ඈත අතීතයේ පටන් අපේ රටේ ස්ත්‍රී පරාණයන්ට වින කරපු යක්‍ෂයෙක් තමයි කළුකුමාරයා. එයා ගැන එක එක විදිහෙ කතා තියෙනව. එක එක විදිහෙ නිර්මාණ කරල තියෙනව. මේ අතර තමයි කාංචනා අනුරාධිටත් කළුකුමාරයා වැහෙන්නෙ. ඒක ටිකක් බරපතළයි. ශාන්තිකර්මය කරන්නම අවුරුදු පහක් ගියා. කොහොම කොහොම හරි මේ වැඩේ ලස්සනට සිද්ධ වුණා. දැන් සියලු රෝග නිවාරණයි.
2021 අවුරුද්දෙ සමිත පෙරේරා කියන මහත්මයකුගෙන් අපේ තාත්තාට දුරකතන ඇමතුමක් එනව. ඒකෙන් කියැවුණේ ගී පද රචනාවක් ගැන. විස්තර කතාකරගත්තට පස්සෙ ඒක ගෙන්වාගෙන බලනකොට අපි දැක්කා ඒ පද පේළිවල කලින් ගීතවල නොදැකපු සුවිශේෂත්වයක්. ඒකට තේමා වෙලා තිබුණෙ අපේ ජන මූලාශ්‍රයක්. ඒ වගේම මගේ සංගීත ගමනේ ආරම්භයේ ඉඳන්ම මට වුවමනා වෙලා තිබුණා අපේ ජනශ්‍රැතිය පාදක කරගෙන නිර්මාණ කළ යුතුයි කියල. ඉතිං මේ රචනය දැකපුගමන් මට හිතුනා මේක තමයි ගීතය කියල. ඒ නිසා සමිත මහත්මයාට අපි කැමැත්ත දෙනව මේ ගීතය අපි කරනව කියල.
මේ වන විට නැරඹුම් වාර මිලියන දෙකකට ආසන්න වෙමින් තිබෙන කාංචනා අනුරාධිගේ නවතම ගීතය, ‘මනමාල කතා’ හැදුන හැටි ඇය කිව්වේ ඒ විදිහට.
මේ ගී පද රචකයා මගේ රසිකයෙක් වගේම සංස්කෘතික අමාත්‍යංශයේ විශාල සේවාවක් කරන කෙනෙක්. දහම් පාසල් කොඩිය නිර්මාණය කරන්නෙත් ඔහු. ඒ වගේම පොත් බොහෝ ප්‍රමාණයක් රචනා කරල තියෙනව. ඇත්තටම කිව්වොත් වැඩිය කරළියට නොඑන නිහඬ වීරයෙක්.
ඒ, ගී පද රචකයා ගැන ඇයගේ අදහස.
මේ 2026 අවුරුද්ද. අවුරුදු පහක් තිස්සේ ගීතය එළියට ආවෙ නැත්තෙ ඇයි කියන එක කාටත් ප්‍රශ්නයක් වෙනවනෙ.
අපි මේ ගීතය රිසර්ච් මට්ටමේ ඉඳන් ටිකෙන් ටික අවසානය දක්වා අරගෙන ආපු නිසා ගීතය එළිදක්වන්න ගත වුණ කාලය දීර්ඝ වුණා.
මේ ගීතය මට ලබාදුන්න සමිත මහත්මයා මට කියනව මෙහි සංගීතය කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මයා කියල. ඉතිං මට එතැනින් එහාට කියන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. මොකද වර්තමානයේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම සංගීතවේදියා එතුමා වෙන නිසා. එතුමා අතින් සංගීතවත් වෙන ගීතයකට මගේ හඬ, මගේ ප්‍රකාශනය දෙන්න පුළුවන් වෙනව කියන එක මට දැනුණෙ ලොකු වාසනාවක් හැටියට. ඒ සැබෑ වුණේ මගේ හීනයක්.
ගීතයක සුවිශේෂීම කාරණය වෙන තනුව සහ සංගීතය වෙනුවෙන් සමිත හොඳම කෙනා තෝරාගෙන. ඒ ගැන කාංචනාට තියෙන්නෙ ලොකු සතුටක්.
මම රෝහණ සර්ගෙන් ඇහුවා, සර් මට මේ ක්‍රියේෂන් එක ලයිව් ඉන්ස්ටුමන්ට් ප්ලේ කරල අද කාලෙට ගැළපෙන විදිහට සවුන්ඩ් එකක් නිර්මාණය කරන්න අවස්ථාවක් දෙනවද කියල. එතැනදි රෝහණ සර් කිව්වෙ, ඔව් කාංචනා, පුතේ ඔයා අද කාලෙ හැටියට ඒක හදන්න, ඒ ගැන මට වැඩිය දන්නෙ ඔයාලනෙ කියල. ඒ වචනෙත් එක්ක මම අමිත් ගුරු අයියත් එක්ක එකතුවෙලා මේ වැඩේ ඉදිරියට අරගෙන යනව. මේ ගීතයේ එනව මන්ත්‍ර කොටසක්. ඒ වෙනුවෙන් අමිත් අයිය සජිත ඇන්තනීව යෝජනා කරනව. ඒත් මම ඇහුව මේ පොඩි කොටස වෙනුවෙන් සජිත අයිය වගේ දැවැන්තයකුට කතාකරන එක හොඳයිද කියල. අමිත් අයිය කියපු නිසාම මම කතා කළා. ගීතය මොකක්ද කියලවත් අහන්නෙ නැතිවම කරමු නංගී කියල සජිත අයියා කිව්වා. ඒ වෙලාවෙ මට දැණුනෙ ලොකු සතුටක්. ඒ වගේම ඔහු විෂුවල් එක මොකක්ද කියල අහද්දි මම කිව්වා තාම හිතමින් ඉන්නෙ කියල. ඒත් එක්කම ඔහු කිව්වා එහෙනම් මම තමයි කළුක-ුමාරය කියල. එතැනින් එහාට මට හිතන්න දෙයක් තිබුණෙ නැහැ ඉතිං.
එහෙම කතා වුණ මේ වැඩේ චමිල් පතිරණ අයියගෙ පිටපතකට, ඔහුගේම අධ්‍යක්‍ෂණයෙන් සාර්ථකව සිදු කළා.
එහෙම හැදුන ‘මනමාල කතා’ විෂුවල් එක එළිදැක්වීමේ සන්ධ්‍යාවේදි තිරයේ දිගහැරෙනකොට කාංචනාට දැණුනෙ මේ වගේ හැඟීමක්.
මේ විෂුවල් එක ගීතයකට එහා ගිහින් සිනමාරූපීව තමයි එළියට ගෙනාවෙ. ඒක ප්‍රේක්‍ෂකයන් අතරට අරගෙන යන්න වගේම නව පරපුරේ කෙනෙක් හැටියට අපේ රෝහණ සර්ව අගය කරන්න මට ඕනෑ වුණා. ඒ නිසාමයි ගීතය එළිදැක්වීමේ සන්ධ්‍යාවක් සංවිධානය කළේ. විශේෂයෙන්ම සජිත අයියා මේ වැඩේට සම්බන්ධ වුණේ මගෙන් රුපියලක්වත් අයකරන්නෙ නැතිව. ඒ වෙනුවෙන් ඔහුට උපරිම ගෞරවය දක්වන්නත් මට වුවමනා වුණා. ඇත්තටම හරිම සතුටුයි, මං හිතුව වගේම සාර්ථකව ඒ වැඩේ නිමාවට පත් වුණා.
කළුකුමාරයා සිනමාවට…? එදා සජිත කිව්ව කතාව ඇත්තක් වෙයිද? කාංචනාට නම් ඒක තාමත් හීනයක්.
මේ තේමාව ඉදිරියේදී සිනමාවට එයිද කියල එදා ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා. නමුත් මට ඒ ගැන අයිඩියා එකක් තිබුණෙ නැහැ. සජිත අයියා කැම්පස් එකේ රිසර්ච් එක කරල තිබුණෙ කළුකුමාරයා ගැන. චමිල් අයියත් රිසර්ච් එකක් කරල තිබුණා මේ ගැන. ඉවෙන්ට් එක දවසෙ හැමෝම ඉදිරියේදි සජිත අයියා කිව්වා කළුකු-මාරයා තේමාකරගෙන නිර්මාණය කරන චිත්‍රපටයක වැඩ දැන් මම පටන් අරගෙන තියෙන්නෙ, ඒකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ කාංචනා අනුරාධි කියල. මට ඒක අදහගන්න බැරි වුණා.
පසුගිය කාලෙ සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතර දමිළ චිත්‍රපට පවා තිබුණා. නමුත් ඒ එකක්වත් කරන්න හිතුවෙ නැත්තෙ මගේ විෂයය සංගීතය නිසා. සජිත අයියගෙ යෝජනාව නිසා මම ඇත්තටම ඒ ගැන හොයල බලල, අධ්‍යයනය කරල මට කරන්න පුළුවන්ද කියල බලනව.
ඉවත දමන්න බැරි යෝජනාව ගැන එහෙම කියන ගමන් කාංචනා අදහස් කරන්නෙ නාදගමදි වගේම මේ ගීතය හරියටම ගැළපෙන ප්‍රසංගවලදි ගායනා කරන්න.
2016 අවුරුද්දෙ වසරේ ප්‍රශස්ථම සාම්ප්‍රදායික ජන ගී ගායිකාවට (විවෘත) හිමි සම්මානය මට හිමිවෙනව. ඒ වෙනකොට මට ලොකු වයසක් නැහැ. තරගය තිබුණෙ ලොකු පොඩි හැමෝම අතර. ඉතිං සම්මානයක් ලැබෙයි කියල හිතුවෙත් නැහැ. නොමිනේෂන් ඇවිත් තිබුණ නිසා යාළුවකුගෙන් සල්වාර් එකක් ඉල්ලගෙන
මගේ අම්මාත් එක්ක උත්සවයට ගියේ. එදා මගේ නම කියැවෙද්දි ලොකු සතුටක් එක්ක පපුව ගැහෙන්න ගත්තා. මගේ සංගීත ගමන පටන්ගන්නෙ ඒ සම්මානයත් එක්ක.
කාංචනා අවුරුදු දහයක් පුරාවට පැමිණි මේ ගමනට අඩිතාලම වැටුණෙ ඒ විදිහට…
ඉදිරියට වැඩ ගොඩක් එන්න තියෙනව. විශේෂම දේ, මගේ පළමුවැනි ගීත ඇල්බම් එක රිලීස් වෙන්න නියමිතව තියෙනව. ඒ සියලුම ගීත වල පද රචනය සහ තනුව නිර්මාණය වුණේ මගේ අතින්. ඊට අමතරව චිත්‍රපට හයක හතක පසුබිම් ගීත ගායනා කළා. ඉදිරියේදී ඒවාත් තිරගත වේවි.
බලාපොරොත්තු ගොඩක් එක්ක කාංචනා අද ඉන්නෙ හරිම සතුටින්. ඉදිරියේදී ඒවා එකින් එක ප්‍රේක්‍ෂකයන් හමුවට එනකොට තවත් මේ වගේම කතාබහකින් හමුවෙමු.මහේෂ් එදිරිසිංහ