ජාතික නාට්‍ය පාසල් සමයේ පංකජ් කපූර් ඇතුළු පිරිසට සමෝසා සැපයූ කුඩා ෂාරුක් ඛාන්

gossiplanka image 1
 


ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී පංකජ් කපූර් සිය මුල්කාලීන වේදිකා නාට්‍ය ජීවිතය හා බැඳුණු අපූරු මතකයක් මෑතකදී මාධ්‍ය සමග බෙදා ගත්තේය. ජාතික නාට්‍ය පාසලේ (NSD) ඉගෙනුම ලබන සමයේ සිදුවූ මෙම රසවත් සිදුවීමට, එකල කුඩා දරුවෙකු වූ සුපිරි තරු ෂාරුක් ඛාන් ද නොදැනුවත්වම සම්බන්ධ වී තිබීම මෙහි ඇති විශේෂත්වයයි.


ඔහු මේ බව හෙළි කළේ 'Kindle Cast' යූටියුබ් නාලිකාව සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී සිය වේදිකා නාට්‍ය ගමන සහ ජාතික නාට්‍ය පාසලේ මිතුරන් සමග ඇති බැඳීම පිළිබඳව ඔහු අදහස් දැක්වීය. එම කීර්තිමත් ආයතනයෙන් පිටවී වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඔහු සිය නිවසේදී පැරණි මිතුරන් සඳහා විශේෂ සාදයක් ද පවත්වා තිබුණි. එහිදී සිය ශිෂ්‍ය අවධියේ පැරණි මතකයන් සහ ප්‍රකට වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වූ අයුරු ඔවුන්ගේ කතාබහට ලක්ව ඇත.


සිය ශිෂ්‍ය අවධිය සිහිපත් කරමින් පංකජ් කපූර් සඳහන් කළේ, එකල පුරානා කිලා (Purana Qila) හි වේදිකාගත වූ සුප්‍රකට නාට්‍ය අධ්‍යක්ෂක ඊබ්‍රහිම් අල්කාසිගේ නිර්මාණ පිළිබඳවයි. එම සමයේ අල්කාසි විසින් රසියා සුල්තාන්, තුග්ලක් සහ අන්ධ යුග් යන දැවැන්ත නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කරමින් සිටියේය. ඓතිහාසික බලකොටුව පසුබිම් කරගනිමින් පැවැත්වුණු මෙම දර්ශන, ඊට සම්බන්ධ වූ සිසුන්ට අමතක නොවන අත්දැකීම් බවට පත්ව තිබුණි.


රසියා සුල්තාන් නාට්‍යයේ එක් දර්ශනයක පාලකයා ඉදිරිපිට රැස්ව සිටින කුසගින්නෙන් පෙළෙන පිරිසක් නිරූපණය කිරීමට තිබුණි. පංකජ් සහ ඔහුගේ මිතුරන් පළමු වසරේ සිසුන් වූ බැවින් ඔවුන්ට එම සමූහයේ චරිත හිමි වූ අතර, ඔවුන්ගේ පන්තියේම තවත් සිසුන් දෙදෙනෙකු සොල්දාදුවන් ලෙස රඟපෑහ. දර්ශනය අතරතුර එම සොල්දාදුවන් විසින් ජනතාව දෙසට නාන් (naans) වීසි කළ යුතු විය.


කෙසේ වෙතත්, මෙම සිසුන් පිරිස එම දර්ශනය තමන්ගේ කුසගිනි නිවාගැනීමේ අවස්ථාවක් කරගැනීමට සූක්ෂම වූහ. මිතුරන් සමග එකතුව සැලසුමක් සකස් කළ ඔවුන්, සොල්දාදුවන් වීසි කරන නාන් අල්ලාගෙන විවේක කාලයේදී වේදිකාව පිටුපසට වී ඒවා අනුභව කළහ. ඒ සඳහා ඔවුන් සමෝසා සහ තේ ද පිටතින් ගෙන්වා ගෙන තිබුණි. එහෙත් ඔවුන්ගේ මෙම ක්‍රියාව වැඩි කල් සැඟවී තිබුණේ නැත. නළුවන් විසින් දර්ශනයේ මුල් ස්වභාවය වෙනස් කරමින් සිටින බව වටහා ගත් අධ්‍යක්ෂක අල්කාසි ඔවුන්ට ඒ පිළිබඳව දැඩි අවවාදයක් ද ලබා දී තිබේ.


මෙම අපූරු කතාවේ වඩාත්ම සිත්ගන්නා සුළු කොටස වන්නේ ඔවුන් වේදිකාව පිටුපසදී රස විඳි සමෝසාවලට සම්බන්ධ වන පුද්ගලයාය. පංකජ් කපූර් හෙළි කළ පරිදි, ඔවුන්ට එම සමෝසා සපයා ඇත්තේ වර්තමාන සුපිරි තරු ෂාරුක් ඛාන් විසිනි. ඒ වන විට ෂාරුක් යනු වයස අවුරුදු 10ක පමණ කුඩා දරුවෙකි. එකල ඔහුගේ පියා විසින් එහි ආපනශාලාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන්ට අවශ්‍ය වූ සමෝසා ගෙනැවිත් දී ඇත්තේ කුඩා ෂාරුක් විසිනි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post