සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇය තමන්ට ලැබෙන නිර්මාණ අතරේ ඇයට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙමින් සිය රංග කුසලතාව විදහාපාන සොඳුරු රංගන ශිල්පිනියක්. මේ කාලයේ නම් රිදී තිරයෙන් සූරිය සුළඟ හරහා දකින්න ලැබෙනවා. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන කළ කතාබහයි මේ…
මොකද වෙන්නේ මේ දවස්වල
ඉසුරු ගුණතිලකගේ අලුත්ම චිත්‍රපටය වන ‘කොල්ලෙක්‘හි රූපගත කිරීම් අතර ඉන්නේ.
මේ දවස්වල තිරගත වෙනවා සූරිය සුළඟ. එහි අනුෂා වෙන්න ඇරයුම් ලැබුණේ කොහොමද?
ප්‍රියන්ත කොළඹගේ තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. ඊට පස්සේ පිටපත කියෙව්වා. මම හැමදාම එකිනෙකට වෙනස් චරිත කරන්න කැමති කෙනෙක්. ඒ නිසා චරිතය කුඩා වුණත් මට හිතුණා මේ තුළ මට යමක් කරන්න තියෙනවා කියලා. ඒ නිසා මම බොහොම කැමැත්තෙන් ඒ චරිතය භාර ගත්තා. හැම චරිතයකටම තියෙනවානේ ඒ චරිතයට යන ලක්ෂණ. ඒ චරිත ලක්ෂණ අධ්‍යක්ෂතුමාගේ මඟපෙන්වීම එක්ක මගේ තුළ තියෙන දේවල් එක්ක තමයි අනුෂා කියන චරිතය මම ගොඩනැඟුවේ.
මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳයි. හිතුවෙත් නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. ප්‍රධාන චරිතයකට හා සමානවම ප්‍රතිචාර ලැබෙනවා. හුඟක් ප්‍රතිචාර මම කියවනවා. ඒ අතර අපූරු ඒවා මම දැක්කා. එක තැනක තිබුණා ‘සේමිණිව අප්පිරියා හිතෙන තරමටම ඒ චරිතය කරනවා‘ කියලා. ඇත්තටම මම චරිතයක් කළාට පස්සේ බලාපොරොත්තු වෙන විදියේ ප්‍රතිචාර ලැබෙනවා.
බාහිර ස්වරූපය වෙනස් කර ගත්තේ කොහොමද?
ඔව්. ඒ කියන්නේ ඉන්දික උදාර කියන අපේ අංග රචනා ශිල්පියා සහ අධ්‍යක්ෂතුමා සහ මම එකතු වෙලා කතාබහ කරලා තීරණය කළා මේ විදියට අපි චරිතය හදා ගමු කියලා.
ඉදිරියේදී එන්න තියෙන සිනමා නිර්මාණ මොනවද?
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කැලෑ හඳ, ජයන්ත චන්ද්‍රසිරිගේ සමහරු සහ සමාගම්, සංජය නිර්මාල්ගේ ‘නග්න‘, සජිත අක්මීමනගේ ‘සීනි‘, සරත් කොතලාවලගේ ‘ද මනී, බුද්ධික ජයරත්නගේ ‘සැප්තැම්බර්’ සහ මේ වෙද්දී රූගත වෙන ඉසුරු ගුණතිලකගේ ‘කොල්ලෙක්‘ චිත්‍රපටය එන්න තියෙනවා.
‘කැලෑ හඳ‘ මුල්ම නිර්මාණය දැකලා තියෙනවද?
නැහැ. එහි සින්දු අහලා තියෙනවා. ඒ හැර සම්පුර්ණ සිනමා නිර්මාණය බලලා නැහැ.
කැලෑ හඳහි ඔබේ භූමිකාව ජයපාල මැතිනිය, ඒ ලැබුණු අවස්ථාව ගැනත් මතක් කරමු
සුනිල් ආරියරත්න සර්ගේ නිර්මාණයකට ආරාධනා ලැබීමත් වාසනාවක්. මට පිටපත ලැබිලා කියවද්දිම ජයපාල මැතිනිය මට ආරුඪ වුණා. මම හිතනවා මට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න ලැබුණා කියලා.
වැඩියෙන්ම බලාපොරොත්තු තියන් ඉන්නේ කැලෑ හඳට ද?
එහෙම කියන්න බැහැ. හැම චරිතයක්ම එකිනෙකට එකක් වෙනස් චරිත. ‘නග්න‘ චිත්‍රපටය ගත්තම එහි මම අවුරුදු විසි ගාණක තරුණයෙක් කසාද බඳිනවා. එතකොට හිතා ගන්න පුළුවන්නේ ඒ චරිතේ ගැන. ‘සීනි‘ චිත්‍රපටය ගත්තත් එහෙමයි ‘සමහරු සහ සමාගම‘ ගත්තත් එහෙමයි. හැම නිර්මාණයකම මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිතයක්.
මේ කාලේ පුංචි තිරෙන් ඈත් වෙලා ද?
නැහැ එහෙම එකක් නැහැ. නමුත් අපි හැමෝම කැමතිනේ සිනමාවට. මටත් ඉතින් වැඩියෙන් සිනමා නිර්මාණවලට ඇරියුම් ලැබුණු කාලයක්. පුංචි තිරේ මම අන්තිමට රඟපෑවේ ‘ද ලේක්‘. ඉදිරියේදීත් ‘ද ලේක්‘ අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රේමන්ඩ්ගේ අලුත් නිර්මාණයට දායක වෙන්න සුදානමින් ඉන්නවා. එකිනෙකට වෙනස් දෙයක් මට කළ හැකි නම් මම ඒ චරිතේ භාර ගන්නවා.
නිර්මාණයක් භාර ගනිද්දී මූලිකව බලන දේවල් මොනවද?
මට විශේෂයෙන් ඒ චරිතයට දෙන්න පුළුවන් ආභරණය ගැන මම හිතනවා. අධ්‍යක්ෂතුමා සහ පිටපත ගැන හිතනවා. ඒ එක්කම ඒකෙන් මට ලැබෙන ආර්ථික ලාභය ගැන හිතනවා. ඒ හැර චරිතේ ලොකුද පොඩිද කියන එක ගැන මම හිතන්නේ නැහැ. මොකද මම දන්නවා චරිතේ ලොකු කර ගන්න.
අද කාලේ බොහෝ ශිල්පිනියන් විවාහය එක්ක රංගනයට සමු දෙද්දී, සේමිණි ඉද්දමල්ගොඩ කලාවට එන්නේ විවාහයෙන් පසුවනේ, ඒ ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්
ඔව්. මම විවාහ වෙලා තමයි කලා ක්ෂේත්‍රයට ආවේ. ඒකට මගේ පවුලෙන් ලැබෙන සහයෝගය වැදගත්. එතන ගැටුම්කාරී වුණොත් මට නිර්මාණ කරන්න බැහැ. දැන් වුණත් මම මේ බණ්ඩාරගම ඉන්නේ ‘කොල්ලෙක්‘ චිත්‍රපටයේ රූපගත කිරීම්වල. මගේ ගෙවල් රාජගිරියේ වුණත් මම කණ්ඩායම එක්ක බණ්ඩාරගම නතර වෙලා මේ රූපගත කිරීම් සිදු කරන්නේ. මම මේ කාලය තුළ ජීවත් වෙන්නේ කොල්ලෙක් නිර්මාණය එක්ක. ඒ වගේ මට නිදහසේ මගේ රැකියාව කරන්න ඉඩ දීලා තියෙන නිසා මම හරි වාසනාවන්ත ගැහැනියක් කියලා හිතෙනවා.
ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේක්ෂක ආදරේ හරි වටිනවා. මම තරුවක් කියලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මම පොළොවේ පයගහලා ජීවත් වෙන කෙනෙක්. අදටත් මම පොළට ගිහින් බඩු ගන්න කෙනෙක්. කවුරු දැක්කත් අයියේ අක්කේ, නංගි මල්ලි හෝ දුව පුතේ කියලා කතා කරන්නේ. ඒ නිසා ඒ ආදරේ මට ලැබෙනවා. පොළොවේ පය ගහලා ජීවත් වීම තුළත් අපේ රඟපෑමට ලැබෙන ආකර්ෂණය වැඩියි.