මේ දිනවල කා අතරත් ජනප්‍රිය රොන් සොයාහි ශෂීට ජිවය දෙන්නේ නදුනි වනිගසුන්දර. වේදිකාව පුංචි තිරය මෙන්ම සිනමාව ඔස්සේ ද දස්කම් දක්වන නදුනි වනිගසුන්දරට ශෂී නිසා ලැබෙන ප්‍රතිචාර රසඳුනට කිව්වේ මෙහෙම කතාවක්.
රොන් සොයාහි ශෂී වෙන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මගේ ප්‍රථම දීර්ඝ ටෙලිනාට්‍ය තමයි රොන් සොයා, එහි අධ්‍යක්ෂතුමා නිවන්ත ප්‍රසාර සර් තිර පරීක්ෂණයකින් අනතුරුව තමයි මාව ඒ චරිතය සඳහා තෝරාගන්නෙ. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා ඒ චරිතය මට ලබා දුන්නාට. ඒ චරිතය හරහා ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් නදුනි වනිගසුන්දර කියන රංගන ශිල්පිනියව දැනගත්තා. ශෂී කියන චරිතයට මාත් ගොඩක් ආදරෙයි මං ආසකරන හරි ලස්සන ගතිගුණ රැසක් ඒ චරිතය ඇතුළෙ තියෙනවා. ඒ චරිතය රඟපානවා වගේම මම ඒ චරිතය ගොඩක් විඳිනවා.
ශෂී ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හිතපු නැති තරම් ලොකු ප්‍රේක්ෂක ආදරයක් මට ඒ චරිතය ඔස්සේ ලැබුණා. ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මගේ රංගනය අගය කරලා ලැබෙනවා. ඒක ගැන මට ගොඩක් සතුටුයි. ශෂීගේ චරිතයට මේ ලැබෙන ආදරයට රොන් සොයා ටෙලිනාට්‍යයේ අනෙකුත් රංගන ශිල්පීන්ගේ දායකත්වයත් ගොඩක් හේතුවෙනවා. ඒ නිසා එයාලවත් ආදරෙන් මතක් කරන්න ඕනෙ.
නදුනි කොහොමද කලාවට එන්නේ?
පාසල් කාලයේ ඉඳන්ම කලාවට තමයි ආස කළේ. නමුත් ඒ කාලේ රංගනයට වැඩිය ගායනය හා නර්තනය කියන අංශවලින් තමයි වැඩිපුර කලා කටයුතු කළේ. පසුව නාට්‍ය හා රංගකලාව විෂයක් විදිහට හදාරලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධිය හැදැරුවා. මම නාට්‍ය කලාවේ ප්‍රායෝගිකව මුලින්ම යෙදෙන්නෙ වේදිකාව තුළ. එතැනින් පස්සෙ මට සිනමාවට ආරාධනා ලැබෙනවා. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ මෑතකදී.
නිළියක් වෙන්න හිතුවේ ඇයි?
මම හිතන්නෙ නිළියක් වීම මගෙ ඇඟේම තිබුණ දෙයක්. ඒක මගේ ආශාව. ජීවිතේ එක තැනක් එනවා අපිට හරියටම ඕනෙ දේ මොකක්ද කියලා තේරුම් යන අන්න ඒක මම දැන් දන්නවා. පොඩි කාලෙ ඉඳන් එක එක ආසාවල් තිබුණා. ඒ ඔක්කොම ගැන හිතලා ඉගෙනගන්න එක කරගෙන ගියා. උසස් පෙළ විෂය තෝරගන්න කොට තමයි මම හරියටම තීරණය කළේ මට ඕනෙ දේ මොකක්ද කියලා. ප්‍රාසංගික කලාවෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. රංගන ශිල්පිනිය කියන භූමිකාවට ගොඩක් ආදරෙයි.
රංගන ශිල්පිනියක් කියන භූමිකාව තුළ දී ඔයා තෘප්තිමත් ද?
මම රංගනය ඇතුළේ තෘප්තිමත් වෙන්නෙ ටිකක් අඩුවෙන්. මට තව දේවල් කරන්න තිබුණා කියලා හිතෙන වාර වැඩියි. හැබැයි සමස්තයක් විදියට ගත්තම රංගන ශිල්පිනියක් ලෙස වේදිකාව මත ගොඩක් තෘප්තිමත් වෙන්න පුළුවන් චරිත කරලා තියනවා. ටෙලි තිරයේ සහ සිනමාවේ මම තවම මුල් අදියරේ ඉන්නෙ මගේ රංගන පරාසය පිළිබඳ මට අවබෝධයක් තිබුණට ඒක පෙන්වන්න පුළුවන් චරිත තවම මට ලැබිලා නෑ. මම තවම ගමනෙ මුල් අදියරේ යන්නෙ. හිමින් සැරේ ඉවසීමෙන් මේ ගමන යන එක තමයි බලාපොරොත්තුව.
පවුලේ කවුද ඉන්නේ?
අම්මා, තාත්තා, ආච්චි අම්මා, අක්කා, මල්ලී තමයි පවුලේ ඉන්නෙ, මගෙ තාත්තා ශ්‍රී ලංකා පොලිස් සේවයේ වැඩකරන්නෙ. මගෙ අක්කා ගුරුවරියක්, මල්ලි තවම අධ්‍යාපනය ලබනවා. පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි පොඩි කාලෙ ඉඳන්ම කලා කටයුතුවලට මාව උනන්දු කළේ. මම යන ගමන දිහා ගොඩක්ම ආසාවෙන් බලාගෙන ඉන්නෙ ඇය. මගෙ පවුල තමයි මගෙ හොඳම ප්‍රේක්ෂකයො.
වේදිකා නාට්‍ය තුළින් ජීවිතේට ලද පන්නරය කොහොමද?
වේදිකා නාට්‍ය කියන්නෙ එක්තරා ආකාරයක රංගන පාසලක්, ඒ තුළින් ලැබෙන පන්නරය රංගන ශිල්පියෙක්ට ගොඩක් වටිනවා. අදටත් මගේ ප්‍රියතම රංගන මාධ්‍ය වේදිකාව තමයි.
සිනමාවෙන් නදුනිව දකින්නත් ලැබෙනවා ද?
ඔව්. මගේ පළමු සිනමා නිර්මාණය ඉන්දික ෆර්ඩිනෑන්ඩු සර්ගෙ වෙඩි නොවදින ළමයි නිර්මාණය. ඒක 2023 වසරේදී තිරගත වුණා. මම රංගනයෙන් දායක වූ ආනන්ද අබේනායක සර්ගෙ සහ අශෝක හඳගම සර්ගෙ නවතම සිනමා නිර්මාණ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ තුළින් නැවතත් මාව සිනමාවේ දකින්න හැකිවේවි.