට කතා කළේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිල.


මීට කලින් මම මේ වගේ චරිතයක් කරලා නැහැ. ඉතිං ඒක හින්දා ඩයනාව ආදරෙන් භාර ගත්තා. නිෂ්පාදක ජනක වගේ ම අධ්‍යක්ෂ ඩිල්ෂාන් තමයි මට ඩයනාව මුණගස්සන්නේ.


ඔන්න ඔහොම තමයි ෂෙහානි කහඳවලට ඩයනාව හම්බ වෙන්නේ. ඇත්තට ම ඩයනා කවුද කියලත් ඇය අපට කිව්වා.


ඩයනා කියන්නෙත් අද සමාජයේ ජීවත් වෙන තවත් චරිතයක්. ඩයනාගේ අම්මා තාත්තා නැතිවෙලා ස්පා එකකට යන චරිතයක්. එයාගේ කිරි අම්මා තමයි එයාව හදා වඩාගෙන තියෙන්නේ. නමුත් ඇය උස් මහත් වුණාට පස්සේ රස්සාවක් කරගන්න ජීවත්වෙන්න බැරි හින්දයි තවත් ගැහැනු ළමයි දෙන්නෙක් එක්ක ස්පා එකකට යන්නේ. ඩයනාට සල්ලි නැහැනේ. ඔය අතරේ ඒ හම්බ වෙන සොච්චමෙන් තමයි ගෙවල් කුලියත් ගෙවාගෙන ජීවත් වෙන්නේ. ඔය අතරේ තමයි ඩයනාට ජාලියව හම්බ වෙන්නේ. ඩයනාගේ චරිතය ගොඩනැඟෙන්නේ ජාලිය එක්ක තමයි. ඒ ගැන ටීවී එකේ යන බෝල්ට් ඇණයක් කතාව ඔයාල බලන්න කියලත් ඇය පුංචි ආරාධනාවක් කළා.


ඩයනා වගේ චරිත ෂෙහානිට කවදාවත් සැබෑ ජීවිතයේ මුණ ගැසිලා නැතිලු. හැබැයි ජාලිය වගේ චරිත නම් සැබෑවටත් මුණ ගැහිලා තියෙනවා.


ඔය අතරේ රූගත කිරීම්වලදී පවා හරි අපූරු සුන්දර මතකයන් එහෙමත් තිබෙනවා කියලත් ඇය අපිට කිව්වා.


මේ දවස්වල ෂෙහානි බෝල්ට් ඇණයක් ටෙලිනාට්‍යයට අමතරව සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවාලු.


ඉතිං අපි ඇයගෙන් විමසුවා ෂෙහානි කියන ගායිකාවට මොකද වුණේ කියලත්.


ඇය නම් කිව්වා එයා පාඩුවේ ඉන්නවා කියලා. ලබන මාසයේ තවත් සින්දුවක් එළි දක්වන්න ප්ලෑන් කරලා තියෙනවා. මම මේ දවස්වල ප්‍රසංග වේදිකාවට සහභාගි වෙනවා පොඩ්ඩක් අඩුයි.


ඒ මොකද දන්නවාද? නැහැනේ කියලා අපි කිව්වහම ඇය අපිට කිව්වේ මේ දවස්වල බෝල්ට් ඇණයක් ටෙලිනාට්‍යයට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ කියල.


මඟ තොටේදී නම් ඩයනා හින්දා මේ දිනවල ෂෙහානිට හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු.


හැමෝම වගේ කියන්නේ ජාලියට එහෙම කරන්න එපා කියලයි. මිනිස්සු කතාවට හරි ආදරෙයි. තවම ටෙලිනාට්‍යයේ මූලාරම්භයනේ. ඒ ටික කාලයට එච්චර ආදරයක් හම්බ වෙනවා කියන්නේ අනාගතයේදී මීට වඩා ලොකු ආදරයක් ලැබේවි. තිර පිටපත් රචක මාලක අයියාගේ පිටපතක් හරි අපූරුයි. ඒ වගේම අධ්‍යක්ෂවරයා හරි ලස්සනට අපිව හසුරුවනවා.


මෝඩ තරිඳුව දැලේ දාගත්තු සොෆියා මෙදා පාර බෝල්ට් ඇණයක පැටලුණා ද කියලත් අපි අහන්න අමතක කළේ නැහැ.


ඇත්තට ම වෙනස් අත්දැකීමක්. මම දැන් ආවට ගියාට වැඩ භාර ගන්නවා චුට්ටක් විතර අඩුයි. මොකද මම මෝඩ තරිඳුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනික මම දැන් රඟපෑම ගැන ගොඩක් හිතනවා. කරන වැඩේට සියයට දාහක කැපවීමක් ලබාදෙනවා.


මොකද ගොඩාක් අයගේ මතයක් තියෙනවා මගෙත් එක්ක වැඩ කරන්න බැහැ කියලා. අනේ එහෙම දෙයක් නැහැ. එක වැඩකට මගේ අත් දෙක තිබ්බොත් ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. මම වැඩක් කරන්නේ හරි ආදරෙන්.


අද වෙනකොට සොෆියාව මතක් වෙන කොට හිතෙන දේවල් ගැනත් ෂෙහානි අපිත් එක්ක කතා කළා.


සොෆියා කියන්නේම සුන්දර මතකයක්. මට ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මෝඩ තරිඳු රූගත කිරීම් සිදු කළේ 2023 අවුරුද්දේ. සොෆියා කියන්නේ මට සිනමාවේ ප්‍රවීණයන්ගෙන් පවා ආදරය ලැබුණු චරිතයක්.


ෂෙහානි කියන ගායිකාවටද? එහෙමත් නැතිනම් ෂෙහානි කියන නිළියට ද? වැඩිපුර ආකර්ෂණය තියෙන්නේ කියලත් අපි ඇයගෙන් විමසුවා.


ඇත්තම කිව්වොත් ගායිකාවට වගේම නිළියටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද මම දෙකම සමබරව


කරගෙන යනවානේ. අනෙක් අය වගේ ගායිකාවක් නම් මම ගායිකාවකුත් නෙමෙයි නිළියක් නම් වෘත්තීයමය නිළියකුත් නෙමෙයි. නමුත් මං ක්ෂේත්‍රයේ විවිධාකාර අංශවල නියැළී සිටිනවා. එක දක්ෂතාවයකින් නෙමෙයි මම ඉදිරියට එන්නේ. ගොඩාක් දේවල් මම කරනවා. හැමදේම සමබරව පවත්වාගෙන යන හින්දා මට හැම අංශයක්ම හුරුයි.


ඒ කියන්නේ ඕන දේකට ඔට්ටුද?


ඔව්නේ. මම ඕනෑ දේකට ඔට්ටුයි.


ෂෙහානි එක්ක කතා කරන කොට විලාසිතා ගැනත් කතා නොකරම බැහැනේ.


මම ඉස්සර ඉඳලා විලාසිතා කරන කෙනෙක්. විලාසිතාවලට මම හරි ආසයි. මගේ ශරීරයට සහ මගේ පෙනුමට ගැළපෙන දේවල් මම කරනවා.


මේ දක්වා කරපු චරිත ගැනත් ඇහැව්වාම ඒ ගැන හරි සතුටින් කතා කළා.


මේ ගමනේදී මට හරිම සුන්දර චරිත හමුවෙලා තියෙනවා. හැම දෙයකින්ම මම ඉගෙන ගන්නවා. මගේ ජීවිතයේ අත්දැකීම් ලබාගන්නේ මට ලැබුණු ඒ චරිත හරහා. අනික අපිට ලැබෙන වැඩවලින් අපි ලද අත්දැකීම් අනුවත් අපි පරිණත වෙනවා. පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි පටලවා ගන්නේ නැතිව හරිම ලස්සනට මේ ගමන යනවා.


කැපිලි කෙටිලිත් තියෙනවා. අනික මට කැපිලි කෙටිලි නැතිනම් පුදුමයක්. අනික මම යන්නේ වැඩ කරන්න. වැඩේට හරි ආදරෙයි. පෞද්ගලික ප්‍රශ්න මට කොහොමටත් නැහැ. මට කිසිම ඇරියස් එකක් නැහැ. නමුත් ගොඩක් මිනිස්සුන්ට මම දන්නෙත් නැතිව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතිං ඒ දේවල් සාමාන්‍යයෙන් දක්ෂයෙක්ට එන්න පුළුවන්නේ. ප්‍රශ්න කියන්නෙත් සාමාන්‍ය දේවල්නේ කියලත් ඇගේ කතාව අවසන් කළා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post