ටී.වී දෙරණ නාලිකාවේ විකාශනය වුණු "රාවණා 2" ටෙලිනාට්‍යයේ සෙන්පති ගීතාගේ සටන්කාමී චරිතය තුළින් රංගනයට පිවිසුණු ඇය මෑත කාලයේ අපේ රටේ ඉන්න ජනප්‍රියම නිළියක් කිව්වොත් හරි. ඒ ටෙලිනාට්‍යයෙන් අනතුරුව ඇස්, ජානු, බයෝ, අළුපාට දේදුනු මෙන්ම රජ ගෙදර වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනාගත් ඇය ඉමා වීරසූරිය. ඇයව මේ දිනවල අපට දකින්න ලැබෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශනය වෙන "වරකත" ටෙලිනාට්‍යයෙන්.
මේ දිනවල ඉමා අපිට දකින්න ලැබෙන්නේ "වරකත" ටෙලිනාට්‍යයෙන්?
ඔව්, මිහිර සිරිතිලක මහතාගේ නිර්මාණයක් වෙන "වරකත" ටෙලිනාට්‍යයේ "ලීනා" නැත්නම් "පොඩි මැණිකේ" චරිතය කරන්නේ මම. හරිම ආසාවෙන් කරන චරිතයක් වගේම කාලෙකට පස්සේ මගේ රංගන පරාසය ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න ලැබුණු හොඳ අවස්ථාවක් විදිහට "වරකත" ටෙලිනාට්‍යයේ මගේ චරිතය කියන්න පුළුවන්.
ලීනා නැත්නම් පොඩි මැණිකේගේ චරිතය ගැන කෙටියෙන් කිව්වොත්?
ඔව්, ලීනා නැත්නම් පොඩි මැණිකේ කියන්නේ තමන්ගේ ආදරය වෙනුවෙන් මුළු ලෝකයක් එක්ක වුණත් සටන් කරන්න සූදානම් ජාතියේ තරුණියක්. මේ ලෝකයේ තියෙන දරුණුතම ඇබ්බැහිවීම මනුස්සයෙක් තව මනුස්සයෙක්ට ඇබ්බැහිවීම. ලීනා කියන්නෙත් තමන් ආදරේ කරන ආදරවන්තයාට ඒ විදිහට ඇබ්බැහිවුණු, ඔහු තමන්ගේ මුළු ආත්මයම කරගෙන හිටපු කෙනෙක්. ඒත් එක තැනකදී ඇයට ඔහු අහිමි වෙනවා. ඒත් එක්ක ලීනා මානසික කම්පනයට ලක්වෙලා එහි ප්‍රතිඵලයක් විදිහට මානසිකව රෝගීවුණු තරුණියක් බවට පත්වෙනවා. තවත් විස්තර කළොත් කතාවේ කුතුහලය නැතිවෙන නිසා මම ප්‍රේක්ෂකයන්ට "වරකත" කියන මේ අපූරු ටෙලිනාට්‍යය නරඹන්න කියලා ආරාධනා කරනවා.
ලීනාගේ චරිතයේ ස්වභාවය අනුව ඔබට ඒක අභියෝගාත්මක චරිතයක් වෙන්නට ඇති?
ඔව් ඔව්, ලීනා කියන්නේ මම මෙතෙක් රඟපෑ ටෙලිනාට්‍ය අතරින් ලොකු රංගන පරාසයක් පෙන්නන්න පුළුවන් වුණු සහ අභියෝගාත්මක චරිතයක්. හැබැයි මං ඒක හරිම කැමැත්තෙන් භාරගත් චරිතයක්. අලුත් පිටපතක් භාරගන්න හැම අවස්ථාවකම මට දැනෙනවා මං ලොකු වගකීමක් භාරගත්තා කියන හැඟීම. ඒ එක්ක ලීනා කියන්නෙත් එහෙම භාරදුර වගකීමක් තියෙන, කලින් කියපු විදිහට අභියෝගාත්මක චරිතයක්. හැබැයි මං ඒ චරිතෙට සාධාරණයක් කරමින් ඉන්නවා කියන දේ මට විශ්වාසයි. මේ වෙලාවේ මාව විශ්වාස කරලා ඒ චරිතය මට දුන්නු වරකත ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ මිහිර සිරිතිලක මහතාත්, එකම පවුලක් වගේ ඉන්න ටෙලිනාට්‍යය කණ්ඩායමත් මං මතක් කරනවා.
එතකොට ඉමා පුංචි කාලේ ඉඳන්ම සිහින මැව්වේ දවසක නිළියක් වෙන්නද?
ඇත්තටම නෑ. මං සත්තුන්ට හරිම ආදරෙයි. ඒ නිසා පශු වෛද්‍යවරියක් වෙන්නයි ආසාවෙන් හිටියේ. ඒත් කාලෙත් එක්ක ඒ සිහිනය වෙනස් වුණා.
ඔබ ඔය කියන්නේ 2015 ස්වර්ණ කුමරිය ජයග්‍රහණය ගැන වෙන්න ඇති?
ඔව්. 2015 වසරේ ස්වණවාහිනී නාලිකාවෙන් කරපු ස්වර්ණ කුමරිය තරගය ජයග්‍රහණය කළේ මම. ඇත්තටම ඒක මගේ අම්මගේ සහ තාත්තගේ තිබුණු ආසාවක්. ඒ දෙන්නා තමයි තරගයට අයැදුම්පත යවන තැන ඉඳන් අනිත් හැමදේම හොයලා බැලුවේ. අන්තිමේදී ඔවුන් දෙදෙනාගේ ආසාව ඉෂ්ට කරන්න මට පුළුවන් වුණා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ තමයි රංගන වරම් හිමිවුණේ. ඒත් අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න ඕන නිසා මුලින් ආරාධනා ප්‍රතික්ෂේප කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු එහෙම හැමදේම අවසන් කරලා තමයි ආයෙත් රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ.
ඉමා රඟපෑ පළමු නිර්මාණය මොකක්ද?
එදා මං රඟපෑව පළමු නිර්මාණය වුණේ තුෂාර තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂණය කළ රාවණා 2 ටෙලිනාට්‍යය. එහි සෙන්පති ගීතාගේ චරිතය තමයි කළේ. සෙන්පති ගීතා කියන්නේ රාවණාට අභියෝග කරන්න යන සේනාවක නායිකාවක් නැත්නම් සෙන්පතිනියක්. ඒක නපුරු, සටන්කාමී චරිතයක්. ඒත් ඒ වෙනුවෙන් හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයෝ මාව නිළියක් විදිහට හඳුනගත්තේ එතැනින්. ඊට පස්සේ ඇස්, ජානු, බයෝ, අළුපාට දේදුනු වගේම රජ ගෙදර වගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිසා කලා ක්ෂේත්‍රයේ මට නමක් හදාගන්න පුළුවන් වුණා.
ඔබ වේදිකාවෙත් නමක් තැබූ චරිතයක්?
වේදිකාව කියන්නේ මගේ රංගනයේ පදනම කිව්වොත් හරි. මං රංගනය පිළිබඳව මූලික අධ්‍යාපනය ලබාගත්තේ මගේ පාසලේ සරත් චන්ද්‍රවංශ ගුරුතුමා යටතේ. ඒ මං උසස් පෙළට පාසල් ගිය පින්නවල ජාතික පාසලේදී. පස්සේ මං උසස් පෙළ විභාගය සමත්වෙලා කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව විශේෂවේදී ගෞරව උපාධියක් ලබාගත්තා. එහිදී රූපණය තමයි මං ප්‍රධාන විෂය විදියට හැදෑරුවේ. වේදිකාව නිසා මං විවිධ ජයග්‍රහණ, සම්මාන ආදියත් ලබාගන තියෙනවා. චමෝදි දයාවංශ මහතාගේ "මං ඇතුළේ ඝාතකයෙක්" කියන වේදිකා නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් 43 වැනි යෞවන නාට්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම සහාය නිළිය වෙන්නත් මට අවස්ථාව ලැබුණා. මේ දිනවල අසංක ගුරුසිංහ මහතාගේ "ප්‍රේමයේ නගරය" කියන වේදිකා නාට්‍යයේ වැඩ කරගන යනවා.
රංගන ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක ඔබේ ජීවිතේට එකතු වූ සුන්දරම මතකය මොකක්ද?
මගේ පාසල් කාලෙදී මං කැමැති නළු නිළියොත් එක්ක පසුකාලීනව එකට වැඩ කරන්න ලැබීම තමයි සුන්දරම මතකය. ඇත්තටම ඒක හරියට හීනයක් වගේ.
එතකොට රංගන ජීවිතේ අමතක නොවන මතකය ගැන කිව්වොත්?
එක ටෙලිනාට්‍යයක් වෙනුවෙන් මට යතුරුපැදි පදින්න පුරුදුවෙන්න වුණා. අන්න ඒක අමතක වෙන්නේ නෑ. ඒ වගේම රාවණා 2 ටෙලිනාට්‍යයට සටන් ක්‍රම පුරුදු වූ හැටිත් අමතක වෙන්නේ නෑ.
ඉමාගෙන් ආදරය ගැන ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්?
මම ඉතින් කවදත් ආදරණීයව ජීවත්වෙන්න කැමැති කෙනෙක්. මට පවුලෙන්, මගේ හිතවතුන්ගෙන්, යාළුවන්ගෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙන් හුඟාක් ආදරේ ලැබෙනවා.